‘‘දැං මේ ලොක්කු වංගෙඩිය තමයි ගන්ඩෝනෙ...’’ කියන අතරතුර ලොකු වංගෙඩිය කෙළින් අතට තියෙද්දි ම රවුන් කරගෙන රවුන් කරගෙන ඇවිත්
අර එළපු ගෝණි හතර ම මැදි වෙන විදියට ඒව උඩින් තිබ්බා. ඊට පස්සෙ ‘‘කෝ අර ලේන්සු දෙක... ඒ දෙක ගේන්ඩකෝ..’’ කියල ඉල්ලුවම මම ලේන්සු දෙක ගෙනල්ල දුන්නා. ඊට පස්සෙ ගනේෂ් ‘‘මිරිස් ගම්මිරිස් කොට්ටන්න කලිං මේ ලේන්සුවෙං මෙන්න මේ විදියට නායයි කටයි වැයෙන්න මූණ ගැටගාගන්ඩෝනෙ...’’ කියල කියන අතර තුර එක ලේන්සුවක් අරගෙන හරි මැදින් නැව්වෙ ත්‍රිකෝණ හැඩයක් එන විදියට. ඊට පස්සෙ ලේන්සුවෙ කෙළවර දෙකෙන් අල්ල නහයයි කටයි වැහෙන විදිට කනට උඩින් දාල ගැටගහගත්තා. මමත් ඒ විදියට ම ගැටගහගත්තා. පස්සෙ වංගෙඩියෙන් තුන්කාලක් විතර පිරෙන්නෙ වේළිච්ච මිරිස් දාල කොටන්න පටන්ගත්තා. ගනේෂ් මිරිස් කොටාගෙන යද්දි තමයි මට තේරුණේ වංගෙඩියට යටින් ගෝණි එළුවෙ ඇයි කියල.
මිරිස් කොටද්දි වංගෙඩියෙන් පිටතට වැටෙන හැම මිරිස් කරලක් ම වැටුණෙ ගෝණි උඩට. එහෙම මිරිස් කරල් ටිකක් වැටුණ ම ඒ ටික ආයෙත් ඇහිඳලා වංගෙඩියට දානවා. එළපු ගෝණිවල සීමාවෙන් පිටතට මිරිස් කරල් නොවැටුණ තරම්. හදිසියෙවත් වැටුණ නම් ඒක වුනත් ආපහු වංගෙඩියට දානවා. අන්න ඒ නිසා තමයි ගනේෂ් මිරිස් කොටන්න කලින් කුස්සිය හොඳට අතුගෑවෙ.
ඊළඟට තිබුණ වැඩේ මිරිස් කොටනවට වැඩිය අමාරුයි. ඒ කියන්නෙ කොටපු මිරිස් ටික පෙනේරයකින් හලාගන්න එක. මිරිස් හලද්දි ඒ සැර පුදුම විදියට නහයට දැනෙනවා. නමුත් නහයයි කටයි වැහෙන විදියට බැඳගත්තු ලේන්සුව නිසා ඒ අපහසුව තරමක් දුරට මගහැරෙනවා. මිරිස් හලන්න පාවිච්චි කරේ අපි සාමාන්‍යයෙන් ගෙවල්වල පාවිච්චි කරන පෙනේරයට වඩා තරමක් ලොකු පෙනේරයක්. එක වතාවකට වංගෙඩියට දාපු මිරිස් ටික පෙනේරයෙන් හලල ඉතිරි වෙන කෑලි ටික වෙනම ම භාජනයකට දානවා. මම වැඩේ බලාගෙන ඉන්න අතරතුර ම ‘‘ගනේෂ් අයියෙ... ඇයි මේ කෑලි ටික වෙන් කරන්නෙ...?’’ කියල ඇහුවෙ මට තිබුණ හදිසිය නිසා වෙන්න ඇති.
‘‘වෙනම බාජනෙකට දාන්නෙ ද...? ආ... තව ටිකකින් තමයි මල්ලි ඒක්ක ඔයැයිට බලාගන්න පුළුවං. ඔයැයි දැන්නට වෙඩේ බලාගෙන ඉන්ඩකෝ...’’
ගනේෂ් කිව්වෙ එච්චරයි; ඊට පස්සෙ එයා ආයෙත් වැඩ.
පැය බාගයක් ගත වෙන්නත් කලින් ගනේෂ් තැටියෙ තිබුණ මිරිස් ටික කොටල හලලත් ඉවර කරා. දැන් මම බලාගෙන ඉන්නෙ අර වෙන් කරපු කෑලි ටිකට මොකද කරන්නෙ කියල. එයා කළේ ඒ කැලි ටිකත් ආය වංගෙඩියට දාල කොටපු එක. ඒ වගේ ම කලින් වගේ ඒ ටිකත් හැලුව; ඒ හැලුවට පස්සෙත් තව කැලි ටිකක් ඉතුරු වුණා. ඒ කැලි ටිකට මොකද කරන්නෙ කියලයි මම බලාගෙන හිටියෙ.
‘‘රොආන් මල්ලි... කේම පෙන්ට්‍රියට ගීන් මං කිව්ව කියල පත්තරයක් ඉල්ලං එන්ඩකෝ...’’
කෑම පැන්ට්‍රිය කියන්නෙ ඉතිං මට අලුත් තැනක් නොවෙන නිසා මම ගිහින් වඳුරඹ අයියට කියල පත්තරයක් ඉල්ලගෙන ආවා.
‘‘ඕකෙන් ඩබල් පිටුවක් ගන්ඩකෝ...’’
ගනේෂ් එහෙම කිව්වට පස්සෙ මම පත්තරෙන් ඩබල් පිටුවක් අරගෙන අර ගෝණි උඩ ම එළුවා. ඊට පස්සෙ ගනේෂ් පෙනේරෙ තිබුණු මිරිස් කෑලි ටික ගෝනි උඩ එළපු පත්තර පිටුවට හැලුවා. ඔය විදියට තුන් හතර පාරක් කොටල ඉවර වෙද්දි මිරිස් කුඩු වෙනමයි කෑලි වෙනමයි ගොඩවල් දෙකක් එකතු වුණා.
මිරිස් කුඩු නම් එළවළු මාළුවලට දානව කියල දන්නව නෙ... ඒත් මේ කෑලිවලට මොකද කරන්නෙ කියන එක මට තවමත් ප්‍රශ්නයක්.
‘‘රොආන් මල්ලි... අර රාක්කෙ උඩ්ඩම තට්ටුවෙ නෙත්තියෙ තීනව නේද රත්තු පාට ටින් එකයි කොළ පාට ටින් එකයි... ඒ දෙක්කම ගන්ඩකෝ...’’
ඒක හරියට මගේ ප්‍රශ්නයට ලැබුණු උත්තරයක් වගේ; වගේ නෙවෙයි උත්තරයක් තමයි. මොකද ඒ ටින් දෙක ගනේෂ්ට දුන්නට පස්සෙ එයා රතුපාට ලොකු ටින් එකට මිරිස් කුඩු ටික දාල වහල ඉවරවෙලා කොළ පාට ටින් එකට කෑලි ටික දැම්මා.
‘‘ඇයි ඒ කෑලි ටික වෙනම ටින් එකකට දැම්මෙ...?’’
මම එහෙම ඇහුවෙ ගනේෂ් කතා බහක් නැතුව මිරිස් කොටපු තැන අස් කරන්න හරි-බරි ගැහෙද්දි.
‘‘ආ... ඒ කේලි තම්මයි ෂම්බෝල කොට්ටන්න, සීනි ෂම්බෝලවලට දාන්න, එත්තකොට ඔය... කංකුං, කරවල, ගෝවා, ලීක්ස් වගේ කොළ ජාති තෙල් දානකොට්ට... තව මේ... තෙම්පරාදු.. තෙම්පරාදු දාන එව්වට ගන්නෙ... ඔයැයිත් අත ෂනීප උන්නාට පස්සෙ මිරිස් කොටද්දි මේ විද්දියට තමයි කරන්ඩ ඕන්නෙ ෂරියා...’’
මිරිස් කෙටීමේ ආරම්භයේ ඉඳල අවසානය දක්වා පාඩම එක දවසෙන් ම උගන්වන්න ගනේෂ්ට පුළුවන් වුණා වගේ ම මමත් එක දවසෙන් ම ඒ වැඩේ අල්ල ගත්තා.
රොටී බාස් හෙවත් ජිනේ අයියා
මගේ නම ජිනදාස. හුඟ දෙනෙක් කියන්නෙ ජිනේ කියල. හැබැයි මම නැති තැන්වලදි කියන්නෙ ‘රොටී බාස්’ කියල. මම තමයි මෙහේ රොටි හදන කෙනා. රොටි කියන්නෙ මේ ගෙවල්වල හදනව වගේ පොල් රොටි නෙවෙයි. මාළු රොටී, මස් රොටී, එළවළු රොටී, ගෝදම්බ රොටී... තව මේ... රෝල්ස්, කට්ලට්, පැටිස් වගේ ම ලැවරියා හදන්නෙත් මම.
රොහාන් කොල්ල මගෙත් එක්ක පයුරුපාසානම පටන් ගත්තෙ උගේ අත පිච්චිලා හිටපු දවස්වල. වැඩ කරන්න බැරි වුනත් කුස්සියට ම වෙලා ඉන්න කියල විජේසිංහ මල්ලි කියල තිබුණෙ එක එකා මැනේජර් මහත්තෙයට කේලම් කියන නිසා කියල විජේසිංහ මල්ලි මාත් එක්ක කිව්වෙ. ඔන්න ඔය අතර තුරේ තමයි කොල්ල මේ පැත්තට එන්න යන්න ගත්තෙ. හැබැයි ඒ ආවෙත් කුස්සියෙ වැඩ ඉවර වුණාට පස්සෙ. ඒ වෙද්දි මගේ දවසෙ වැඩ ටිකත් ඉවරයි. හැබැයි පහුවෙනිදට ඕනෙ කරන පිටි හලාගන්නෙ ඔය වෙලාවෙදි.
මම පෙනේරයට දාල පිටි හලන දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු රොහාන් ‘‘ජිනේ මාමෙ... මේ... බේකරියෙ පාං එහෙම හදන පිටිත් මේ විදියට හලනව ද...?’’ කියල ඇහුවා.
‘‘නැතුව... හලනවා හලනවා... නැහ්නං ඉතිං මේ ජරාව එක්ක කෑම හදල මිනිස්සුන්ට දෙන්න ඇහැකිය...’’
කොල්ලා ‘‘හම්ම්ම්’’ කියල ඔළුව වැනුවට ඒ උත්තරෙන් සෑහීමකට පත්වුණේ නෑ කියලනං මට ඉන්තේරුවෙන් ම කියන්න පුළුවන්. ඒක ටක්කෙට ම හරි ගියේ කොල්ල අහපු ඊළඟ පුරස්නෙන්.
‘‘ඉතිං මාමෙ ඒ පිටිත් මේ විදියට හලන්න ගියොත් මහ විසාල කාලයක් යයි නෙ... මං කියන්නෙ මාමෙ මේ...’’
කොල්ල අහන්නෙ මොකද්ද කියල මට තේරුණා. ඒ නිසා ඌ පුරස්නෙ අහල ඉවර වෙන්නත් කලින් ම මං උත්තරේ දුන්නා.
‘‘හරි හරි... මට තේරෙනෝ ඔහේ අහන්නෙ මක්කයි කියල. බේකරියෙ පිටි හලන්නෙ පෙනේරෙං නෙවෙයි බං...’’
‘‘එහෙනං...?’’
* * *
ඒ වෙලාවෙ ඉඳං මගේ ආසාව තිබුණෙ බේකරියෙ පිටි ගෝණි ගණන් හලන්නෙ කොහොමද කියල බලාගන්න. ජිනේ මාම කියපු විදියට නම් හැමදාම පිටි හලන්නෙ හවස හයට හතට විතර. එහෙම බැලුවොත් නං කුස්සියෙ වැඩ කරන දවස් ටික ඇතුළත යන්න ම වෙනව. හදිසියෙවත් මාව ඉක්මනට ම වේටර් වැඩේට හරි කෑම පැන්ට්‍රියට... එහෙමත් නැත්නම් තේ පැන්ට්‍රියට දැම්මොත් බේකරියට යන එක බොරු. ඒ හිංද පුළුවන් තරම් ඉක්මනට ඒ වැඩේ බලාගන්න ඕනෙ. හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ බේකරියෙ වැඩ කරන එවුන් දෙන්නා. උන් නිසානෙ මගේ මේ අත පිච්චුණෙත්.
* * *
‘‘ආ... රොහාන්....? කොහොමෙයි දැන් අත හොඳෙයි...?’’
පහු වෙනිද හවස දෙකට විතර මම බේකරියට ගියේ විජේසිංහ අයියටත් කියල. මාව දැකපු ගමන් මිල්ටන් ඇහුවෙ එහම.
‘‘ඩිංග ඩිංග හොඳ වෙනෝ අයියෙ... කෝ අයියෙ සරතුයි කුමාරයි...?’’
මම එහෙම ඇහුවම මිල්ටන් අයිය මගේ මූණ දිහා බලල හිනාවුණේ නක්කලේට වගේ. ඒ එක්ක ම ‘‘ඇයි... උං උඹ අත පුච්චගන්නකං බකං නිලං හිටියට තැගි දෙන්න ද...?’’
ඇත්තට ම උන් දෙන්නා ගැන අහද්දි නම් මට එහෙම මතකයක් තිබුණෙ ම නෑ. ඒත් මිල්ටන් අයිය මතක් කරාට පස්සෙ නම් කේන්තියක් ආවා. ඒත් මගේ වැඩේ කරගන්න නම් ඒ කේන්තිය පෙන්නලා හරියන්නෙ නැති නිසා මම ඉක්මනට ම වෙස් පෙරළගත්තා.
‘‘ආ... ඒක මොකද්ද... උන් දෙන්න එච්චර දුර දිග හිතන්නැතුව ඇති අයියෙ... සමහර විට උං කියන්නත් කලි වෙන්නැතිනෙ මං තැටිය ඇල්ලුවෙ... හැබෑටම අයියෙ කොයි උං දෙන්න...?’’
‘‘උං දෙන්නා ගියා කෑමට. දැං කාල ඉවරැති. කාල ඉවර වෙලා උඩට වෙලා බීඩි ගහනව ඇති. තව ඩිංගකිං එයි. ඔහේ මක්කටෙයි මෙච්චරට ම උං දෙන්න හොයන්නෙ...?’’
මගේ ආසාව මොකද්ද කියල මිල්ටන් අයියට හංගන්න වුවමනා නැති නිසා මං විස්තරේ ඔක්කොම කිව්ව.
‘‘ආ... ඒකයි මේ... හරි හරි... මං උං දෙන්නට කියල තියන්නං. හැබැයි කොල්ලො පිටි හලන්නෙ නං හතට විතර. ඒ වෙලාවට ඔහේට එන්න ඇහැකි ය.’’
‘‘අපෝ ඇහැකි අයියෙ... තාම මං කුස්සියෙම නෙ වැඩ... ඒ හිංද ඇහැකි... විජේසිංහ අයියත් කිව්ව මිල්ටන් අයියගෙං වෙලාව අහගෙන ගිහං බලාගන්නෙයි කියල.’’
ඒ වෙද්දිත් වෙනද වගේ ම දුම් දමන: බනිස්, වියන්රෝල්, මාළු පාන් තැටි බිම පුරා ම අතුරල තිබුණෙ. පෙරේතකමක් නොතිබුනත් මට ඒ දිහා බැලුවෙ නිකමට වගගේ; ඇත්ත්ට ම හිතල බැලුවෙ නෑ; නිකම් ම බැලුණා. ඒ එක්කම මිල්ටන් අයිය ‘‘බනිසක් එහෙම ඕන්නං කනෝ...’’ කිව්වෙ හරියට මගේ හිත කියවලා වගේ. අදනං මං ලැජ්ජාව පෙන්නුවෙ නෑ. වියන්රෝල් එකක් කන්න ආසාව තිබුනට ඒක කන්න වෙලා යන නිසා උණු උණුවෙ බනිස් ගෙඩියක් කටට දෙකට කාල දැම්මා.
* * *
හවස හය හමාර වෙද්දි මම බේකරියට ගියේ වැඩේ මුල ඉඳන් ම බලාගන්න වුවමනා නිසා.
‘‘ආ... ඔය ඇවිත්තියෙන්නෙ වේල පහ ම. දැං කොහොමෙයි අත...?’’
බේකරියට ඇතුළු වෙද්දි ම එහෙම ඇහුවෙ සරත්. ඒ එක්ක ම ‘‘අනේ බං අපි හිතල කෙරුවෙ නෑ හරිය. අපි හිතුවෙ නෑ ඔහේ එකපාට්ටම ගිහින් තැටිය අල්ලයි කියල. මං ‘අල්ලන්නෙපා’ කියල කියන්න හදද්දි ම ඔහේ අල්ලත් ඉවර නෙ. කුකුළු තෙල් විතරෙයි ගෑවෙ’’ කියල අහන ගමන් මගේ ළඟට ආපු කුමාර අත අල්ලා බැලුව.
‘‘කමක් නෑ... ඔයැයිල හිතල කරේ නෑනෙ... කොහ්... පිටි හලන්න පටන් ගත්තයි.’’
මම ඒ සිද්ධිය අමතක කරල වගේ එහෙම කිව්වෙ බොරුවට නෙවෙයි; ඇත්තට ම යි. මොකද මුන් දෙන්නා තරහ කරගන්න එක මට පාඩුයි. ඒක මේ බනිස් ගෙඩියක්, වියන්රෝල් එකක් කන්න නැති වෙන එකටත් වඩා පාඩුයි.
‘‘අහ්... පිටි හලන්නෙ මෙහේ නෙවෙයි. අපි යං... කුමාර... ඔය ගෝනි ටිකත් අරං එනවකො... අපි යං රොහාන්...’’
සරත් එහෙම කියන ගමන් ම එයාගෙ පස්සෙන් එන්න කියල මට අතින් කතා කරා. මමත් එයාගෙ පස්සෙන් ම ගොඩනැගිල්ලෙ තව ටිකක් ඇතුළට ගියා. ඒ ගිහින් දකුණු පැත්තෙ තුබුණ දොරකඩකින් තවත් කාමරයකට ඇතුල් වුණා. ‘මගෙ අම්මෝ...! මේකෙ ලොකු... අපේ ඉස්කෝලෙ හෝල් එක විතර ඇති.’ ඒ කාමරේ දැකපු ගමන් මට හිතුණෙ එහෙම. ඇත්තට ම ඒක කාමරයක් නෙවෙයි. ලොකු හෝල් එකක් වගේ විසාලයි. එක බිත්තියක් අයිනෙ පිටි මුට්ට ගොඩගහල තිබුණෙ අපේ උස වගේ දෙගුණයක් විතර උසට. ඒකත් තනි පේළියට එහෙම නෙවෙයි. තට්ටු තට්ටු... හරියට පඩි පෙළ වගේ.
මට හිතාගන්නවත් බැරි තරම් ලොකු මේස හතරක් එක දිගට තියල තිබුණ. ඒ මේස පුරාම පිටි ඇලුණු ලකුණු හොඳට ම පේන්න තිබුණ. ඇතුල් වෙච්ච තැන ම වම් පැත්තෙ ලොකු ප්ලාස්ටික් බැරල් හතරක වතුර පුරවල තිබුණ. ඒ එක බැරල් එකකට කළු පාට රබර් බටයකුත් ඔබල තිබුණ. වෙන කොතනක හරි තියෙන පයිප්පයකින් ඒ බැරල්වලට වතුර පුරවනව කියල දැනගන්න පුළුවන් සාක්ෂිය තමයි ඒ කළු පාට රබර් බටේ.
‘‘රොහාන්... අන්න අරකෙන් තමයි අපි පිටි හලන්නෙ...’’
සරත් එහෙම කිව්වෙ පිටි ගෝණි අට්ටි ගහල තිබුණ තැනම මේසයක් උඩ තිබුණ මොකක්ද එකක් පෙන්නන ගමන්. ඒක හරියට ම ගමේ ගෙවල් හදන තැන්වලදි දැකපු වැලි හලන සැල්අඩිය වගේ. වෙනසකට තිබුණෙ ඒක මේසෙ උඩ හයි කරල තිබුණ එක. තව මේ... මේසෙට ටිකක් පහලට වෙන්න ලොකු රොදයක් හයි කරල තිබුණ. සැල්අඩියෙත් ඊට වඩා ටිකක් පොඩි රෝදයක් හයි කරල ඒ දෙක අතර මහත රබර් පටියක් දාල තිබුණ. හරියට වී මෝලෙ වගේ. වෙනසකට තිබුනෙ වි මෝලෙ තිබුණෙ දිග අතට. මේක තිබුණෙ උඩ අතට. පෙනේරවල තියෙනව වගේ තිබුණු දැලට යටින් දිග අතට එක යකඩ පට්ටමකුයි හස් අතට පට්ටම් දෙකකුයි හයි කරල තිබුණ. මම හිතන්නේ එහෙම හයි කරල ඇත්තෙ සැල්අඩියට පිටි දාද්දි පහත් වෙන නිසා වෙන්නැති. මේසෙ මතුපිටයි ඒකෙයි අතර පරතරය අඩියක් විතර ඇති. ඒක දැක්ක ගමන්ම මට ‘‘මේ මක්කටෙයි සැල්ලඩියක්...?’’ කියල ඇහුණෙ ඉබේට ම වගේ.
‘‘සැල්ලඩිය... හහ්... හහ්... හා... ආ... හරි හරි... මේකට කියන්නෙත් සැල්ලඩිය තමයි. හැබැයි මේක වැලි හලන සැල්ලඩිය නෙවෙයි... මේක පිටි හලන සැල්ලඩිය. තේරුණයි...?’’
එක පාරට ම ඔච්චමට වගේ හිනාවුණ සරත් ආයෙ ඒ සුනංගුවෙන් ම මගේ අදහස හරි කියලත් පිළිගත්තා.
දැං කොහොමෙයි මේකෙං පිටි හලන්නෙ...?
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/01/19