ඇත්ත... මම ඒ වෙලාවෙ අම්මට බෝලෙ පාස් කරේ ම ඒ නිසා තමයි.
පෙරුමාල් අයිය කියපු විදියට නං කොල්ල මට වඩා අවුරුද්දක් දෙකක් බාලයි වගේ. හැබැයි කළු වුණාට උගේ හිනාවට කෙල්ලො වශී වෙනව. ඒකෙ ආයි දෙකක් නෑ. පෙරුමාල් අයිය කියපු විදියට නං තවම ඒ කොල්ල මෙහාට... ඒ කියන්නෙ හොටලෙ වැඩට ඇවිත් අවුරුද්දක්කත් නෑ. පෙරුමාල් අයියට මුණ ගැහිලත් මාසෙකට දෙහෙකට වඩා නැතිලු. මං හැරෙද්දි පෙරුමාල් අයිය දන්නව. ඒ නිසානෙ එයා කිව්වෙ ආයෙත් දවසක එක්කරගෙන එන්නම් කියල. බලමු... පෙරුමාල් අයිය බොරු කියන එකක් නැහැ නෙ.
* * *
ඒ සිද්ධියෙන් පස්සෙ ගෙවිල ගියේ පැය විසි හතරයි. මෙන්න කොල්ල අද හවස හතරයි 20 වෙද්දි පෙරුමාල් අයියගෙ කාමරේට ඇවිත්. පෙරුමාල් අයිය කඩල තම්බගෙන ගෙදරින් පිටත් වෙන්නෙ පහ මාරට විතර. කොල්ල ආපු ගමන් ම පෙරුමාල් අයිය දුවගෙන ඇවිත් මට පණිවිඩය කිව්වා. මට අදහා ගන්නත් බෑ.
‘‘ඉතිං... මට මක්කයි දොඩන්නෙ... එයැයි ඔයැයගෙ යාළුවනෙ. එයැයි එන්නැත්තෙ ඔයැයි බලන්න...’’
මම පෙරුමාල් අයියට එහෙම කිව්වට මට නම් නිට්ටාවට ම කියන්න පුළුවන් එයැයි ඇවිත් තියෙන්නෙ මාව බලන්න කියල. ඒත් මට හේතුවක් නැතුව පොරුමාල් අයිය ඉන්න පැත්තට යන්න බෑ. මම ඒ ගැන කල්පනා කරද්දි තමයි පෙරුමාල් අයිය ‘‘තුෂාරි නංගි... අද මට ඩිංගක් සුනංගු වෙලා තීන්නෙ. ඔයැයිට ඇහැකිය ඇහිදිල්ල මට පොල් ටික කේලි කපල දෙන්න...?’’ කියල කිව්වෙ. තවත් ඉතිං මොනවට පරක්කු වෙන්න ද මම කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ‘‘හා යං...’’ කිව්ව. හැබැයි පෙරුමාල් අයිය කපටිය එයා එක පාරට ම අහපි ‘‘නංගී... අම්ම ගෙයි ඉන්නවයි...’’ කියල.
‘‘ආ... ඔවු අයියෙ... අම්ම ලණු අඹරනව...’’
‘‘එහෙනං අම්මට ඩිංගක් කියල එන්න...’’
ඇත්තට ම අම්මට කියල යන්න ඕනෙ කියල මට මතක් වුණේ පෙරුමාල් අයිය කිව්වට පස්සෙ. කොහෙද... අර කොල්ල ආව කිව්වට පස්සෙ මට කිසිම දෙයක් නිනව් නැතුව ගියානෙ...
අම්මට කියල එන ගමන් ම මම ඇඳගෙන හිටපු පරණ ගවුම ගලවල වෙන ගවුමක් ඇඳගෙන ඊට උඩින් චීත්තයකුත් පටලවාගත්තෙ ඇත්තට ම පොල් කපන්න තිබුනොත් කියල හිතාගෙන.
* * *
මම නොඉවසිල්ලකින් බලාගෙන හිටියෙ ඊයෙ දැකපු විදියට ම අදත් එයාව දකින්න. ඒ කියන්නෙ මිනිගවුම ඇඳල ඉන්නව දකින්න. නමුත් ඒ බලාපොරොත්තුව සුන් වෙලා ගියේ එයා ගවුමට උඩින් චීත්තයකුත් ඇඳගෙන ආපු නිසා. බලාපොරොත්තු සුන් වුනාටත් වඩා මට මහා ලජ්ජාවකුත් දැනෙන්න ගත්තා. ඒ, මම ඊයෙ එයාගෙ ඇඟ දිහා බලාගෙන හිටපු විදිය නිසා අද චීත්තයක් ඇදගෙන ආවද කියල. ඒත් ඒ ගැන කාගෙන් ද අහන්නෙ...? කොහොම වුනත් පෙරුමාල්ගෙන් වුනත් ඒ ගැන අහන්න බෑනෙ.
මම ඒ ගැන හිතමින් ඉද්දි ම තමයි පෙරුමාල් ‘‘ආ... මොකෝ මේ චීත්තයක් පටලවාගෙන... එත්තට ම පොල් කපන්න තීනව කියල ඉතුවයි.’’ කියල එයාගෙන් ඇහුවෙ.
එයත් කපටියි කියල දැනුණෙ එයා පෙරුමාල් අයියට දීපු උත්තරේ නිසා.
‘‘නෑ පෙරුමාල් අයියෙ... මං දන්නව ඔයැයි දෙඩුවෙ බොරු කියල. ඒත් අම්මට කියල එද්දි චීත්තෙ පටලවාගෙන ආවෙ නැහ්නං එහෙම අම්ම ‘ඈ සේපාලිකෝ... උඹ ඕක ඇඳගෙනෙයි පොල් කපන්න යන්නෙ... වැඩකට යනව නං චිත්තයක් පටලවං පලයං’ කියල කියනෝ... අන්න ඒ හිංද තමයි මං මේ චිත්තෙ පටලවාගෙන ආවෙ. ඇත්තට ම අයියෙ මක්කටෙයි මට එන්න කිව්වෙ...?’’
එයාගෙ නමට ‘සේපාලිකා’ කියල කොටසකුත් තියෙනව කියල මම දැනගත්තෙ ඒ වෙලාවෙ. ‘ඒ කියන්නෙ එයාට අම්ම කතා කරනව ඇත්තෙ ‘සේපාලිකා’ කියල වෙන්නැති’ කියල මට ඒ වෙලාවෙ හිතුණ.
ඇත්තට ම මටත් හිතුණ ‘තුෂාරි’ කියනවට වඩා ‘සේපාලිකා’ කියල කතා කරානම් හොඳයි කියල. එහෙම හිතල ඉවර වෙන්නත් කලින් පෙරුමාල් අයියගෙ කටහඬ මතු වුණා.
‘‘හනේ හනේ... නංගි දන්නෙ ම නැතෙයි මං මක්කට ද එන්න කිව්වෙ කියල...?’’
ඒ ප්‍රශ්නෙට සේපාලිකා නංගි දීපු උත්තරෙන් පැහැදිලි වුණේ මීට කලින් වුවමනාවක් නැතිනම් එයා මේ පැත්තට නොඑන බව.
‘‘පොල් කපන්න නෙවෙයි කියල නං මං ඉංතේරුවෙං ම දැනගත්ත. හැබැයි මොකට ද කියල නං හරියට ම දන්නෙ නෑ.’’
‘‘එහෙනං මක්කට ද කියල මං කියන්නෙයි...?’’
පෙරුමාල් ඇහුවෙ වැදගත් වගේ ම රහසක් කියන්න වගේ.
‘‘ඉතිං අනේ තෙපර බාන්නැතුව කියන්නකො...’’
සේපාලිකා එහෙම ඇහුවෙ කකුලක් පොළොවෙ හප්පන ගමන් ම කොමළ හිනාවකින් මූණත් සරසගෙන. මේ වෙද්දි මගේ අවධානය සම්පූර්ණයෙන් ම සේපාලිකා දිහාට යොමු වෙලා තිබුණට එයාගෙ අවධානට මගේ දිහාට යොමු වෙලා කියල නම් මට දැනුණෙ නෑ. සමහර විට එයා වුවමනාවෙන් ම එහෙම කරනව ද දන්නෙ නෑ. කෝකටත් මමත් ඒ ගැන ලොකු උනන්දුවක් නැති විදියට ම හිටියා; එයා තවමත් ඊයෙ වගේ ම දොරකඩ; හැබැයි පැත්තකට හැරිල හිටිය නිසා මට ඒ මූණෙ හැඟීම් කියවා ගන්න පහසු වුණා.
‘‘මෙ... මේ... යෙසේ මල්ලි එවිල්ලා...’’
පෙරුමාල් එහෙම කිව්වෙ චකිතයකින් ද ලජ්ජාවකින් ද කියල මට හරියට ම තේරුණේ නෑ. නමුත් ඒකට සේපාලිකා දීපු පිළිතුරෙන් නම් පෙරුමාල් අයිය යි මායි දෙන්න ම ටිකක් විතර ගැස්සුණා.
‘‘ඉතිං...? එයැයි එන්නැත්තෙ ඔයැයි බලන්න නෙ... මට කතා කරේ ඒකට ද...? ඔහේටනං පිස්සු පෙරුමාල් අයියෙ... මං යනව යන්න,’’ කියල එයා දොරකඩින් මිදුලට බහිනවත් එක්ක ම මට ඉබේට ම වගේ පුටුවෙන් නැගිටුණා; නැගිටුණා විතරක් නෙවෙයි.
‘‘සේපාලිකා... පොඩ්ඩක් ඉන්නකො... ගියාට කමක් නෑ... මං... මං... ඔයැයිට බඩුවක් ගෙනාව... ඒකත් අරං යන්න,’’ කියල කියන ගමන් ම එයා ළඟට ඇවිත් සාක්කුවෙ තිබුණ චොක්ලට් එක එළියට ගත්තා.
මිදුලට තියපු අඩිය පොඩ්ඩක්වත් හොලවන්නෙ නැතුව එයා මගේ මූණ දිහා බැලුවා. මමත් එයාගෙ මූණ දිහා බැලුවා. අන්න ඒ වෙලාවෙ තමයි අපේ ඇස් පළවෙනි වතාවට එකට පැටලුණේ. මම හිතන්නෙ එයා තත්පර පහක් හයක් විතර මගේ ඇස් දෙක දිහා බලාගෙන ඉඳල එක පාරට ම චොක්ලට් එක මගේ අතින් ගත්තා; ගත්තා කියනවට වැඩිය සුදුසු ‘උදුර ගත්තා’ කිව්වොත් තමයි. එහෙම උදුරගෙන, එක පාරට ම පෙරුමාල් අයිය දිහා බලල ‘‘පෙරුමාල් අයියෙ... මං යනෝ...’’ කියල ඒ එක්ක ම මගේ මූණ දිහා බලල, මූණෙ හිනාවක් පුරවගෙන ‘‘මං යනෝ...’’ කියල ඉක්මනට ම ගියා. එයා: බඳ නළව නළව, දෙඋකුළ පද්ද පද්ද කීප වතාවක්ම ආපහු හැරි හැරී මා දිහා බල බලා යන දිහා බලාගෙන හිටපු මට ආයෙත් පියවි සිහිය ලැබුණෙ පෙරුමාල් අයියගෙ කටහඬට.
‘‘ආ... වෙඩේ ෂරි වෙඩේ ෂරි... චොක්ලට් එක ගත්තනේ... ඒනම් වෙඩේ ෂරි...’’
පෙරුමාල් අයියගෙ ඒ වචන ටික ඇහෙද්දි මට හරියට දැනුණෙ සේපාලිකා මට කැමතියි කිව්ව වගේ. ‘ඒත් ඇත්තට ම එහෙම දෙයක් එයා කියයි ද...? ’කියල මම හිතද්දි ම පෙරුමාල් අයිය ‘‘යෙස් මල්ලී... ඕකෙ ආයි ඉත ඉත ඉන්න දෙයක් නේ... තුෂාරි නංගි ඔයැයිට කෙමතියි.’’
ඒත් මට ඒක ස්ථිර කරගන්න වුමනා වුණා.
‘‘ඔයැයි කොහොමෙයි අයියෙ එහෙම කියන්නෙ...?’’
‘‘කියන්නෙ ද... තුෂාරි නංගි ඔයැයිට අකමෙති නං දෙං ඩිංගකට කලිං මක්කයි දන්නවයි වෙන්නෙ...?’’
‘‘ඇයි... එහෙමනං මක්කයි වෙන්නෙ...?’’
මම එහෙම ඇහුවෙ හරිම කුතුහලයෙන්.
‘‘වෙන්නෙ ද... ‘හහ්... මට මක්කටෙයි ඔහේගෙ චොකලට්... මං ඔහේගෙ කවුද... ඔහේ මගෙ කවුද... ඔහේ පෙරුමාල් අයියගෙ යාළුවෙක් ඉතර නෙ... එහෙව් එකේ මක්කටෙයි මට චොක්ලට් ගේන්නෙ...’ කියල අහල ගස්සගෙන යන එක තමයි වෙන්නෙ. ඒ උනාට දෙං කොහොමෙයි උණේ...? අන්න ඒක හිංද තමයි මං කියන්නෙ තුෂාරි නංගි ඔහේට කෙමති එති කියල.’’
තුෂාරි සේපාලිකා
‘ඒක ඇත්ත... ඒ කොල්ල දැක්කෙත් ඊයෙ. ඒ වුනාට මට දැනුණෙ හුඟක් කල් ඉඳං එයැයි දන්නවා වගේ. ඒකනෙ මං ඊයෙ වහෙන් ඔරෝ එයැයිගෙ විස්තර ටිකත් අහගත්තෙ. ඒත් හත්තිලව්වෙ කවුද හිතුවෙ ඒකා අදත් එයි කියල. අනික එක දවසක් විතරක් දැකපු කෙලේලෙකට චොක්ලට් එකක් අරගෙන එන්න තරම් හිතට හයියක් ආපු හැටි. මං අහල තියෙනව අවංක කොල්ලො එහෙම තමයි කියල. අහන්න තියෙන දේ කෙළින් ම අහනවලු; කියන්න තියෙන දේ කෙළින් ම කියනවලු. හැබැයි මෙයා තවම මට මොනවත් කිව්වෙත් නෑ; මගෙන් මොනවත් ඇහුවෙත් නෑ. ඒ වුනාට තෑගි අරගෙන ආවා. මමත් මක්කවත් ම නොකිය ඒ තෑග්ග අරගෙන ආවා. ඉතිං එයැයි අනිවාර්යයෙන් හිතනව මම එයැයිට කැමතියි කියල.’
චොක්ලට් එක අල්මාරියෙ රෙදි අස්සෙන් ගහල ඇවිත් එළියෙ තියෙන ලොවි බංකුවෙ වාඩිවෙලා කල්පනා කර කර ඉද්දි තමයි පෙරුමාල් අයියගෙ කට හඬ ඇහුණෙ.
‘‘තුෂාරි නංගි... එපි යෙනවා... යෙසේ මල්ලිත් මාත්තෙක්කම මාමෝදර අංදියට තමා යෙනවා. ඊට පස්සෙ එයැයි බස් එකේ යෙනවා. මං කරත්තෙ තල්ලු කරගෙන එමීට යෙනවා.’’
‘‘හරි අයියේ... එහෙනං ගිහින් එන්නකෝ...’’
මම එහෙම කිව්වට පස්සෙ තමයි පෙරුමාල් අයිය ‘‘ගීන් එන්නකෝ කිව්වෙ මට ද... එපි දෙන්නට ම ද...?’’ කියල ඇහුවෙ.
‘‘දෙන්නට ම තමයි ඉතිං ආයෙ... ඔයැයි ඉතිං කොහොමත් එනව නෙ...’’
මම ඒ වචන ටික ටිකක් සද්දෙන් කිව්වෙ අර කොල්ලට ඇහෙන්න ඕන නිසා. ඇත්තට ම ඊයෙ පෙරුමාල් අයියගෙ කටින් කොච්චර විස්තර දැනගත්තත් මට හරියට ම එයැයිගෙ නම දැනගන්නත් බැරි වුණානෙ. ඒ වචන ටික මගේ කටින් පිට වෙලා ඉවරවෙන්නත් කලින් ඒ කොල්ලා ‘‘එහෙනං සේපාලි... අපි ගිහිං එන්නං...’’ කිව්වෙ හෙටත් එනව කියන එක ම තමා.
මට හුඟ දෙනෙක් කියන්නෙ තුෂාරි කියල මිසක සේපාලිකා කියල නෙවෙයි. මෙයා ඉස්සර වෙලා සේපාලිකා කියල දැන් සේපාලි කිව්ව. ඒ කියන්නෙ එයා දැනටමත් ආදරෙයි ද...? මොකද මම අහල තියෙනව හුඟක් පිරිමි එයාගෙ ආදරවන්තියට කතා කරන්නෙ නම කෙටි කරල කියල. එයත් මට සේපාලි කියන්න ඇත්තෙ ඒ නිසා වෙන්න ඇති. අනේ මංද... මට පිස්සුද කියල මට ම හිතෙනවා. දැන් ඉතිං වැඩි විස්තර දැනගන්න හෙට වෙනකන් ම ඉන්න එපාය. පෙරුමාල් අයිය එන්නෙ රැ දොගොඩ හරියෙ නෙ... මොකෝ මං ඒ වෙලාවට අවදියෙන් ඉන්නයැ....
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/04/19
අපලෝකන - පසුගිය කොටස්