මට හුඟ දෙනෙක් කියන්නෙ තුෂාරි කියල මිසක සේපාලිකා කියල නෙවෙයි.
මෙයා ඉස්සර වෙලා සේපාලිකා කියල දැන් සේපාලි කිව්ව. ඒ කියන්නෙ එයා දැනටමත් මට ආදරෙයි ද...? මොකද මම අහල තියෙනව හුඟක් පිරිමි එයාගෙ ආදරවන්තියට කතා කරන්නෙ නම කෙටි කරල කියල. එයත් මට සේපාලි කියන්න ඇත්තෙ ඒ නිසා වෙන්න ඇති. අනේ මංද... මට පිස්සුද කියල මට ම හිතෙනවා. දැන් ඉතිං වැඩි විස්තර දැනගන්න හෙට වෙනකන් ම ඉන්න එපාය. පෙරුමාල් අයිය එන්නෙ රැ දොගොඩ හරියෙ නෙ... මොකෝ මං ඒ වෙලාවට අවදියෙන් ඉන්නයැ....
පෙරුමාල් හෙවත් කඩලකරුවා
‘ගෙවිච්ච මාස හය හත එතුළත වෙච්ච දේවල් ඉතාගන්නවත් බෙරි තරම්. සුසන්ත කීන විදියට නම් දැන් යෙසේ මල්ලි පත්වෙලා ඉන්න තත්ත්වෙට මමත් වග කීන්න ඕනෙලු. ඒකෙ එත්තක් නෙත්තෙත් නේ. යෙසේ මල්ලි තුෂාරි නංගි එක්ක සම්බන්ධයක් එති කරගත්තෙ මගෙත් අනුබලය ලැබිච්ච හින්ද. එක අතකට මම යෙසේ මල්ලිව ඒකට පෙලඹෙව්ව නේද කියල මට දෙන් ඉතෙනවා. ඒත් කවුද ඉතුවෙ මේව මේ විදියට සිද්ධ වේවි කීල. තුෂාරි නංගි එහෙම කෙනෙක් කියල මම මේ හිටපු කාලෙට ම මට නිකමටවත් දෙනුණෙ නේ නෙ. එම මිනිහෙකුගෙ ම හිත වෙනස් වෙන්න ගතවෙන්නෙ ටික කාලය යි. දැන් ඉතිං වෙච්ච දේවල් උණා. කොහොම හරි කොල්ලව ගොඩදාගන්න බලන්න ඕනෙ. අද ම ගිහින් සුසන්තව මුණ ගැහිල විස්තර ටිකක් දෙනගන්න ඕනෙ.’
ඒ නිසා තමයි මම සුසන්තව මුණ ගැහෙන්න ගියේ. දැන් එයා නිදාගන්නෙත් පරණ විදියට වේටර්ල නිදාගන්න කැල්ලෙමලු. හුඟක් දවස්වලට කළුමහත්තයගෙ ගෝරනාඩුව නිසා අවදි වුනත් මොකක් හරි බොරුවක් කියල වැඩට නෑවිත් ඉන්නවලු. අදත් යසේ මල්ලි වැඩ කරන්න ඇවිත් නෑ. වැඩට නෑවිත් හිටියට නම් කමක් නෑ කියමුකො. ඒත් අද එයා කළු මහත්තයට පාඩමක් උගන්නලා. ඊට පස්සෙ උදෙන්ම ඇඳගෙන කොහේද ගියාලු. යසේ මල්ලි සුසන්තට කියපු විස්තරේ මෙහෙමයි.
* * *
‘‘ඒයි... අඩෝ... නැගිටපල්ලා නැගිටපල්ලා... යකෝ මේ හු**ගෙ පුතාලට හැමදාම අවදි කරන්න ඕනනෙ. යකෝ හදිසියෙවත් මං නැති දවසට කොහොමද මුං නැගිටින්නෙ...?’’
‘‘ඒ කාලකණ්ණිය වෙනද වගේ ම මරු කියවනව ඇහිච්ච මට ඇහැරුණා. මං සද්ද නැතුව ම හිටියා. මු වෙනද වගේ ම හොණ්ඩර දර පොල්ලකුත් අරගෙන ඇවිත් එකක එකාට පයින් ගගහ අවදිකරනවා. පයින් ගහලත් නැගිටින්නෙ නැත්නං හොණ්ඩර දර පොල්ලෙන් පුකට තඩි බානවා. මූ කොල්ලන්ගෙ ඇලපතට හරි, පුකට හරි, කොන්දට හරි, කළවට හරි පයින් ගහද්දි අර පණ නැති කකුල බිම තියල ඇවිදිද්දි ඒ කකුලට අත තියනව වගේ ම අත තියාගෙන අනික් කකුලෙන් තමයි ගහන්නෙ. මං ඕක දවස් ගාණක් බලාන හිටියෙ. ඌ හැමෝට ම අවදි කරගෙන මං ගාවටත් ආව. ඌ ළඟට එන්න කලිං මං කොට්ටෙ පුකට තියාගෙන, පුක උඩට හරවගෙන, බෙල්ලපැත්තකට හරවගෙන මු එන දිහා බලාගෙන හිටියෙ.
‘‘ඒයි... කවුද මේ යසේ නේද... නැගිටපං යකෝ... අනික් එවු ඔක්කොම නැගිටල උඹ විතරක් තවම ෂපාන්,’’ කියල කියන ගමන් ම පුරුදු විදියට හොණ්ඩර දර කැල්ලෙන් මගේ පුකට තඩිබැවා. ඒ එක්ක ම ඌ දැනගත්තා මම පුකට කොට්ටෙ තියාගෙනයි ඉන්නෙ කියල. ඒ වගේ ම මං දන්නව ඊළඟට ඌ මොකද්ද කරන්නෙ කියල. මං හිතුව වගේ ම ඌ පණ නැති කකුල බිම තියල, ඒ කකුලට අත තියල තද කරගෙන මගේ ඇලපතට පයින් ගැහුව; ගහනවත් එක්ක ම ‘දඩාං’ ගාල ඇදගෙන වැටුණ. එතකොට ම ඌ ‘අම්මෝ මෙන්න මගේ කොන්ද කැඩුවෝ... මේ හු**ගෙ පුතා මගෙ කොන්ද කැඩුවෝ කියල කෑගැහුවා.’’
‘‘ඒ කොහොමෙයි බං ඌ වැටුණෙ... උඹ ඌව තල්ලු කරයි...?’’
සුසන්ත එහෙම ඇහුව ම යසේ මල්ලි හිනා වෙන ගමන් ‘‘පිස්සු ද බං. මං එච්චර මෝඩෙයි... මං කරේ ඌ මගේ ඇලපතට පයින් ගහද්දි ම පිම්මක් අනිත් පැත්තට පෙරළිච්ච එක.’’ කියල කිව්වලු. ඒත් එක් සුසන්තට හරියට ම තේරිලා නැ.
‘‘මට තේරෙන්නෑ බං උඹ මක්කයි කියන්නෙ කියල...?’’ කියල සුසන්ත ඇහුවම යසේ මල්ලි ආයෙත් වෙච්ච දේ පැහැදිලි කරල.
‘‘මෙහෙමනෙ සුසා... උගෙ එක කකුලක් පණ නැහැ නෙ. දැං ඒ කකුලට බර දීල... අර උඹ දැකල ඇතිනෙ ඌ ඇවිදිද්දි පහත් වෙලා, අත පණ නැති කකුලෙ දණහිස ගාවින් තියල තද කර කර නෙ ඇවිදින්නෙ...’’
‘‘ඔවු... ඉතිං...?’’
‘‘ඉතිං කියන්නෙ...? ඌ අනිත් කකුලෙං මට ගැහුවට ඒක වැදුණෙ නෑ නෙ. එක පාට්ට ම පණ නැති කකුලෙ බැලන්ස් එක නැති උණා. ඒ එක්ක ම මු ‘දඩාං’ ගාල ඇදගෙන වැටුණ.’’
යසේ එහෙම කියල තියෙන්නෙ කවදාවත් නැති විදියට හිනාවෙවි.
‘‘ඉතිං... උඹ ඌව නැගිට්ටෙව්වයි...?’’ කියල සුසා අහල තියෙනවා.
‘‘උඹට පිස්සුය සුසා. මං මක්කටෙයි ඌ නැගිට්ටුවන්නෙ... මං කඩේට ආපු දවසෙ ඉඳලම බලාන හිටියෙ ඌ ඔය උදෙම්ම ඇවිත් කොල්ලන්ට දෙන වදේට පාඩමක් උගන්නන්නෙ කොහොමද කියල. හැම ගහට ම කොටල කොටල ඌ අද තමයි කෙහෙල් ගහට කෙටුවෙ...’’
යසේ ඒ වචන ටික නම් කියල තිබුණෙ හරිම තරහකින් කියල තමයි සුසන්ත කිව්වෙ. ඊට පස්සෙ ‘‘ඉතිං කවුද ඌව නැගිට්ටෙව්වෙ...?’’ කියල සුසන්ත අහල තියෙනව.
‘‘දන්නෑ බං... මං ඒ පැත්තවත් බැලුවෙ නෑ... මං සද්ද නැතුව අනික් පැත්ත හැරිල නිදාගත්ත. හැබැයි මට මොකෑගෙයි, ඇක්මන්ගෙයි කටහඩ ඇහුණ. උං කළුවව උස්සගෙන පල්ලෙහට්ට එනවත් ඇහුණ.’’
‘‘ඒ කියන්නෙ... එච්චර දෙයක් වෙලත් උඹ සද්ද නැතුව හිටියා...?’’
‘‘ඔවු ඉතිං... මොකෝ මං කරපු දෙයක් ය. ඌ විහින්ම නෙ වැටුණෙ...’’ කියල යසේ කියල තිබුණෙ කිසිම ගානක් නැතුව.
‘‘ඉතිං දෙං කෝ යෙසෙයි කළු මහත්තෙයයි...?’’
ඊට පස්සෙ වුණේ මොකද කියල දැනගන්න මං සුසන්තගෙන් ඇහුවා.
‘‘ම්ම්ම්... කළු මහත්තෙයනං ඔය... මේ... බෝගහවත්ත පැත්තෙ වෙද මහත්තයෙක් ගාවට එක්කරගෙන ගියාලු...’’
එහෙම කියපු සුසන්ත ටිකක් කල්පනා කරා.
‘‘දැං එතකොට යෙසේ... එයැයි පොලිසියෙ ද...?’’
සුසන්ත ඒකට එක පාරට ම උත්තරයක් දුන්නෙ නෑ. පිඟානක් දෙකක් හෝදන ගමන් ම ‘‘පොලිසියෙ...! පිස්සු ද බං...? ඌ ඔන්නොහෙ ඇඳගෙන කොහේද ගියා,’’ කියල කිව්වෙ කිසිම ගානක් නැතුව.
‘‘යෙතකොට... යෙතෙකොට... කළු මහත්තෙය කීල නෙද්ද එයැයිට ගෙහුවෙ යෙසේ කීල...?’’
‘‘ගැහුවෙ...! යසේ...!!’’
සුසන්ත ඇහුවෙ පුදුමයෙන් වගේ.
‘‘ඔවු... යෙසේ ගාපු ඉන්ද නෙමෙයි ද කළු මහත්තෙයා වෙටුණෙ...?’’
‘‘පිස්සු ද පෙරුමාල්... යසේ කළුවට අතක්කත් තියල නෑ. කළුව වැටුණෙ බැලන්ස් එක නැතුව. හැබැයි එහෙම උණේ මං හිතන්නෙ යසේ දන්න වැඩක් දාපු හින්ද. මොකද මිනිහ කරාටිකාරයනෙ. ඒත් මයි හිතේ ගහල නෑ. අරු ගහපු පාරක් හුළඟෙ යන්නෑරල විතරයි. යසේ එහෙම කරල තියෙන්නෙ කළුව වැටෙනව කියල දැන දැන ම යි.’’
‘‘ඉතිං දෙං උඹ ම නෙ කිව්වෙ කළු මහත්තෙය කේ ගැව්ව කීල...! දෙං ආයි කීනව කළු මහත්තෙය මක්කවත් කිවව්වෙ නේ කීල.’’
‘‘ඔවු... ඒ වෙලාවෙ කෑ ගැහුවට ඊට පස්සෙ කිව්වලු වැටුණ කියල. මොකද වෙච්ච දේ කියන්න ලැජ්ජයිනෙ.’’
‘‘අනේ මංදා... දෙං ඉස්සරාට මක්කා වෙයිද...?’’ කියල මං සුසන්ත මල්ලිගෙන් ඇහුවෙ යසේට කරදරයක් වෙයි කියල හිතාගෙන.
‘‘මක්කවත් වෙන්නෑ... මොකෝ... වෙච්ච සංතෑසිය කළුව කියන්නෑ... ඇක්මනුයි මොකැයි කියන්නෙත් නෑ. කළුව වැටුණ... එච්චරයි... හැබැයි කළුව ඕකට යසේගෙන් පළි නොගෙන ඉන්නෙකක් නං නෑ. මක්ක ම හරි කරයි; සමහර විට එහෙම නොකරන්නත් පුළුවං. මතක නෙ... යසේ දැං මාසෙකට එකහමාරකට විතර උඩදි අර පත්තර මුදලාලිගෙ පුතා... මේ සුමේධට ගහපු වෙලාවෙත් හැමෝ ම කිව්වෙ යසේට කොල්ලො දම්මල ගස්සවයි කියල නෙ... කෝහ්... තවම සද්දයක් නෑ නෙ... මුදලාලිත් තවම කඩේට එනෝ... ගුටිකාපු උගෙ පුතත් කඩේට එනෝ. වෙනසකට කියල තියෙන්නෙ උං දෙන්නගෙං එකක්කත් යසේ ඉන්න පළාතෙවත් ඉඳගන්නෑ.’’
සුසන්ත ඒක කිව්වට පස්සෙ තමයි මට ඒ ගෝරිය මතක් වුණේ. පත්තර මුදලාලිගෙ පුතාට ටවුමෙ එවුං කියන්නෙ පියදාස විජේකෝන්ගෙ පුතා කියල. මොකද මිනිහ ඒ තරමට ම උස මහත එකා. කන්න බොන්න ගියාමත් එහෙම තමයි. සමහර දවස්වලට පාන් රාත්තලක් කනවලු; ඉඳිආප්ප නම් පනහක් විතර කනවලු. බනිස් කනව නම් එක පාරකට තුන හතරක් කනවලු. මිනිහට එක ටී එකක් මදිලු. හැමදාම ටී දෙකක් බොනවලු. වේටර්ලට ටිප් එකක් දුන්නට කතා කරන්නෙ සත්තුන්ට වගේලු. මිනිහ යසේ මල්ලිටත් දවස් කිපයක් ම කුණුහරුපෙන් බැණල. යසේ මල්ලි සද්ද නැතුව ඉඳල. හැබැයි යසේ කවදාවත් සුමේධ දෙන ටිප් එකවත් ගන්නෙ නැතිලු. බිල ගෙව්වත් ඉතුරු සල්ලි ගෙනත් දීල ටිප් එක තිබ්බට පස්සෙ ‘‘එපා සුමේධ මහත්තය... මේක ගන්න කියල ආපහු දෙනවලු. මොකද යසේ මල්ලි මිනිහට කැමති ම නැතිලු.
ඔය ආරෝව ඔය විදියට තියෙද්දි දවසක් කන්න හෝටලේට කන්න ආපු සුමේධ, යසේ මල්ලිත් එක්ක පොඩි වචන හුවමාරුවක් වෙලා එක පාරට ම ඉඳුල් වතුර කෝප්පෙන් යසේ මල්ලිට ගහල. හැබැයි යසේ මල්ලි පැත්තකට පැනපු නිසා ඒක එයාට වැදිල නෑ. ඒත් සුමේධ මල්ලි මොනවත් ම කියල නෑ. මොකද මැනේජර් මහත්තයයි ලොකු සර්රුයි දෙන්න ම කියල තියෙන්නෙ කස්ටමස්ලත් එක්ක පැටලෙන්න එපා කියලලු. ඒ නිසා යසේ මල්ලි බිලත් ගෙවල ඉතුරු සල්ලිත් ගෙනල්ල දිල. ඊට පස්සෙ සුමේධ නැගිටල යන ගමන් කිව්වලු ‘‘අඩෝ කැ** තෝ අහුවෙන්නෙපා එළියෙදි,’’ කියල. බතික් අංකල් කිව්වලු එතකොටත් යසේ මල්ලි නක්කලේට වගේ හිනාවුනා කියල.
දැන් ඔන්න සුමේධ කඩෙන් පිට වෙනවලු, යසේ මල්ලි බලාගෙන ඉඳල සුමේධ කඩෙන් එළියට බහිද්දි ම ඉක්මනට ම එයත් කඩෙන් එළියට ඇවිත්. බතික් අංකල් යසේ මල්ලිව අල්ලන්න හැදුවත් එයා බතික් අංකල්ගෙ අතත් අත ඇරගෙන එළියට එද්දි බතික් අංකල් පස්සෙන් ඇවිත්.
ස්ටිවන් හෙවත් බතික් අංකල්
මං රොහාන්ගෙ පස්සෙන් ම දුවල ආවා. කඩේ හිටපු සමහර මිනිස්සුත් එළියට ආවා. රොහාන්, සුමේධ පාරෙන් එහා පැත්තට පනිනකන් ඉඳල පස්සෙන් ගිහින් සුමේධගෙ උර හිසට තට්ටු කරා; ඒ එක්ක ම සුමේධ හැරිල බලද්දි රොහාන් මොනව හරි කිව්ව. එතකොට ම සුමේධ රොහාන්ට ගැහුව ඒත් රොහාන් හරියට පිචර් එකක ප්‍රධාන නළුව වගේ පැත්තකට පැන්න; සුමේධ තව පාරක් ගැහුව. ඒකටත් රොහාන් පැත්තකට පැනල එක පාරට ම සුමේධගෙ පපුවට දුන්න නේද පයින් පාරක්... සුමේදය ‘දොහ්’ ගාල පාර මැද ඇදගෙන වැටුණා. එතකොට ම මිනිස්සුත් වට වුණා. මමත් එතෙනට දිව්වා. මං හිතුවෙ රොහාන් දුවයි කියල. මොනහ්... මිනිහ වටේට ම ඉන්න මිනිස්සුන්ට ඇහෙන්න ‘‘මූ හැමදාම කන්න ආපුහම වේටර්ලට බණිනව. අද මූ මට ඉඳුල් වතුර කෝප්පෙන් ගැහැව්ව; ඒ මදිවට මට කිව්ව ‘අඩෝ කැ** තෝ අහුවෙන්නෙපා එළියෙදි,’’ කියල. මූ මහ තිරිසනෙක්.’’ කියන ගමන් ඇස් ලොකු කරල බිම වැටිල හිටපු සුමේධ දිහා බලල ‘‘අඩෝ... උඹ දැන් කිව්වනෙ එළියෙ දි අහුවෙන්නෙපා කියල. වරෙං... මං දැං එළියෙ...’ කියල ආයෙත් කෑ ගැහුව. ඒ එක්කම ස්ටෑන්ඩ් එකේ බිස්නස් කරන එවුන් වට වුණා. මං හිතුව රොහාන්ට සබ්බුව හරි කියල. ඒ වුණාට එවුන් රොහාන්ව දන්න නිසාම ද මන්දා ‘‘හරි හරි මල්ලි... ඔහේ යන්න... කියල රොහාන්ව කඩේ පැත්තට ඇදගෙන ගියා. තව කීප දෙනෙක් සුමේධව නැගිට්ටවගෙන පත්තර තට්ටුව දිහාට ඇදගෙන ගියා.
ඔන්න ඕක තමයි එදා සිද්ධ වෙලා තියෙන්නෙ. කඩේ අය යසේ මල්ලිට කිව්වලු වැඩිය එළියට යන්න එපා කියල. කොහෙද... මිනිහ නෙවෙයි ඒ කතා පයිසෙකටවත් මායිම් කරල තියෙන්නෙ. සුසන්ත කියපු විදියට ඊට පස්සෙත් යසේ මල්ලි නවයයි තිහ පිචර් එක බලල වෙනද වගේ ම කඩේට ආවලු.
සුසන්ත නම් කියන්නෙ යසේ මල්ලි මේ විදියට හිතුවක්කාර වැඩ කරන්න ගත්තෙ තුෂාරි නංගිගෙ සිද්ධියෙන් පස්සෙ කියල. එයා සමහර වෙලාවට මැනේජර් මහත්තෙය කියන දේ අහන්නෙත් නැතිලු. මේ ළගදි දවසක් සවුත් සිලෝන් එකේ ටී මේකර් ගෙන්නල එයා ඉස්සරහ ම යසේට අවවාද කරාලු. යසේ පොඩි එකෙක් වගේ බිම බලාගෙන ම හිටියලු.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/04/26
අපලෝකන - පසුගිය කොටස්