මේ දිනවල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීමේ ජන සහභාගිත්වයක් ගැන කතාවන නමුත් ඒවා සීමා වී ඇත්තේ නගරයේ මැද පංතික කුඩා කණ්ඩායම් අතරට ය.

අවශ්‍ය වන්නේ එය පුළුල් ජන සහභාගිත්වයක් ඇති සමාජ කතිකාවක් ලෙස වර්ධනය කර ගැනීමටය. එහෙත් එවැනි හුරුවක් පුරුද්දක් අපට නොමැතිවීමේ ගැටළුවක් ඇත.

අප මේ ඉන්නේ නිදහස් ලංකාවේ තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමගය. පළමුවැන්න වූයේ 1947 දී නිදහස සඳහා අප පිළිගත් සෝලබරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. දෙවැන්න වූයේ 1972 අප ලියා ගත් පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ය. තුන්වැන්න වර්තමානයේ බලාත්මකව පවතින 1978 සම්මත කෙරුණු විධායක ජනාධිපති ධූරය සහිත දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ය.



ජන වරම යනු ජන සහභාගිත්වය නොවේ:



JR Jayewardene                 ජේ. ආර්. ජයවර්ධන විධායක බලයක් සහිත ජනාධිපති ධූරයක් වෙනුවෙන්.....


පළමු ජනරජ ව්‍යවස්ථාව සම්පාදනයකර සම්මත කෙරෙන්නේ මැතිවරණයේදී බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ සභාගය ලබා ගත් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයේ හයිය මත ය. දෙවැන්න සම්පාදනය කර සම්මත කෙරෙන්නේ පළමුව 1978 පෙරවාරියේදී ‘72 ව්‍යවස්ථාවට ගෙනෙනු ලැබූ සංශෝධනයෙන් විධායක බලයක් සහිත ජනාධිපති ධූරයක් හදා ගැනීමෙන් පසු, එහි බලය මත ජයවර්ධන ජනාධිපති විසින් පාර්ලිමේන්තුවේ එ.ජා.පයේ හයෙන් පහක බලය පක්ෂ නායකයා ලෙස හීලෑ කර ගැනීමෙනි.



එවැනි බහුතරයකගේ ජනවරමක ඇත්තේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට දෙනු ලැබූ අවසරයක් පමණි. ආණ්ඩුවට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අයිතිය, අවසරය එහි නැත.

ඒ සඳහා ආසන්නම නිදසුනක් සමගින් කියන්නේ නම්, පසුගිය ජනාධිපතිවරණයේදී නව ජනාධිපති වෙනුවෙන් ඡන්දය ලබා දුන් 69 ලක්ෂයම (සියයට 52.3) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටද අනුමැතිය ලබා දුන්නා යැයි පිළිගත්තද රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලියා සම්මත කිරීම ඔවුන් පත් කළ ආණ්ඩුවට අවශ්‍ය පරිදි කළ හැක්කක් නොවේ.

ආණ්ඩුව පත් කිරීමෙන් පසු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලියා සම්මත කිරීමේදී ඊට හවුල් වන්නට, ආණ්ඩු පක්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ සියයට 47.7 ක් වන අනෙක් ලක්ෂ 56 ටද පූර්ණ අයිතියක් ඇති හෙයිනි.

 තවත් සරළව එය කියන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය දේශපාලන පක්ෂ අනුව සිදු කෙරෙන්නක් නොව, රටක සමස්ථ ජනතාව හවුල්වී කෙරෙන්නකි.


මෙතුවක් කල් කෙරුවාව :


මේ දක්වාවන ව්‍යවස්ථා 03 පමණක් නොව, වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙනු ලැබූ සංශෝධන 20 න් 17 වන සංශෝධනය හැරුණු විට අනෙක් සියල්ලද, ජනතා සහභාගිත්වයක් ඇතිව හා ජනතා අනුමැතිය ලැබූ සංශෝධන නොවේ. ඒ සියල්ලම ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ අභිමතය මත ලියා සම්මත කෙරුණු සංශෝධන වන්නේය. ඇතැම්වා පක්ෂයේ මන්ත්‍රීවරුන් සියල්ල හෝ ඇමති මණ්ඩලය හවුල් වී හෝ කෙටුම්පත් කර අනුමැතිය ලබා දුන් සංශෝධනද නොවීය.

ඒ අතුරෙන් 17 වන ව්‍යවස්ථා සංශෝධනය විශේෂය. එය සංකල්පගත වූයේ 1998-99 පමණ වනවිට සමාජයේ දැනුවත් පිරිස් අතර ඔරොත්තු නොදෙන අයුරු රජය දේශපාලනීකරණය වීම ගැනවූ කතිකාවන් ඔස්සේය.

එය විශේෂයෙන් වික්ටර් අයිවන්, වරුණ කරුණාතිලක සහ ලසන්ත වික්‍රමතුංග පුරෝගාමී වී 2000 දී පමණ විවිධ මැදපංතික පිරිස් අතර සංවාදයට තැබූවකි.

එය ව්‍යවස්ථාමය ස්වරූපයෙන් ලියන්නට හවුල් වූවෝ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන සුරංජිත් හේවාමාන සහ එල්මෝ පෙරේරා වූහ. පළමු කෙටුම්පත ලෙස එය වෘත්තිකයින්ගේ සමිති සම්මේලනයේ මහ සභාවෙහිද සම්මත කෙරුණි. පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කරන මෙන් පසුව දේශපාලන නායකයින්ට බලකරනු ලැබිණ. එය 2001 දී ව්‍යවස්ථාගත වූයේ එවැනි සීමිත හෝ සමාජ උත්සාහයක් තුලය.  

 
 
ඊට අමතරව පසුගිය වසර 40 ක කාලයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ දේශපාලන උත්සාහ තුනක් තිබිණ.



# පළමුවැන්න ජනාධිපති කුමාරණතුංග විසින් තෝරාගත් කිහිප දෙනකු ඇයගේ නිරීක්ෂණය යටතේ ලියා 2000 අගෝස්තුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටුම්පත ය. එය පාර්ලිමේන්තුවේ විවාදයකට තබන්නටද නොහැකිව ඉවත්කර ගැනීමට සිදුවූයේ විපක්ෂයේ වූ එ.ජා.පය පමණක් නොව, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණද ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී.ල.නි.පයේ පළමු පෙළ ඇමතිවරුන් වූ රත්නසිරි වික්‍රමනායක හා මහින්ද රාජපක්ෂ වැන්නන්ද ඊට විරුද්ධ වූයෙනි.


# දෙවැනි උත්සාහය වූයේ 2006 ජූලියේ පැවති සර්ව පාක්ෂික සමුළුවෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ස්ථාපිත කළ සර්ව පාක්ෂික නිත්‍ය නියෝජිත කමිටුව විසින් කෙටුම්පත් කළ “අවසන් වාර්තාව” ය. එය මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කෙටුම්පත් කෙරුණු වඩා පුළුල් දේශපාලන එකඟතාවක් ලැබූ පදනම් ලියැවිල්ලක් වන්නේය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහ එ.ජා.පය හැර අන් සියල්ලෝම ඊට හවුල්ව සිටියහ. ජ.වි.පෙ අතරමගදී ඉවත් වූයේ කිසිදු වැදගැම්මක් නැති කාරණාවක් ඉදිරිපත් කරමින් ය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සඳහා ආරාධනා නොකෙරුණි. එයට හේතු දක්වමින් ජනාධිපති රාජපක්ෂ කියූවේ අන් සියල්ලන්ම එකඟවන්නාවූ කෙටුම්පතක් හදා ගත් පසුව ඒ ගැන ඔවුන් සමග සාකච්ඡා කළ යුතු බවය.


මේ කෙටුම්පත් සම්පාදනය සඳහා සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සහායට ස්වාධීන විශේෂඥ කමිටුවක්ද පත් කරනු ලැබිණ. එහි පරිණත බව හා ස්වාධීනත්වය ප්‍රදර්ශනය වූයේ ඔවුන් බහුතර හා සුළුතර ලෙසින්ද ඒ අතරට විවේචනාත්මක වෙනස්කම් සහිතවද වාර්තා 03 ක් සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ අධ්‍යනයට ඉදිරිපත් කළ බැවිනි.

මේ අවසන් වාර්තාව පරිච්ඡේද 21 කින් යුක්ත විය. එය සම්පාදනය කිරීමට වසර 02 ක පමණ කාලයක සැසි වාර 128 ක් පවත්වා ඇත. අවසන් වාර්තාවට එකඟත්වය ලබා දුන් පක්ෂ 15 වන්නේ, සමසමාජ පක්ෂය, ශ්‍රී.ල.නි.ප, එ.ජා.ප (ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම), කො.ප, ලංකා කම්කරු කොන්ග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ජාතික එක්සත් සන්ධානය, ජාතික හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ජාතික කොන්ග්‍රසය, බස්නාහිර ජනතා පෙරමුණ, ඊ.පී.ඩී.පි සහ තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් ය.




එහි ඇති වැදගත්කම වනුයේ මතවාදීව වාර්ගික වශයෙන් එකිනෙකාට වෙනස් දේශපාලන මත දරණවුන් එවැනි දේශපාලන එකගත්වයකට පැමිණීමෙහි ය. එහෙත් එම වාර්තාව මෙතෙක් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් නොවූවකි.  



#  තෙවැනි උත්සාහය වූයේ පසුගිය “යහපාලන ආණ්ඩුව” විසින් 2016 දී ආරම්භ කළ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය විය. ඒ සඳහාද ජනතා සහභාගිත්වයක් නොවුනි. එහි වූයේ අධිනීතිඥ ලාල් විජේනායකගේ ප්‍රමුඛත්වයෙන් පත් කෙරුණු කමිටුවක් මගින් යම් උනන්දුවක් තිබූ පිරිස්වල යෝජනා අදහස් එකතු කිරීමක් පමණි. එළෙස යෝජනා එකතුකර ඒවා කමිටුවේ අභිමතය අනුව වාර්තාවකට ගොනුකර පාර්ලිමේන්තුවේ මෙහෙයුම් කමිටුවකට බාර දෙනු ලැබිණ. තැපැල් සේවයට ආදේශවීම ජනතා සහභාගිත්වයක් නොවේ. එය ඒ ආණ්ඩුවේ වර්ධනය වූ ප්‍රතිවිරෝධ සමගින් වැදගත් කෙටුම්පතක් හෝ ලියා ගත නොහැකිව අනාථ වූවකි.





 20 Maraeiimages20 ට එරෙහිව පාර්ලිමේන්තුව තුල විරෝධයක්.



මේ ආණ්ඩුවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුල පුරා ඇත. ඔවුන්ගේ ප්‍රවේශයද යහපාලන ආණ්ඩුවේ ප්‍රවේශයට වඩා වෙනසක් නැත. ඔවුන්ද ජනතාවගෙන් අදහස් යෝජනා ඉල්ලා තිබුණි.




විදෙස් ජන සහභාගිත්ව අත්දැකීම්:



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී ජනතාව සහභාගි කරවා ගැනීමේ මූලික පරමාර්ථය වන්නේ එහි අඩංගුව ජනතා අවශ්‍යතා සහ ජනතා අයිතීන්ගේ ප්‍රකාශනයක් විය යුතුවා වාගේම ඒ වෙනුවෙන් ආණ්ඩු පාලනයක ව්‍යවස්ථාමය බලයේ සීමා නිර්ණ තීන්දු කිරීමේ අයිතියද ජනතාවට ඇති හෙයිනි. ඒ සියල්ල සම්පිණ්ඩනය කරන්නේ නම්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය විය යුත්තේද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ඔස්සේම ය.




එහෙත් එවැනි විවෘත සංවාද මගින් සමාජයේ පවතින බෙදීම් තුනී කිරීම වෙනුවට වර්ධනය වන්නේයැයි තර්ක ඇත. පසුගිය දසක කිහිපයක එසේ නොවුනු සමාජ කතිකා පදනම්කර ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කෙරුණු අත්දැකීම් සමූහයක් ඇත. එවැනි රටවල් අතුරෙන් ඉදිරියෙන්ම කතා කෙරෙන රටවල් ගණනාවකි.

ඉන් කිහිපයක් සඳහන් කරන්නේ නම්, 1988 දී උගන්ඩාවේ සහ බ්‍රසීලයේ ව්‍යවස්ථා සම්පාදනයේදී කෙටුම්පත් කිරීමට පෙර සහ කෙටුම්පත් කළ පසු සම්මත කිරීමට පෙරාතුව ආරම්භ කළ සමාජ කතිකා සඳහා ජනතාවගේ විශාල සහභාගිත්වයක් තිබිණ.


both mandelaනිදහස් දකුණු අප්‍රිකානුවන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම විශේෂයක් ගන්නකි.


නිදහස් දකුණු අප්‍රිකානුවන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම ඉන් විශේෂයක් ගන්නකි. 1994 දී ඔවුන්ගේ ආණ්ඩුක්‍රම සම්පාදනය සමාජ ව්‍යාපාරයකින් ආරම්භ කෙරුණකි. කිසි දිනක ඡන්දයක් භාවිත කරන්නට අයිතියක් නොතිබුණු කලු ජාතිකයින්ගෙන් සියයට 73 ක් ඊට හවුල් වූ බවත් ව්‍යවස්ථා සම්පාදනය වෙනුවෙන් යෝජනා ලක්ෂ 20 ක් ලැබුණු බවත් වාර්තා වන්නකි.

එම යෝජනා කෙටුම්පත් ගෝත්‍රික භාෂා ඇතුළුව භාෂා 08 කින් බෙදා හැරුණු බවද සඳහන් වේ. දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව බලාත්මක කෙරුණු පසු රදගුරු ඩෙස්මන් ටුටු ඒ ගැන කියා තිබුණේ ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මිලියන 30 ක ජනතාවක් විසින් ලියන ලද්දක් බවය.

සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක තිබූ එරිත්‍රියාවේ 1994 - 1997 දක්වා කාලය තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී එහි වැදගත්කම හා කෙටුම්පත පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට යොදා ගනු ලැබූයේ ඔවුන්ගේ මව් බසින් ඉදිරිපත් කෙරුණු ගුවන් විදුලි වැඩසටහන් සහ ප්‍රසාංගික වේදිකාවේ කවි ගී ගායනා සහ කෙටි ජංගම නාට්‍ය වැනි ජන හමුවීම් ය.

කෙන්යාවේ 2003 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුත් කිරීම වෙනුවෙන් පැවති සමාජ විවරණයේදී ජනතාව හවුල්කර ගැනීම නීතිමය වශයෙන් අනිවාර්ය කෙරුණේ කෙන්යානු කොමිසම ඔවුන්ගේ මූලික අරමුණ “ජනතාව සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” හැදීම යැයි ප්‍රකාශ කිරීමත් සමගිනි.




ව්‍යවස්ථා සම්පාදනයේ “විද්‍යුත් ප්‍රජාතන්ත්‍රවාදය”:



ව්‍යවස්ථා සම්පාදනයෙහි ජන හවුල් ගොනු කිරීමේ අතිශය සාර්ථක නූතන පර්යේෂණාත්මක උත්සාහය වන්නේ 2016 දී ඇරඹි “මෙක්සිකෝ නගරය” ස්වාධීන නගරයක් බවට පත් කිරීම සඳහා වූ ව්‍යස්ථා සම්පාදන ක්‍රියාවලිය වේ.

ආණ්ඩුව ගැන සීඝ්‍රයෙන් වර්ධනයවූ අප්‍රසාදය හා කලකීරීම හමුවේ මිලියන 09 ට වැඩි වූ මෙක්සිකෝ නගරවාසීන් සැළකිය යුතු ස්වාධීනත්වයක් ඇතිව තම අව්‍යශතා වෙනුවෙන් තීන්දු ගැනීමේ නගර පාලනයක් ඉල්ලා සිටියහ.

මෙක්සිකෝ නගරයේ නගරාධිපති විසින් එය සිය ප්‍රතිරූපය වගා කර ගැනීමට උපක්‍රමශීලිව යොදා ගත්තේය. ඔහු තම නගරය ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂිංටන් ඩී.සී වැනි ස්වාධීන මහ නගරයක් බවට පත් කෙරෙන ව්‍යවස්ථා සම්පාදනයකට එකඟ විය.


retrtrt 201මෙක්සිකෝ නගරයේ නව ව්‍යවස්ථාව සඳහා උතුරු, නැගෙනහිර පළාත්වල ජනතා අත්සන් ලබාගත් අවස්ථාවක්



ඒ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා නගරාධිපති විසින් නගරවාසීන් අතුරෙන් විද්වත්, කලාකාර, වෘත්තීය සමිති, සමාජ ක්‍රියාකාරී සහ හිටපු නගරාධිපතිවරුන් වැනි නියෝජනයක් සහිත 28 දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවක් පත් කළේය.

අවසාන කෙටුම්පත අනුමත කර නීතිගත කිරීම සඳහා පිහිටුවනු ලැබූ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ සභිකයින් 100 න් 60 කු මෙක්සිකෝ නගරවාසීන්ගේ ඡන්දයෙන් තෝරා පත් කරනු ලැබුවෝ වූහ. ඒ සඳහා නාම යෝජනා බාරගනු ලැබුවේ නගරවාසීන් 10,000 ගේ අත්සන් සමගින් පමණි. එම මණ්ඩලයේ අනෙක් 40 දෙනා නගර සභාවේ සහ නගරාධිපතිගේත් ජනාධිපති සහ පාර්ලිමේන්තුවේත් නියෝජිතයින් වූහ.

කෙටුම්පත් සම්පාදනයට හවුල් වන්නට ජන සමාජයේ විවිධ සංවිධාන, කණ්ඩායම්, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ රැස්වීම්, සම්මන්ත්‍රණ, සාකච්ඡා සංවිධානය කළහ. ඔවුන්ට යෝජනා ඉදිරිපත් කිරීමට කොන්දේසි තිබිණ. නගරවාසීන් 10,000 ගේ අත්සන් සහිතව ඉදිරිපත් කෙරුණු යෝජනා, කෙටුම්පත් කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකුගේ අවධානයට යොමු කරනු ලැබිණ. අත්සන් 50,000 ක් සහිත යෝජනා මුල් ව්‍යවස්ථා කෙටුම්පත සඳහා පාදක ලියැවිලි ලෙස බාර ගනු ලැබිණ.


මහජන පෙත්සම් ලෙස එළෙසින් අත්සන් එකතු කරන්නට අන්තර්ජාලයේ ජනප්‍රිය විවෘත වේදිකාවක් සපයන “චේන්ජ් ඩොට් ඕආර්ජී” සංවිධානය එවැනි යෝජනා සඳහා විශේෂ විද්‍යුත් මෙවලමක් සකසා දී තිබිණ. නගරවාසීන්ට අන්තර්ජාල පහසුකම් නොමිලේ භාවිත කළ හැකි සන්නිවේදන කුටි 300 ක් මෙක්සිකෝ නගරය පුරා නගර සභාව විසින් පිහිටුවා තිබිණ.



ආණ්ඩු පාලනය ගැන කලකිරීමෙන් තම ප්‍රශ්න සඳහා තනි තනිව විසඳුම් සෙවීමට වෙහෙසුනු ජනතාවක් මෙවැනි සමාජීය වගකීමකට එකතු වේදැයි ෆ්‍රැන්සිස්කො ෆොන්ටානාට බරපතල සැකයක් තිබුණි. නගරයේ “හරිත ආවරණ” වෙනුවෙන් ඔහු එතෙක් ගත් උත්සාහ අසාර්ථක වූයෙනි. එහෙත් නිකමට මෙන් එක නගරවැසියකු වෙනුවෙන් තිබිය යුතු අවම හරිත ආවරණය සම්බන්ධයෙන් “චේන්ජ් ඩොට් ඕආර්ජී” වේදිකාව යොදා ගෙන ඔහු ව්‍යවස්ථාවට යෝජනාවක් ඉදිරිපත් කළේය. එය අත්සන් 50,000 ට වඩා ලැබී නව ව්‍යවස්ථාවට ඇතුළත් කරනු ලැබිණ. එනමුත් බරපතල විරෝධයක් ගොනු වූයෙන් ව්‍යවස්ථාවට ඇතුළු කර ගැනීමට නොහැකිවු යෝජනාවක් වූයේ ගබ්සා අයිතිය පිළිබඳ යෝජනාවකි.  

 අවුරුදු 02 ට ආසන්න කාලයකට පසු 2018 සැප්තැම්බරයේදී සම්මත කර බලාත්මක කෙරුණු මේක්සිකෝ නගරයේ නව ව්‍යවස්ථාව සඳහා නගරවාසීන් 10,000 ට වඩා අත්සන් කළ යෝජනා 11 ක්ද අත්සන් 50,000 ට වැඩියෙන් ලැබුණු යෝජනා 04 ක්ද වූහ. “චේන්ජ් ඩොට් ඕආර්ජී” මෙවලම මගින් අත්සන් හාර ලක්ෂයක් එකතු වූ යෝජනා 341 ක් ඉදිරිපත්ව තිබිණ. මේ ජනතා ක්‍රියාවලිය ඔස්සේ ඉදිරිපත් වූ යෝජනා පදනම්වූ අනු ව්‍යවස්ථා 14 ක් ව්‍යවස්ථාවට ඇතුළුව ඇත.


මෙම ජනතා ක්‍රියාවලිය තුල “නගරවැසි හිමිකම්” පිළිබඳ අලුත් සාකච්ඡාවක් ජාත්‍යන්තර අවධානයට ලක් විය. එවගේම විද්‍යුත් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් එම ක්‍රියාවලිය අගය කළ අතර, එක්සත් ජාතීන් එය හඳුන්වන්නට වූයේ “සාමය හා සංවර්ධනයේ කේන්ද්‍රීය අභියෝග ජයගත් සහ මානව හිමිකම් සතු ඓන්ද්‍රීය, ඉදිරිගාමී සහ විශ්වීය ස්වභාවය සඳහාවන ඓතිහාසික මාර්ගෝපදේශක ලියැවිල්ලක්” යනුවෙනි.



අනෙක් වැදගත් කාරණය නම්, මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙහි ස්වාධීන තෙවන පාර්ශවයක් ලෙස නව තොරතුරු තාක්ෂණය භාවිත වූයෙන් බලයේ සිටි ආණ්ඩුවට සහ නිල නාගරික පාලනයට එහි ආධිපත්‍යයක් තබා ගැනීමට නොහැකිවීමය. එනිසා ව්‍යවටස්ථා සම්පාදනය ජනතා අයිතියට පැවරුණක් යැයි පොදු පිළිගැනුමක් දේශපාලන විචාරකයින් අතර ඇති විය.


වැඩි විස්තර සඳහා -

අප කළ යුත්තේ කුමක්ද?



මෙහිදී අප එක කාරණාවක් දැඩිව අවධාරණය කළ යුතුව ඇත. පසුගිය දසකයකට වැඩි කාලයක් පුරා ඉතා සීඝ්‍රයෙන් පිරිහුණු මේ පාර්ලිමේන්තුවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විවාදකර සම්මත කිරීමට තරම් සංවරයක් විනයක් හා දැනුමක් නොමැත. එනිසා ව්‍යවස්ථා සම්පාදනයේ සිට සම්මතය දක්වා සියලු වගකීම් ජනතාව බාර ගත යුතුව ඇත.

එය ඉටුකර ගත හැක්කේ ව්‍යවස්ථා සම්පාදනයේදී ආණ්ඩුව අතට ගෙන ඇති වගකීමට පැහැදිලි හා නිශ්චිත කොන්දේසී පැනවීමේ ජනතා ව්‍යාපාරයක්ද සමගිනි.




කොළඹ මැදපංතික කුඩා කව වලින් ඔබ්බට යන “ව්‍යවස්ථා සම්පාදන ජන කමිටු” පිහිටුවීම ඒ සඳහා වහා ආරම්භ විය යුතුව ඇත. පාර්ලිමේන්තුවේ කෙරෙන ව්‍යවස්ථා කෙටුම්පත් විවාදයට පෙර එය ජනතා කතිකාවට තබා, ඉන්පසු අවසන් කෙටුම්පත ජනමත විචාරයකින් අනුමත කළ පසු පාර්ලිමේන්තුවෙහි නිල වශයෙන් සම්මත කිරීමේ ක්‍රියාදාමයක් සඳහා බල කළ යුතු වන්නේය.
 
Kusal.jpg
 


කුසල් පෙරේරා
සමාජ - දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2021 දෙසැම්බර 09 වන දින



THE  LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්නTHE  LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්න

THE  LEADER  TV
 
 

 

පවුලේ අවුලක්!  

 

 

ඉන්දියාවෙන් එවපු මුදල් බහිරව කටට ? |මොණරවිලගේ ලියමන 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්