ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශන කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියාගේ සාක්ෂි ලබා ගැනීම ඔක්තෝම්බර් මස 05 වැනිදා සිදුකිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළේය.
එම සාක්ෂි ලබා ගැනීම දින කිහිපයක් කල් තබන ලෙස පැමිණිලි කාර සහ විත්තිකාර පාර්ශ්වයෙන් ලැබුණු ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මේ බව තීරණය කෙරිණ.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මේ පිළිබඳව වන ඉල්ලීම් කරන ලදි.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
එහිදී මෙම නඩුවේ අටවන චූදිත වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට අවසර ඉල්ලා සිටියේය.
එම අවසරය විනිසුරු මඩුල්ල විසින් ලබාදීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥ නයන්න විජේසුන්දර මහතා කියා සිටියේ "නොතැනියාව" යන නීතිමය කරුණ සම්බන්ධයෙන් මෙම ඉල්ලීම කරන බවය. එම කරුණට අදාළව මෝෂන් පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර පැමිණිල්ලට ද එය ලබාදී ඇති බව ඔහු දන්වා සිටියේය.
පැමිණිල්ලේ සාක්ෂි අංකය 162 ලෙස නම්කර සිටි මින්දුලි ජයමාන්න විසින් සාක්ෂි දෙන අවස්ථාවේදී අටවන විත්තිකරුට අදාළව නොතැනියාව සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් මතුවූ බවද යම් අපරාධයක් සිදුවන අවස්ථාවකදී එම චෝදනාව එල්ල වන විත්තිකරු එම දිනයේ දී එම වෙලාවේදී වෙනත් ස්ථානයක සිටි බවට සඳහන් කිරීම නොතැනියාව ලෙස සලකන බව නීතිඥවරයා සඳහන් කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 126 අ (1) වගන්තිය අනුව මෙම නඩුවේ අටවන විත්තිකරු සම්බන්ධයෙන් මෙම ඉල්ලීම සිදු කරන බව නීතිඥවරයා එහිදී කියා සිටියේය.
අධිකරණයට ඉදිරිපත් කළ 10v63 ලේඛනයට අදාළ රැස්වීම පැවැත්වෙන පැවැත්වුණු 2022/09/05 දින වන විත්තිකරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගී වීමට භූතානයට ගොස් සිටි බවට මීට පෙර අධිකරණයේ අවධානයට යොමු කළ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් විරෝධය පළ කළ බවද ,අධි චෝදනා භාර දී නඩු විභාගය ඇරඹීමට දින 14කට පෙර ඒ පිළිබඳව නීතිපතිවරයාට දැනුම් දිය යුතු නමුත් එසේ නොකිරීම සහ විමර්ශන නිලධාරියාට ලබා දුන් ප්‍රකාශයේ එය සඳහන් නොකිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් අධිකරණයේ අවධානය යොමු කළ බවද සිහිපත් කළ නීතිඥවරයා එම කරුණු පිළිගනිමින් විනිසුරු මඩුල්ල විසින් නියෝගයක් ලබා දුන් බව නීතිඥ වරයා කියා සිටියේය
එම අධිකරණය තීන්දුව තමන් පිළිගන්නා නමුත් නොතැනියාව සම්බන්ධයෙන් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ126 අ (1) වගන්තියට අදාළව "එසේ වුවද" (proviso)යනුවෙන් කොටසක් සඳහන් වන බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එම වගන්තිය අනුව නොතනියාව සම්බන්ධයෙන් කරුණු නොදැක්වීමට හේතු අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව නීතිඥවරයා ප්‍රකාශ කළේය.

"ස්වාමීනී, 10v63 සහ 10v53 දරන ලේඛන වලට අදාළ රැස්වීම් තිබුණු බව කියන 2022 /09/05 දින සහ 2022 /10/10 දින මිනිට් සටහන්වලින් කිසිදු අපරාධමය වරදක් අනාවරණය වන්නේ නැහැ. නමුත් පැමිණිල්ලේ ස්ථාවරය වූයේ එහිදී කුමන්ත්‍රණය නම් වරද කර ඇති බවයි. එයින් විත්තිය වික්ෂිප්ත භාවයට පත්වුණා .එසේ කුමන්ත්‍රණය නැමැති වරදක් එහි සිදුවී තිබෙනවා නම් එම මීටිමට සම්බන්ධ වූ සියලු දෙනාටම එරෙහිව අති චෝදනා කළ යුත් ගොනු කළ යුතුයි."
"අපරාධ නඩු විධාන සංග්‍රහයේ126 අ (1) වගන්තියේ "එසේ වුවද" යනුවෙන් කොටසක් සඳහන් වෙනවා එම කොටසට ගරු විනිසුරු මඩුල්ලේ අවධානය යොමු කිරීමට කැමතියි. එම කොටස අනුව නොතැනියාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් හේතු දැක්වීමට අවසර දීමට විනිසුරු මඩුල්ලට හැකියාව තිබෙනවා එම හේතූ පිළිබඳව සෑහීමකට පත්ව විනිසුරු මඩුල්ල විසින් එය පිළිගන්නේ නම් එය "නොතැනියාව" ලෙස සැලකිය හැකියි."
"ස්වාමීනි, මේ හේතු දැක්වීම දැනටමත් කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් ඊට හේතු දෙකක් තිබෙනවා. 2022 සැප්තැම්බර් 2 වැනි දා 08වන විත්තිකරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගි වීම සඳහා භූතානය බලා ගියා .එය තහවුරු කිරීම සඳහා ආගමන විගමන ලේඛන සහ විදෙස් ගමන් බලපත්‍රය තිබෙනවා. ඒවා ස්වාධීන සාක්ෂි. එම සාක්ෂි පිළිගන්නා ලෙස මම ඔබතුමන්ලා ගෙන් ඉල්ලා සිටිනවා.
"2022/10/10 පැවති රැස්වීමට 08 වන චූදිත සහභාගී නොවූ බව පැමිණිල්ලේ සාක්ෂි මගින්ම පසුගියදා අනාවරණය වුණා. දුරකතන සංවාද සම්බන්ධයෙන් ඩයලොග් ආයතනයේ සාක්ෂිකරු විසින් සාක්ෂි ලබාදෙන අවස්ථාවේදී මෙම දිනයේදී අදාළ රැස්වීම පැවැත්වූ බව කියන වෙලාව වන පෙරවරු දහය වන විට අටවන විත්තිකරු ජාඇල, කඳාන ප්‍රදේශයේ සිටි බවට කරුණු අනාවරණය වුණා. එමගින් ඔහු එම රැස්වීමට සහභාගි නොවූ බව අනාවරණය තහවුරු වෙනවා. මේවා පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි.එම සාක්ෂිය ආවේ ස්වාධීන සාක්ෂිකරුවකුගෙන්. ඔවුන් අපේ සම්බන්ධතා ඇති අය නෙවෙයි. එවැනි සාක්ෂි සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් ලබා දුන් නඩු තීන්දුවක් තිබෙනවා" යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා අදාළ නඩු තීන්දුවේ කොටසක් විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.
අධිකරණයේ අභිමතය සර්ව සාධාරණ, යුක්තිය සොයා යන ගමනේදී සියලු පාර්ශවයන්ගේ අයිතීන් රැකෙන අයුරින් ක්‍රියාත්මක විය යුතු බවද නීතිඥවරයා එහිදී සඳහන් කළේය.
"ස්වාමීනී ඔබතුමන්ලා මට වැඩිය දන්නවා. ස්වාභාවික යුක්ති මූලධර්මයට අවධානය යොමු කළ යුතු බව.ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් තහවුරු කර ඇති සර්ව සාධාරණ නිදහස මෙම විත්තිකරුටත් පොදුයි . අටවන විත්තිකරුටත් සර්ව සාධාරණ නඩු විභාගයක් අවශ්‍යයි. ඒ නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 126 අ (1) වගන්තියේ "එසේ වුවද" (proviso) යනුවෙන් සඳහන් කර ඇති කොටස සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඔබතුමන්ලා ගෙන් ඉල්ලා සිටිනවා. මේ අනුව එම වගන්ති යටතේ විත්තිවාචකය ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසත් 2022/09/05 දින වන විත්තිකරු භූතානයේ සිටි බවට සාක්‍ෂි ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන් නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.
එම ඉල්ලීමට විරෝධය පළ කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සඳහන් කළේ සෑම විත්තිකරුවකුටම සාධාරණ, යුක්ති සහගත නඩු විභාගයක් ලැබීමට ඇති අයිතිය තමන්ට පිළිගන්නා බවය.
එම අයිතිය පැමිණිල්ලට ද තිබිය යුතු බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව "නොතැනියාව" සම්බන්ධයෙන් වන ඉල්ලීම ඇතුලත් මෝෂන් පත්‍රය සමඟ 08 වන විත්තිකරු විසින් ලේඛන කිහිපයක් ඉදිරිපත් කර ඇති බවද, ඒ සම්බන්ධයෙන් ඔහු පූර්ව දැනුවත්ව සිටි බව පෙනී යන බවද ඇය සඳහන් කළාය.
එසේම විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමේදී ඔහු එම රැස්වීමේ ප්‍රධානත්වය දැරූ බව පිළිගෙන ඇති බවද,එම කට උත්තරය විමර්ශන නිලධාරියා විසින් කියවා දීමෙන් පසුව එය සත්‍ය බවට පිළිගෙන 08 වන විත්තිකරු විසින් අත්සන් තබා ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය සඳහන් කළාය.
"ස්වාමීනී, නඩු විභාගයට අදාළව පැමිණිල්ලේ සාක්ෂි අවසන් වීමට ඉතා ආසන්නව තිබියදී, තමන්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වන විට "08 වන විත්තිකරුට "නොතැනියාව" පිළිබඳව ස්ථාවරයක් ගන්න පුළුවන්ද ?" කියන එක තමයි ගැටලුව. මෙම නඩුකරයට අදාළ සාක්ෂි ලැයිස්තුව නඩු භාණ්ඩ ලැයිස්තුව සහ අධි චෝදනා පත්‍රය අටවන විත්තිකරුට ලබා දුන්නේ 2025 සැප්තැම්බර් 22 වැනිදා මේ සියල්ල අධ්‍යයනය කිරීමට ඔහුට හැකියාව තිබුණා. ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඔහුට ප්‍රමාණවත් කාලයක් දී තිබුණා. එම අවස්ථාවේදී එසේ නොකර දැන් සාධාරණ යුක්ති සහගත හේතු දැක්වීමට අවස්ථාව නොදුන් බව පැවසීම වැරදියි" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළාය.
"අදාළ රැස්වීමේ ප්‍රධානත්වය 08 වන විත්තිකරු විසින් දැරූ බවට ඇති මිනිට් සටහනට සෞඛ්‍ය ලේකම්වරයා විසින් අත්සන් තබා ඇති අතර, එසේ විරෝධය පළ කළා නම් එවැනි නිලධාරියකු විසින් අත්සන් කළ ලේඛණ දෝෂ සහගත වීම සම්බන්ධයෙන් පැමිණිල්ලට විමර්ශනයක් සිදුකිරීමට හැකියාව තිබූ බවද, එසේ නොකියා සිටීම තුළින් පැමිණිල්ලට ඇති එම අයිතිය අහෝසි කර ඇති බව"ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සඳහන් කළාය.
අධි චෝදනා පත්‍රයේ පළමු වන චෝදනාවම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ඇති අතර එම අධි චෝදනා පත්‍ර ලැබීමෙන් දින 14ක් ඇතුළත අදාළ චෝදනා වල වරදක් තිබේ නම් නීතිපතිවරයාට ඒ සම්බන්ධයෙන් දැනුම් දිය යුතුව තිබූ බවද, අටවන විත්තිකරු විසින් එවැන්නක් සිදු නොකළ බවද නියෝජ්‍ය සොලිසිටර්ජනරාල්වරිය සඳහන් කළාය.
"ස්වාමීනී, තමන්ගේ අයිතීන් මත නිදාගෙන ඉඳලා එකවරම ඇහැරිලා අයිතීන් ගැන කතා කරන්න බැහැ. අදාළ රැස්වීම් සම්බන්ධයෙන් සාක්ෂි කිහිපයක් ඉදිරිපත් වුණා .ඒ එක සාක්ෂිකරුවෙකු ගෙන් වත් හරස් ප්‍රශ්න කිරීමේදී කරුණ සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ නෑ . ඔබතුමාලාගේ අභිමතය ක්‍රියාත්මක කළ යුත්තේ නීත්‍යානුකූලවයි. 08 වන චූදිතට කුමන හෝ ස්ථාවරයක් තිබුණත් තමන්ට ඕන ඕන විදියට වෙච්ච විත්ති වාචක හදන්න බෑ. නීතිය නොදැනීම නිදහසට කරුණක් නෙමෙයි. යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව විත්තිකරු මේ ස්ථාවරය ගැනීම සාධාරණ නොවන බැවින් අටවන විත්තිකරුගේ එම ඉල්ලීමට අවස්ථාවක් ලබා දුනහොත් අවසර ලබා දුනහොත් එමඟින් පැමිණිල්ලට සාධාරණ විභාග නඩු විභාගයක් හිමි නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අදාල ඉල්ලීමට අවසර නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එම අවස්ථාවේදී නැවත සීමිත කරුණු දැක්වීමක් කළ නීතිඥ නයන්ත විජේසුන්දර මහතා "ස්වාමීනී, මෙම 10v63 සහ10v53 ලේඛන ඉදිරිපත් කලේ දහවන විත්තිකරු විසින්. එම ලේඛන වලට අදාළව සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී ඔවුන් සඳහන් කළේ තමන් එවැනි රැස්වීමක් පිළිබඳව නොදන්නා බවත්, අදාළ මිනිට් සටහන් මත පදනම්ව සාක්ෂි ලබාදෙන බව. සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය එවැනි තත්ත්වයක් වුණාම "08 වන විත්තිකරු එහි සිටියාද ?" යනුවෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් නැහැ. එය මට වඩා ඔබතුමන්ලා හොඳින් දන්නවා" යනුවෙන් කියා සිටියේය.
එම කරුණු දැක්වීම් අවසානයේදී අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් වන විනිසුරු මඩුල්ලේ නියෝගය ප්‍රකාශ කරමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ අටවන විත්තිකරු විසින් අදාළ ඉල්ලීම ඇතුළත් මෝසමක් සහ ඊට අදාළ ලේඛන කීපයක් ද ඉදිරිපත් කර ඇති බවය.
"2005 අංක 14 දරණ සංශෝධිත අපරාධ නඩු විධාන සංග්‍රහයේ 126 අ(1) වගන්තිය යටතේ ඇති අතුරු විධානය පදනම් කරගෙන මෙම ඉල්ලීම කර ඇති බව සඳහන් කළ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා අදාළ වගන්තිය විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කරමින් සඳහන් කළේ නොතැනියාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් හේතු ඉදිරිපත් කර තිබෙන බවට අධිකරණය සෑහීමකට පත්වන්නේ නම් ඊට අවසර ලබාදිය යුතු බව සඳහන් වන බව "සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රකාශ කර සිටියේ ය.
08 වන චූදිත විසින් ඉදිරිපත් කරන නොතැනියාව යන කරුණ පිළිගැනීමට නම් එය විමර්ශනයට අදාළ ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී ප්‍රකාශ කළ යුතු බවත්, අධි චෝදනා පත්‍රය භාරදී, නඩුවේ විභාගය ආරම්භ වීමට දින 14කට පෙර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට දැනුම් දිය යුතු බව බවත් පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා "අධිකරණයට නොතැනියාව පිළිබඳ විත්තිවාචකය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදිය හැක්කේ එසේ කරන්නේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව ප්‍රමාණවත් හේතු ඉදිරිපත් කළ අවස්ථාවලදී පමණක් බව" කියා සිටියේය.
ඒ අනුව අධිකරණයට සිය අභිමතය සෑම විටම භාවිතා කළ නොහැකි බවද එහිදී ඉදිරිපත් කරන කරුණු ප්‍රමාණවත් ද නැද්ද යන්න පිළිබඳව විනිශ්චයකට එළැඹිය හැකි බවද පෙන්වා දුන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා 08 වන චූදිත විසින් ඉදිරිපත් කළ ප්‍රමාදයට හේතු කවරේද යන්න කෙරෙහි අවධානය යොමු කරන බව කියා සිටියේය.

" 08 වන විත්තිකරු විසින් ඉදිරිපත් කරන්නේ එක හේතුවක් පමණයි .ඒ අදාළ රැස්වීම සම්බන්ධයෙන් වන චෝදනාවක් ඔහුට ඉදිරිපත් වන්නේ ද යන්න පිළිබඳව නොදැන සිටීම පමණි. ඔහුට අධි චෝදනා පත්‍රයේ චෝදනාවක් මගින් ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳව නොදැන සිටීම පමණි .මෙම මිනිට් සටහන් මගින් එවැනි චෝදනාවක් ඉදිරිපත් නොකරන බවට ස්ථාවරයේ සිටි බව පමණි. එසේ තිබියදී මෙම රැස්වීම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ඉදිරිපත් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නඩු විභාගය ආරම්භක අවස්ථාවේදී විරෝධතා ඉදිරිපත් කළ යුතු බවද පැමිණිල්ලේ සාක්ෂි කිහිපයක් පමණක් ඉදිරිපත් කිරීමට තිබියදී මෙන්ම ඉල්ලීම සිදුකිරීම පිළිගත නොහැකි බව"ද සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.
"විමර්ශන නිලධාරියා විසින් ප්‍රකාශ ලබා ගැනීමේදී මෙම රැස්වීමේ මුලසුන තමන් විසින් නොදැරූ බවට 08වන විත්තිකරු විසින් ප්‍රකාශයක් කර නොමැති බවට අදාළ ප්‍රකාශය තේරුම් ගෙන කියවා තේරුම්ගෙන අත්සන් තබා ඇති බවද" සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සිය තීන්දු ප්‍රකාශ කරමින් සඳහන් කළේය.
සාධාරණ නඩු විභාගයක් සියලුම පාර්ශව වෙත ලබාදිය යුතු බව ද ,නොතැනියාව සම්බන්ධයෙන් 08 වන චූදිත විසින් ඉදිරිපත් කරන ඉල්ලීමට අවසර දීමට තරම් ප්‍රමාණවත් හේතුවක් ලෙස සැලකීමට තරම් කරුණු ඉදිරිපත්ව නොහැකි නොමැති බැවින් අදාළ ඉල්ලීමට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කරන බව සභාපති විනිසුරුවරයා එහිදී සඳහන් කළේය.
අනතුරුව 07 වන විත්තිකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අරවින්දු මනතුංග ආරංචි මෙනවිය අධිකරණයට දන්වා සිටියේ සිය සේවාදායකයා සැත්කමකට ලක් කළ බැවින් පෙර දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවය.ඊට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන බව ඇය සඳහන් කළාය.
එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස නියම කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් දැනුම්ත්වත්ව සිටින බවය.
අනතුරුව 06 වෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් ජයවර්ධන මහතා මෙම නඩුවේ කාර්ය සටහන ලබා ගැනීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කළේය. ඊට අදාළ මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවද නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
එම ඉල්ලීම සහ මීට පෙර විත්තිකරුවන් වෙනුවෙන් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් සිය අධිකරණයේ අවධානය යොමු කර අදාළ කාර්ය සටහන් ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන් කළ සභාපති විනිසුරුවරයා අනෙකුත් සටහන් කඩිනමින් ලබාදීමටද ඇතැම් සටහන් ශ්‍රව්‍ය පටිගත කිරීම් ලෙස ලබාදීමටද කටයුතු කරන බව කියා සිටියේය.
අනතුරුව මෙම නඩුවේ පැමිණිල්ලේ 183 තුන්වන සාක්ෂිකාරිය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීනි එච් .එම් ඉෂාරා මධුවන්ති සාක්ෂි ලබාදීම සිදු කළාය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය ඇයගෙන් සාක්ෂි විමසීම සිදු කළ අතර ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ තමන් 2022 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයට එක්වූ බවත් සෞඛ්‍ය සේවා අතිරේක ලේකම්වරයා යටතේ කටයුතු කළ බවත්ය.
එම කාලය වන විට විශේෂඥ වෛද්‍ය සුනිල් ද සිල්වා මහතා සෞඛ්‍ය සේවා අතිරේක ලේකම් ලෙස කටයුතු කළ බව ඇය කියා සිටියාය.
වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම ,ව්‍යාපෘති සහ අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් වන කටයුතු වලට අදාළ ලිපි ලේඛන සැකසීම තමන් විසින් සිදු කළ බව ඇය සඳහන් කළාය.
2022 වසරේ දී WOR ලබා ගැනීම සඳහා සැපයුම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති අයදුම්පත සහ ඉල්ලීම් ලිපි ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමු කිරීම අතිරේක ලේකම්වරයාගේ උපදෙස් මත තමන් විසින් සිදුකළ බව සාක්ෂිකාරිය සඳහන් කළ අතර තමන් විසින් අදාළ ලිපි සකසා අතිරේක ලේකම්වරයාගේ අත්සනට යොමු කරන බවද ඔහුගේ අත්සන හඳුනාගත හැකි බවද සඳහන් කළාය.
එවැනි ලිපි කීපයක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් සාක්ෂිකාරියගේ අවධානයට යොමු කිරීමෙන් පසු එම ලිපිවල ඇති අත්සන අතිරේක ලේකම්වරයාගේ අත්සන බවට ඇය හඳුනා ගත්තාය.
2023 වසර වන විට සැපයුම් ඒකකය විසින් ලිපියක් නිකුත් කළ අයට පමණක් WOR ලබාදෙන ලෙස උපදෙස් ලැබුණු බවද සාක්ෂිකාරිය සඳහන් කළාය
ඒ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ කවුරුන්ද යන්න පිළිබඳව තමන්ට පැහැදිලි මතකයක් නොමැති බව ඇය සඳහන් කළාය.
එම මූලික සාක්ෂි විමසීමෙන් අනතුරුව එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව විත්තිකරුවන්ගේ නීතිඥවරු විසින් අධිකරණයට දන්වා සිටි අතර ඇයගෙන් නැවත ප්‍රශ්න කිරීමක් සිදු නොකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දන්වා සිටියාය.
ඉන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකු වන මාරිමුත්තු රික්ෂාන් විසින් සාක්ෂි ලබාදීම සිදු කරන ලදී
තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ PSRP අංශයේ සේවය කළ බව සඳහන් කළ සාක්ෂිකරු එහි ප්‍රධානියා ලෙස රත්නායක මහතා කටයුතු කළ බව සඳහන් කළේය. එම අංශයේ තිබූ ලිපි ලේඛන NMRA ආයතනයට රැගෙන යාම තමන් විසින් සිදු කළ අතර ඒවා ලබාදීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පොතක සටහන් තබාගත් අතර සිය නම ජාතික හැඳුනුම්පත් පත් අංකය යොදා එහි අත්සන් තැබූ බවද සඳහන් කළේය.
එම පොත සහ අදාළ ලිපි ලේඛන සාක්ෂිකරුගේ අවධානයට යොමු කිරීමෙන් පසු ඔහු එය හඳුනාගත් අතර එහි ඇති අත්සන රත්නායක මහතාගේ බවටද හඳුනා ගැනීමක් කළේය. අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ රත්නායක මෙම අධිකරණයේ විත්තිකරුවන් අතර සිටින බවට ද සාක්ෂිකරු විසින් හඳුනා ගනු ලැබිණ.
10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා එම සාක්ෂිකරු ට හරස් ප්‍රශ්නයක් යොමු කරමින් "අදාළ ලිපි සියල්ලම එක් ඖෂධ නිෂ්පාදන සමාගමකට අදාළව නිකුත් කර තිබෙනවා නේද?" යනුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඊට "ඔව්" යන පිළිතුර සාක්ෂිකරු ලබා දුන්නේය.
එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දන්වා සිටියහ.
ඒ අනුව ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීමක්ද සිදු නොකරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියාය.
දිවා විවේකයට පෙර මෙම නඩුව කල් තබන අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ විමර්ශන නිලධාරියාගෙන් සාක්ෂි විමසීමට අදාළව ලිපි ලේඛන කිහිපයක් සහ සාක්ෂි සටහන් අධ්‍යයනය කිරීමට ඇති බැවින් ඒ සඳහා තමන්ට කාලය අවශ්‍ය බවය.
එසේම තම සොහොයුරා කෝමා තත්ත්වයට පත්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් සම්බන්ධයෙන් මානුෂිකව සලකා බලා නඩු විභාගය දින කිහිපයක් කල් තබන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
විමර්ශන නිලධාරියාගේ සාක්ෂි විමසීමට පෙර මෙම නඩුවේ කාර්ය සටහන් අවශ්‍ය බැවින් ඒවා ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරු එහිදී ඉල්ලා සිටියහ.
මෙම නඩුවේදී ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන කිහිපයක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා හෝ ඔහුගේ නියෝජිතයකුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මීට පෙර සිතාසි නිකුත් කර තිබූ අතර එම සිතාසි මත අධිකරණය හමුවේ පෙනී සිටි සාමාන්‍යාධිකාරීවරයාගේ පෞද්ගලික ලේකම් ඉනෝකා හිමාලි සාක්ෂි ලබාදීම සිදුකළාය.
දිවා විවේකයෙන් අනතුරුව නියෝජ්‍ය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබාදුන් ඇය සඳහන් කළේ තමන් 1997 වසරේ ලිපිකරුවකු ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවයට එක්වූ අතර 2012 දී පෞද්ගලික සහකාර ධුරයට උසස් වීමක් ලැබූ බවය. අනතුරුව 2023 වසරේදී සාමාන්‍යාධිකාරීවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ බවද සාමාන්‍යාධිකාරීවරයා ලෙස දිනූෂ දසනායක මහතා කටයුතු කරමින් බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"ඒ වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වූයේ කවුද "යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ නීතිඥ සරත් ලියනගේ මහතා සභාපතිවරයා ලෙස කටයුතු කළ බවය.
සාමාන්‍යාධිකාරීවරයාගේ ඔහුගේ උපදෙස් මත සැකසීම තමන් විසින් සිදු කළ අතර ඔහුට ලැබෙන ලිපිද තමන් විසින් සාමාන්‍යාධිකාරීවරයා වෙත යොමු කරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
තමන් සාමාන්‍යාධිකාරී වරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ බැවින් ඔහුගේ සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ගේ අත්සන් හඳුනන බවද ඇය සඳහන් කළාය.
එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විසින් ලිපි ලේඛන කිහිපයක් සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ අවස්ථාවේදී ඒවායෙහි ඇති අත්සන් තමන් හඳුනන බව සාක්ෂිකාරිය කියා සිටියාය.
එම සාක්ෂි විමසීමෙන් අනතුරුව 08 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා සාක්ෂිකාරියගේ අවධානයට 8v6, සහ 8v7 යන ලේඛන දෙක යොමු කළ අතර එම ලිපි වල ඇති අත්සන කාගේදැයි විමසීමක් කළේය.
එය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාගේ අත්සන බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
තමන්ට එම අත්සන මතක ඇති බව සඳහන් කළ සාක්ෂිකාරිය එම ලිපියෙහි ඇති කරුණු සම්බන්ධයෙන් පැහැදිලි මතකයක් නොමැති බව කියා සිටියාය
මේ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කෙරුණු අතර මෙම නඩුවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියාගේ සාක්ෂි ලබා ගැනීම ඔක්තෝම්බර් මස 05 වැනිදා සිදුකිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

