රජ දුටුගැමුණුගේ මල්ලී සද්ධාතිස්ස කුමරු ගැන දන්නා අපි ඔහුගේ අයියා දිඝාභය කුමාරයා ගැන නොදනී.
කාකවර්ණ තිස්ස රජතුමාගේ දෙටු පුත්‍රයා දීඝාභය කුමරුය. ඔහුට ලක්දිව රජකම තබා රුහුණු රාජධානියේ රජකමවත් නොලැබිණි. එළාර රජුගේ දෙටු පුත්‍රයාද එකම පුතුද වූ කුමරුවාටද ලක්දිව රජකම ලැබුනේ නැත. පුදුමය නම් මහරජ ගැමුණුගේ දෙටු පුත්‍රයා වූ ද එකම පුත්‍රයා වූ සාලිය කුමරුටද ලක් සිහසුන අහිමි විමය.
මේ පුතුන් තිදෙනාම පවුලේ වැඩිමහල් පුරුෂ දරුවන්ය. ශ්‍රී ලංකාවේ දේශමාමක යුගයේ අතිශය අනුවේදනා සහගත ඉරණමකට පාත්‍ර වූ පුතුන් තුන්දෙනා මේ තිදෙනාය. ඒත් ඔවුන් අතරින් සාලිය කුමරු ගැන කතාබහක් මතු විය. ඒත් අන් දෙදෙනා ඉතිහාස කතාවෙන් මෙන්ම ජන අන්දර වලින් පවා විසි වි ගියේ කිමද? මේ ගැන මෙනෙහි කරමින් දිය කෙවුල් බිසව සොයා යන්න පටන් ගත්තේය. දිය කෙවුල් බිසවගේ හා සාලිය කුමරුගේ හමු වීම ගැන ඇති ජන විත්තිය මට හමු වූයේ සාලිඇළේදී ය.
සාලිඇළේ මණිරතන මහ තෙරිඳු මාතර යුගයේ සිංහල සාහිත්‍යයේ ආරම්භක ප්‍රඥා තාරකාවක්ය. උන්වහන්සේ උපත ලද පෙළපත ගැන තාමත් කිසිදු පරික්ෂණයක් කෙරී නැති තරම්ය. උඩරට සිංහල රාජධානිය ප්‍රාදේශීය වාදයට හා කුල වාදයට සිර වන්නේ සාහිත්‍ය ශානරයන් මිය යමිනි. එවිට සිංහල සාහිත්‍ය ශානරයට පණ පොවන්නේ මාතර යුගයේ රුහුණු වියත් පෙළය. ඒ වියත් පරපුරට නව සුසුමක් දුන්නේ සාලිඇළේ මණිරතන හිමියන්ය. සාලිඇළේ මණිරතන මහ තෙරිඳුගේ සාහිත්‍ය ශානරයේ ජනිත වූ ශිෂ්‍යයාවිය වූයේ "රංචාගොඩ ළමයා ය". රංචාගොඩ ළමයාගේ කවි කෙතරම් ජනකාන්ත වුවද ඇගේ පරපුර හා අතීතය ගැන අප සතුව දැනුමක් නැති තරම්ය. මෑත මාතර යුගයේ තතු පවා මෙතරම් මැකී ගියේ නම් ඈත තතු මැකී යාම අරුමයක්ද?
සාලියඇළේ ගුරු කුලය ගැන ලියන්නට හේතුවක් වන්නේ දිය කෙවුල් බිසවගේ අන්තිම කාලය ගෙවී ගියේ සාලිය කුමරුගේ රැකවරණය යටතේ බවට වූ කතාව නිසාය. සාලිය කුමරු තම ලොකු තාත්තා වූ දීඝාභය කුමරුගේ අම්මාව නවත්වා ගන්නේ සාලිය ඇළේ බවට ජන විත්ති වේ. "සාලිය වැව" සාලියඇළ වූ බවත් නැත, එය හාලි වැව, සාලි වැව "සාලිඇළ" වු බවට ජන විත්ති ගොඩකි. කවරක් නිවැරදි වුවද එහි "සාලිය" නම බැඳී ඇත. සාලිඇළේ මණිරතන මහ තෙරිඳුන් කරා පැමිණෙන රංචාගොඩ ළමයාගේ පරපුර දීඝාභය කුමරුගේ අම්මාගේ පරපුර යැයි ජන කතාවය. දැන් ජන විත්තිය ගැන සැක කිරීමට ඉඩ ඇත. එය සැක කිරීම කරන්නේ නම් කම් නැත. ප්‍රශ්නය මහාවංශය පවා නිරවුල්ව පවසන(මහාවංශය 23 පර්ච්ඡේදය 24,25 ගාථා) කාකවර්ණ තිස්ස රජුගේ පෙර බිසවගේ පුතු දීඝාභයට කුමක් වූවාද යන්නය.
ඉතිහාස පොතට ඔක්කොම ලියා තබා යන්න බැරිය. එසේ උනත් පොතට නොගත් දෑ කිසිවක් මකා දමන්නටද බැරිය. මන්ද යත් ජනවහර, ජන විත්ති, ජනකවි හා ජන අන්දර,ඒවා රැකගෙන පසුවෙන් පසුවට අරන් එන නිසාය. අනික ලංකාවේ අතීත නිල වංශ කතාවන් කිසිවක් මැකී යන්න බැරි ලෙස අනුමානව හරි ලියා තබා ඇත. ඒ අනුවම දීඝාභය එනම් දුටුගැමුණුගේ අයියා නොමැකී නාමගතව සිටී. දැන් සොයන්න බොහෝ දේ ඇතැයි සිතමි. ඉතිහාස ඡේද භේද බලා කිසිවෙක් මේවා නොසිතයි.
දීඝාභය කුමරු රජකම ඉල්ලා අරගල නොකරද්දී සද්ධාතිස්ස කුමරු රජකම ඉල්ලා අරගල කරන්නේ මන්ද? එයට පෙර කාකවර්ණ තිස්ස රජුගේ බිසව දිය කෙවුලිය සහ පසු බිසව විහාර මහා දේවිය අතර ගැටුමක් වූවාද. මේවා වඩාත් අපූරුවට සොයා බලන්න අවශ්‍ය වන්නේය. එනම් දියකෙවුල් වංශය ලංකා වංශිකයන් අතර සිටිය සුවිශේෂි භූමිකාවක නිර්මාපකයන් නිසාය. රුහුණු රටේ බල අරගලය ලක් සිහසුනේ බල අරගලය දක්වා ඇවිලී ගියේ වංශ අතර අරගලය මැදිනි. මේ සමයේ සිංහල කිරුළ දමිළ සොළීන් අතට පත්වී තිබුණි. සිංහල කිරුළ දරන්නට සුදුස්සෙකු ඔසවා තැබීමට වඩාත් උචිත වංශවතා කවුරුදැයි නොදැන සිංහලයාද මුනිවතෙහිම සිටී යුගයකි. ඉතින් වසර 44ක් එළාර රජතුමා ලක් සිහසුන අරන් නිරුපද්‍රිතව සිටියාය. ඒ ඔහු විශිෂ්ඨ රාජතාන්ත්‍රික පාලනයක නිරත වීම නිසාය. ඒත් එයට බලපෑ ප්‍රබලම යටිබිම් ගත හේතුව එළාර රජතුමාගේ ධාර්මික පාලනයමද?. එසේ නම් වසර 44 කට පසුව එක්වරම එය ප්‍රශ්නයක් වූයේ කෙසේද?
ඒ නිසා සිංහල රාජවංශය "මහාවංශය" නමින් හඳුන්වන හේතුව සොයාගත යුතුය. මේ වන විට ලක් කිරුළට මහාවංශිකයෙක් නොමැති කම නිසා එළාර රජුට ඉඩ තබා ලාංකිකයන් නිහඬව සිටිය බව පැහැදිලිය. එවිට දීඝාභය කුමරුට හා ඔහුගේ මවුන්ට සිදුවූයේ කවර ක්‍රියාවක නිරත වන්නද. මේ පරිච්ඡේදය ලාංකික වංශයන්ගේ ජාන අන්දරය දෙස බලා කියවාගන්නට වටින සමයකි. "දිය කෙවුල් වංශය" ශ්‍රී ලාංකික කෞරව වංශයට පසුව දිය වී යන ගණ ගෝත්‍රයකි. ඔවුන්ගේ ස්වීත්වය අවසන් වනුයේ කෞරව සම්ප්‍රදායට එක්තැන් වීමෙන්ය.
එවිට දිය කෙවුලන්ගේ ජාන වංශය දියඹ තුලම ස්වකීය පැවැත්ම සකසා ගත් ජාන සමාජයකි. ලෝකය සමඟ ලංකාවට ඒ ඈත යුගයේ බැදීම් බැදීමට මුල්වූ වංශිකයන්ය. ඔවුන් කාලයක් යද්දී ගොඩ කෙවුලන් හා දිය කෙවුලන් සේ කාණ්ඩ දෙකක් බවට පත් වේ. මේ සමයේ කිරින්ද කියන්නේ දිය කෙවුලන්ගේ සහ ගොඩ කෙවුලන්ගේ ජාන රාජධානිය. ඒ රාජධානිය මැදි කරගෙන ඇතිවන ගැටුම බොහෝ දිගය. මහා වංශය, දීපවංශය ඉතා නිරවුල්ව ලියා තබන රහසක් වේ. එම සිදුවීම නම් කාක වර්ණ තිස්ස රජුගේ තාත්තා ගෝඨාභය රජු විසින් දසබෑ රජුන් මරා දමන කථාවය.
කවුද මේ දසබෑ රජුන් කියන්නේ. දසබෑ රජුන් නමින් නම් කර එම සිදු වීම වංශ කතා ලියා තැබුවේ ඒ වටපිටාව වටහා ගැනීමටය. ඒත් පුදුමය දසබෑ රජුන් කවුදැයි සොයන්නට දරන වෑයමක් තවමත් මතු නොවීමය. කෙසේ නමුත් දසබෑ රාජ්‍යය යටත් කර ගනිමින් ගෝඨාභය රජු විසින් රුහුණ ඒකීය කර ගන්නේය. එවිට දසබෑ රජුන්ට බැඳි හෙළ වංශ හා ඉතිහාසය එම ඝාතනය සමඟ යටපත් කර දැමුවේ මන්ද?. එය මතකයට නංවා ගත යුතු නිසාම නිල වංශ කථාවේ ලියා ඇත.
ඒ නිසා "කපුටු පාට තිස්ස" යැයි කෙවුලන් දුටුගැමුණු රජුගේ පියාට උපහාස නමක් බැන්දේ ඔහුගේ පියා දසබෑ රජුන් ඝාතනය කළ කාලයේ පටන්ය. එපමණක් නොව ගෝඨාභය කීවේද උපහාස සහිත උප නාමයකි. කොටා, මිට්ටා හෙවත් බෙටි,පටු,මෝඩ යන අරුත් එහි දිස්වේ. එවිට අභයට ජනතාව ගෝඨාඅභය හෙවත් ගෝඨාභය කීවේ මන්ද. ඒ සමයේම පුතුට පමණක් නොව පියාටද ජනතාව උපහාස මුසු නමක් බැන්දේ ඇයි. ඒ වගේම වංශ කථාවේ රාජකීය නම සේ එම උපහාස නාමය ලියාපදිංචි කර දැම්මේ කිමද. ඉතිහාසය හිතන තරම් සරලද නැත. ඒ මන්ද ගෝඨාභය නමින් නූතන ලංකාවේ නායකයෙකු පත් වූ විට එවන්ම ප්‍රතිචාරයක් ලැබිනි. ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනතාව පලවා හරින්නේ "ගෝඨා ගෝඨා ගෝ" කියමින් උපහාසය මුසු ජන විරෝධයක් සමඟය. රුහුණු මාගමින් පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාටද තමන් ඈදා ගත් නමේ උරුම කරුවාට මෙන්ම උපහාස නාමයක් පට බැදගන්නට සිදුවූයේ පුදුම සහගත ලෙසය. ඉතිහාස රිද්මය එවැනිය. එය අභාවිත කරන්නන් දැන ගත යුත්තේ දැන්වත් එයය.
ඒ වගේම එම කාරණය සමඟ යලි තේමාවට ගමන් කළ යුතුය. දසබෑ රජුන්ගේ ප්‍රබල බල ඇණියේ සිටිය දිය කෙවුලන්ගේ බලය දුබල වූයේ කෙසේද?. දිය කෙවුල් දියණියකට රහසින් පෙම් කොට ඇය ගැබ්ගත් විට කාකවර්ණ තිස්ස රජගෙදරට කැන්දා ගත් බව කියැවේ. රහස් ගැබ දරා සිටි දරුවා දීඝාභයද. එවිට ඒ දීඝාභය ගැන කවුරුත් මුකුත් නොලියා නොකියා යන්නේද? කවුරුත් මුකුත් නොලියා නොකියාම ගොස් නැත. පූර්වගාමීන්ට තිබූ බහුමානීය විවෘත භාවය පසු කාලයේ අපට නැත. අද ඉතිහාසයේ කියා හිතන්නේ ලියන්නේ අපට සමාන දේ පමණය. අපට අසමාන අමනාප අකැමති දේද ඉතිහාසයය. දැන් දීඝාභය කුමරු දෙසට හැරිය යුතුය. ඒ ලංකා සයුරේ ශාස්ත්‍රය දැනගත් දිය කෙවුල් වංශයෙහි බිම් ගත ඉතිහාසය උදෙසා ඇති එකම හෝඩුවාව එය නිසාය. සාලිය කුමරුගේ පිලිසරණ පතා දුබලව මහලුව ගිය දිය කෙවුල් බිසව සාලිඇළට පැමිණියේ මේ කතාව කියා සිටින්නට විය හැකිය.
ලංකා සිහසුන එළාරත් දුටුගැමුණුත් නැතිවූ දවසේ කැළඹී ගියේය. ඒ සදධාතිස්ස රජුගේ දෙවන පුතු ථුල්ලත්ථන කුමරු සාලිය කුමරුගේ හිස සොයා ගමන් අරඹමින්ය. දීඝාභය කුමරුට වූ දෙය සොයාගන්නේ කෙසේද? අපි සාලිය කුමරුට සිදු වූ දෙයක් දන්නේ නැත්තේය. පෙම් කල සාලිය, රජ රජකම අතහැර ගිය සාලිය දන්නා අපි, ජීවත් වූ "සාලිය" ගැන නොදනී. ඔහු ගියේ කොහිද. ඔහුගේ පුත්‍රයා, දියණිය කවුද? මෙහෙම ලිව්වේ රජකම අතහැර ගිය ආලරාගීන්ට අපි අයුක්තියක් කළ ජාතියක් නිසාය. ආලරාගී සාලිය ගැන අතරමඟ නතර වූ ඉතිහාසය, රාගකාමි දීඝාභයව අමතක කරවාම ඇත්තේය.
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
රාවාෂ පසුගිය ලිපි :
රවාෂ (04) : දිය කෙවුල් බිසව
රවාෂ (03) : කිරි හින්දේ ඇයි ? - (සුජිත් අක්කරවත්ත)
රවාෂ (02) : කාක පාට ඇයි
රවාෂ (01) : එක් කෙනෙක් විතරක් ඇයි? - (සුජිත් අක්කරවත්ත)
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම