පාර්ලිමේන්තුමේන්තුව කල් තැබිමේ විවාදයක් ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධ දින 3ක් විවාද කරනු ලැබුවා.

එම විවාදවලදී මතු වූ කරුණු වලට අදාළව මෙන්ම විවිධ පාර්ශවයන් මාධ්‍ය හරහා දක්වන ලද කරුණු වලට ද අදාළව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සිය පිළිතුරු කතාවේ දී අදහස් දක්වන ලදි.

 

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නිතරම කාදිනල් තුමා විවිධ ප්‍රකාශ නිකුත් කර ඇති බවත් මෙම විවාදයේදී විපක්ෂයේ මන්ත්‍රීවරු දක්වපු කරුණු කාදිනල් තුමා දක්වන කරුණුවලට බොහෝ දුරට සමාන බව ඇමැතිවරයා සඳහන් කළේය.

 

සිරිල් ගාමිණි පියතුමා පසුගිය දිනක කරුණු 08ක් පිළිබඳව දක්වා තිබු අතර එයට මෙන්ම අනිකුත් ප්‍රකාශ හා විවාදයේ මතු වු කරුණුවලට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පිළිතුරු දෙමින් සිදු කළ සම්පුර්ණ කතාව පහතින්,

 

                      මැල්කම් කාදිනල් රංජිත් හිමි

2024.04.21 වන දින කාදිනල් හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධව :

 කාදිනල් හිමියන් විසින් 2024.04.21 දින සිදුකල ප්‍රකාශයක දී ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පිළිගන්වන ලද දිනට පසු දිනම දුරකථනයෙන් ජනාධිපතිතුමා කාදිනල් හිමිට කථා කර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන්ට දුෂ්කරතා ඇති බව සඳහන් කරන ලද බවයි. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාම නිසා තමන්ට හිතවත් හා ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවීම තුළ වාර්තාවේ ඉදිරිපත් කර තිබෙන නිර්දේශ තමන්ට ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් සඳහන් කළ බවට කාදිනල් හිමි ප්‍රකාශයක් කර ඇත.

 

  • ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාව නිකුත් කරන ලද්දේ 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ය. මෙහිදී පුදුමයට කාරණය වන්නේ මෙවැනි දෙයක් සිදු වූවා නම් කාදිනල් හිමියන් විසින් එය ප්‍රකාශ කරන්නේ වසර 03 කට පසුව වීමයි.
  • පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වරින් වර මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරන කාදිනල් හිමියන් වසර ගණනාවක් එවැනි දෙයක් සිදුවූ බවට ප්‍රකාශයක් නොකර සිටීම ගැටලුවකි.

 

ගරු සිරිල් ගාමිණි පියතුමා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රශ්න 08 සම්බන්ධව

                                        සිරිල් ගාමිණි පියතුමා

01) 2018 නොවැම්බර් 30 දින වව්නතිව් නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වුනා. මෙම ඝාතනය සිදුවූ අපරාධ ස්ථානය අසල යතුරුපැදිකරුවන් පළදින ජැකට්ටුවක් තිබෙනවා කියලා බුද්ධි අංශ මඟින් එවකට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට දැනුම්දීමක් කරලා තියනවා. මෙම ජැකට්ටුවක් සහිත බෑගය බෝක්කුව ඇතුලට දැම්මේ කවුද?

 

2018.11.30 දින වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල අතර 2018.12.03 දින පැවති ආරක්‍ෂක කවුන්සිලයේදී එවකට ජනාධිපතිවරයා විසින් ලබාදුන් නියෝග ප්‍රකාරව මේ සම්බන්ධව සියළු තොරතුරු / බුද්ධි තොරතුරු එම දෙපාර්තමේන්තුවට ලබාදීමට යුධ හමුදා බුද්ධි අංශය කටයුතු කර ඇත.

 

* යුධ හමුදා බුද්ධි අංශය විසින් 2018.12.05 දින සිට 2019.04.12 දක්වා අවස්ථා 05 කදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත වාර්තා 05 ක් ඉදිරිපත් කර ඇත. මෙම උක්ත වාර්තාවලින් ලබාදී ඇති තොරතුරු, තොරතුරුකරුවන් මාර්ගයෙන් ලබාගන්නා ලද තොරතුරු බැවින් එහි සඳහන් සැක කටයුතු පුද්ගලයින් ගණනාවක් පිළිබඳව විවෘත විමර්ශනයක් කරන ලෙසට මෙම වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත.

* යුධ හමුදා බුද්ධි අංශය මඟින් 2019.04.12 දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අමතමින් යොමුකරන ලද 05 වන සහ අවසන් වාර්තාවේදී වව්නතිව් නිලධාරීන් දෙදෙනා ඝාතනය, සහරාන්ගේ අනුගාමිකයින් වන රිල්වාන් නැමැත්තා හා මොහොමඩ් මොහිදීන් ආමි මොහිදීන් විසින් සිදුකර ඇති බැවින් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඝාතනය පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්නා ලෙස ඉල්ලා ඇත.

  • 2018.12.03 දින ආරක්‍ෂක කවුන්සිලයේදී පූර්වගාමී අතිගරු ජනාධිපතිතුමා විසින් වව්නතිව් සිදුවීමට අදාළ සියළු තොරතුරු එම විමර්ශන භාරව කටයුතු කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස බුද්ධි අංශවලට ලබාදී ඇති නියෝග අනුව එම බුද්ධි අංශවලට ලැබෙන සියළු තොරතුරු අදාළ විමර්ශන වලට සහය ලබාදීම සඳහා ඉදිරිපත් කර ඇත. ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම වනුයේ එම වාර්තා ලබා ගැනීමෙන් අදාළ තොරතුරු මත විවෘත විමර්ශනයන් සිදුකර බැහැර කලයුතු කරුණු ඉවත් කර අදාළ විමර්ශනයන්ට අවශ්‍ය තොරතුරු මත පදනම්ව සැකරුවන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමයි. මෙහිදී එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ නිලධාරින් මේ පිළිබඳ නිසි පුළුල් විමර්ශනයක් සිදුකලේ නම් මෙයට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පමණක් නොව එමගින් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමටත් හැකියාවක් තිබුණි.

 

                 විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න

 

02) විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ වගේම, ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කරලා තියන විදිහට සහරාන් සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට විදේශ බුද්ධි අංශයක් මඟින් අනාවරණය කරගන්නා ලද IP එඩ්රස් එක එහෙමත් නැත්නම් විද්‍යුත් ලිපිනය භාවිතා කරන ලද්දේ කවුරුන් විසින්ද? අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කල අවස්ථාවේ එයට බාධා කරමින් අත්අඩංගුවට ගැනීම වැලැක්වුයේ කවුරුන් විසින්ද?

 

* ජාත්‍යන්තර විමර්ශන ඒජන්සියක් මගින් කටාර් රාජ්‍යයේ සිටි පස්රුල් රහුමාන් මොහොමඩ් සහරාන් හෙවත් පොඩි සහරාන් නැමැති ශ්‍රී ලාංකිකයෙකුට සම්බන්ධ සමාජ මාධ්‍ය ගිණුමක් පිළිබඳව 2019.02.11 දින වාර්තා කර ඇත.

* එම වාර්තාවේ ඉහත සඳහන් පුද්ගලයා IS සංවිධානයට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලයක් සමඟ සම්බන්ධ බවට අදාළ තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාව වෙත අනාවරණය වීම මත මෙම පුද්ගලයාගේ පසුබිම හා ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කිරීම සඳහා බුද්ධි මෙහෙයුමක් දියත් කර ඇත.

  • මෙම බුද්ධි මෙහෙයුමේදී අදාළ පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි බවත් IS මතවාදයට නැඹුරුව කටයුතු කරන බවටත් හඳුනාගෙන ඔහුගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තවදුරටත් නිරීක්‍ෂණය කිරීමට අදාළ මෙහෙයුම භාර අංශය කටයුතු කර ඇත.

 

  • ඔහු 2019.04.16 වන දින මෙරටට පැමිණ තිබූ අතර, නමුත් ඔහු සහරාන් සමඟ සම්බන්ධතාවයක් තිබූ බවට කරුණු අනාවරණය වී නැත.

* මෙම පුද්ගලයා විසින් පාස්කු ප්‍රහාරයට අදාළ ව වීඩියෝ පටයක් IS සම්බන්ධිත සමාජ ජාලයක් හරහා අන්තර්ජාලය වෙත නිකුත් කර තිබිණි.

* බුද්ධි ක්‍රියාන්විතයේදී හඳුනාගත් මේ සියළු තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාව විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර ඇත. තවද මොහු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර මේ වන විට ගරු අධිකරණය විසින් මෙම පුද්ගලයා ඇප මත මුදා හැර ඇත.

* මොහු සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විමර්ශන අවසන් කරලා අධිකරණය වෙත බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර එම විමර්ශන ගොනු නීතිපති තුමා වෙත එම ගොනු යොමු කර තිබෙනවා.මෙසේ තිබියදී මේ පිළිබඳව නිසි අධ්‍යයනයකින් තොරව තත්ත්වය විකෘති කර පටු අරමුණු අපේක්‍ෂාවෙන් ජනතාව නොමග යැවීමට ඇතැම් පාර්ශවයන් ගන්නා උත්සාහයන් පිළිකුල් සහගතයි.

 

                      වව්නතිව්  සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය

 

03) වව්නතිව් නගරයේ සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය, එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකරන ලද්දක් බවට යුධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ විසින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වෙත දින 04 කදී, 2018 දෙසැම්බර් 05, දෙසැම්බර් 08, දෙසැම්බර් 13, 2019 ජනවාරි 03 වෙනිදා අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් මේ විමර්ශනය නොමග යැවීමට ක්‍රියාකරලා තියෙන බව යුටියුබ් නාලිකා වල වගේම රවී සෙනවිරත්න මහතා ගොනු කරලා තියෙන මුලික අයිතිවාසිකම් පෙත්සමෙත් හෙළි කරලා තියෙනවා මෙම අසත්‍ය බුද්ධි වාර්තා ඉදිරිපත් කරලා තියෙන්නෙ යුධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් කැළුම් මද්දුමගේ බවට, මේ අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් විමර්ශකයින් නොමඟ යැවුවේ කාගේ උවමනාවටද?

* යුධ හමුදා බුද්ධි අංශය විසින් 2018.12.05 දින සිට 2019.04.12 දක්වා අවස්ථා 05 කදී එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ රවී සෙනෙවිරත්න මහතා වෙත වාර්තා 05 ක් ඉදිරිපත් කර ඇත.

* යුධ හමුදා බුද්ධි අංශය මඟින් 2019.04.12 දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ අමතමින් යොමුකරන ලද 05 වන සහ අවසන් වාර්තාවේදී වව්නතිව් නිලධාරීන් දෙදෙනා ඝාතනය සහරාන්ගේ අනුගාමිකයින් වන රිල්වාන් නමැත්තා හා මොහොමඩ් මොහිදීන් ආමි මොහිදීන් විසින් සිදුකර ඇති බැවින් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ප්‍රහාරය පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්නා ලෙස ඉල්ලා ඇත.

* එම ලිපි 05 න් එක් ලිපියක තොරතුරු හැර අනෙක් ලිපි පමණක් පදනම් කරගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නොමඟ ගියා යැයි පවසන්නේ නම් අදාළ ලිපියෙන් ඉදිරිපත් කර ඇති තොරතුරු හා අනෙකුත් බුද්ධි අංශ හා විමර්ශන තොරතුරු විශ්ලේෂණය නොකර මෙම ප්‍රහාරයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීමේ වගකීමෙන් මිදීමට එවකට රාජකාරී කල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හැකියාවක් නොමැත.

  • වව්නතිව් ප්‍රහාරය සම්බන්ධයෙන් මඩකලපුව මහාධිකරණය ඉදිරියේ අංක 3421/21 නඩුව මේ වන විට විභාග වෙමින් පවතී.

 

              

 

04) දෙහිවල ට්‍රොෆිකල් නැමැති ආපන ශාලාවේදී පුපුරුවාගෙන මියගිය අබ්දුල් ලතීෆ් ජමීල් නමැත්තා පුපුරුවා ගැනීමට පෙර ටාජ් සමුද්‍රා හෝටලයේ භෝජනාගාරය තුළදී මරාගෙන මැරීමට සුදානම් වෙද්දී ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් එනවා. සීසීටීවී කැමරාවල ඉතාම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා ඒ කෝල් එක ආවට පස්සේ තමයි ඔහු පුපුරුවා ගන්නැතුව ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටවෙලා යන්නෙ, ඒ දුරකථන ඇමතුම ලැබුනේ කාගෙන්ද? ටාජ් සමුද්‍රා හෝටලයේ පුපුරුවා නොගෙන පිටව යාමට දුරකථන පණිවිඩයෙන් උපදෙස් ලැබුණාද?

 

සමහර යුටියුබ් වැඩසටහන් වල දී කියනවා මෙම දුරකථන ඇමතුම දීලා තියෙන්නේ යුධ හමුදා බුද්ධි අංශයේ කර්නල් අන්සාර් නමැති පුද්ගලයෙකු කියලා. මේ අන්සාර් කියන්නේ කවුද?

* පාස්කු ඉරුදින ප්‍රහාරයට පැය කිහිපයකට ප්‍රථම ජමීල් නැමැත්තා විසින් ඔහුගේ බිරිඳට වොයිස් පණිවිඩයක් යොමුකරමින් මොහුගේ ජීවිතයේ අවසන් කැමැත්ත පිළිබදව හා ඔහු දෙවියන් වහන්සේ ලගට යන බවට ඇය වෙත දැනුම්දී ඇයට යම් ගැටළුවක් ඇති වුවහොත් මේ හඩපටය පොලීසියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කර ඔහුට නැවත ඇමතුම් ලබා නොගන්නා ලෙස දන්වා ඇත. එම පණිවිඩය ඔහුගේ බිරිඳ අසා ඇත්තේ උදෑසන කාලයේ වන අතර එය ඇසූ සැනින් ඇය ජමීල් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වීමට කිහිපවතාවක්ම උත්සහ දරා ඇති බව ඇය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ප්‍රකාශයේ සඳහන් කර ඇත.

* මෙම දුරකතන ඇමතුම් ලබාගැනීමට උත්සහ කල කාලය හා සීසීටීවී දර්ශන අතර සංසන්දනය කිරීමේදී බොහෝදුරට මෙම ප්‍රශ්නගත ඇමතුම බිරිද විසින් ලබාගන්නා ලද ඇමතුම් බවට සැකකරනු ලබයි.

* ජමීල්ව සම්බන්ධ කරගැනීමට නොහැකිවීම නිසා ඇය ජමීල්ගේ සහෝදරයා වන අබ්දුල් ලතීෆ් මොහොමඩ් හකීම් වෙත එම පණිවිඩය දැනුම් දී ඇත.

* ඒ අනුව හකීම් සිය සමීපතමයෙකු වන රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වන මහීල් ඩූල් මහතා වෙත දැනුම් දී ඇත. ඒ අනුව මහීල් ඩූල් මහතා විසින් මේ පිළිබඳව යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරියෙකුට දැනුම්දී ඒ අනුව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ජමීල්ගේ නිවසට යොමුකර ඇත.

* ඒ අනුව ජමීල් පිළිබඳව මීට පෙර ලැබී තිබූ තොරතුරු හා මෙම දැනුම්දීමෙන් පසු හමුදා බුද්ධි අංශ හා විමර්ශන සිදුකර ඇති ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයද එම නිවසට ගොස් ඔහු පිළිබඳව විමසා ඇත.

 

                                                                        ජමීල්

05) ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බකරුවන ජමීල් හෝටලයෙන් පිටව ගියාට පස්සේ ඔහුගේ නිවසට හා ඔහුගේ මවගේ නිවසට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායමක් ගිහිල්ලා ජමීල් පිළිබඳ තොරතුරු විමසා ඇති බවට මේ වන විට අපි හැමෝම දන්නවා. එහෙම ගිය නිලධාරීන් කවුද? එම නිලධාරීන් ගියේ කාගේ වුමනාවටද? ජමීල් පිළිබඳව යුධ හමුදා නිලධාරීන් ක්‍ෂණිකව දැනගත්තේ කොහොමද?

 

* මෙයට පිළිතුර මීට ඉහත ප්‍රශ්නයේදි ලබාදී ඇත. තවද ජමීල්ගේ ක්‍රියාකාරකම් පිළිබදව එවකට පොලිස්පති හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පහත සඳහන් ලිපි යොමුකර ඇත.

1- 2015.08.27 දිනැති රාජ්‍ය බුද්ධි සේවාවේ ලිපි අංක S 5603/2015 යටතේ පොලිස්පතිවරයා වෙත

2- 2016.07.31 දිනැති රාජ්‍ය බුද්ධි සේවාවේ ලිපි අංක S 3102/2016 යටතේ පොලිස්පතිවරයා වෙත

3- 2017.10.31 දිනැති රාජ්‍ය බුද්ධි සේවාවේ ලිපි අංක S 3700/2017 යටතේ මොහු ඇතුළු 2019.04.21 ස්වයං ඝාතන මාලාව එල්ල කරන ලද පුද්ගලයින් කිහිප දෙනෙකු ඇතුළු අන්තවාදීන් 94ක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත

4- 2017.11.08 දිනැති රාජ්‍ය බුද්ධි සේවාවේ ලිපි අංක S 3666/2017 යටතේ පොලිස්පතිවරයා වෙත

5- 2019.01.31 දිනැති රාජ්‍ය බුද්ධි සේවාවේ ලිපි අංක S 532/2019 යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත.

* මෙහි වැදගත්ම කාරණාව වන්නේ උක්ත වාර්තා පදනම් කරගෙන 2018.04.12 දින හරියටම පාස්කු ඉරුදින ප්‍රහාරයට වසරකට පෙර ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් ජමීල් නමැත්තාව එම කොට්ඨාසයට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් පමණක් සටහන් කරගෙන නිසි විමර්ශනයක් නොපවත්වා එදිනම මුදවා හැර තිබීමයි. මෙම කාලයේදී එනම් 2015.02.23 සිට 2018.09.17 දක්වා එම කොට්ඨාසය භාරව කටයුතු කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා යි.

                 

                 Channel 4 වීඩියෝව

 

06) මෑතකදී විකාශ වූ Channel 4 නාලිකාවේ දක්වා තිබෙන පරිදි පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන අසාද් මවුලානා නමැත්තා ප්‍රකාශ කර ඇති පරිදි, 2019.04.21 දින බෝම්බය පිපිරිච්ච දවසේ උදේ කාලයේ හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ වන ඒ වන විට මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කල මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් අසාද් මවුලානාට ඇමතුමක් දීලා වහාම ටාජ් සමුද්‍රා හෝටයට ගොස් ජමීල්ව රැගෙන එන ලෙසට, මෙය බරපතල ප්‍රකාශයක්, මෙහි සත්‍ය අසත්‍යතාව කුමක්ද?

 Channel 4 විසින් එල්ලකරන ලද චෝදනා සඳහා විමර්ශනය කිරීමට පත්කරන ලද කොමිසම විසින් මේ පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතී.

 

07) අසාද් මවුලානා ප්‍රකාශ කරලා තිබෙන ආකාරයට සුරේෂ් සලේ සහ සහරාන් අතර හමුවක් 2018 පෙබරවාරි මස පළවන දින හෝ ඊට ආසන්න දිනකදී පුත්තලම වානතවිල්ලුවේදී සිදුවෙලා තියනවා. ඒ පිළිබඳව පරීක්‍ෂා කරන්නට ඕනේ.

යුටියුබ් නාලිකා වැඩසටහනකදී, කර්නල් අන්සාර් නමැත්තා සහරාන් ඇතුළු ප්‍රචණ්ඩ අන්තවාදය අභිප්‍රේරණය කිරීම සඳහා දේශන පවත්වා තිබෙනවා කියලා. කර්නල් අන්සාර් කියලා කියන්නේ හමුදා බුද්ධි අංශයේ සේවය කරපු කෙනෙක්, ඔහු සහරාන්ලව අභිප්‍රේරණය කරා කියන්නේ බරපතල ප්‍රකාශයක්, මෙහි සත්‍ය අසත්‍යතාව කුමක්ද?

 

  • Channel 4 විසින් එල්ලකරන ලද චෝදනා සඳහා විමර්ශනය කිරීමට පත්කරන ලද කොමිසම විසින් මේ පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතී.
    * ඒවගේම කටහඩ වෙනස් කරමින් Channel 4 නාලිකාවට කතාකලේ කවුරුන්ද කියන කාරණයත් එම විමර්ශනයේදී එලියට එයි.

 

08) හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහත්මයා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කල ජනාධිපති කොමිෂමේ සාක්‍ෂි ලබාදුන් පරිදි, සහරාන්ට ඉහළින් සිටි, සහරාන්ගේ බිරිඳ හාදියාගෙන් අනාවරණය කරගෙන ඇති පරිදි ‘අබු හින්ද්’ නමැත්තා පිළිබඳව විමර්ශනයක් කරලා තියෙනවා. මොකද, ඔහු සහරාන්ට දුරකථනයෙන් කතා කරමින් ඔහුට උපදෙස් දුන්න පුද්ගලයෙක් කියලා තමයි කියවෙන්නෙ. ඒ කියන ‘අබු හින්ද්’ සහරාන්ට ඉහළින් ඉඳලා උපදසේ දීලා, ඔහු මෙහෙයවලා තියනවා. ඔහු ඉහළ පුද්ගලයෙක්, එතකොට එයා කවුද?

*ස්වයං ඝාතක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් @ අබු උබෙයිදා @ ඉබුනු මසූදි සමඟ අබු හින්ද් නමැති පුද්ගලයෙකු ත්‍රීමා මෘදුකාංගය හරහා සම්බන්ධතා පැවැත්වූ බව හඳුනාගෙන ඇත. මොහු භෞතිකව හඳුනාගෙන නොමැති අතර ලෝකයේ බොහෝ රටවල බුද්ධි අංශ අදටද තොරතුරු ලබාගැනීම සඳහා සිදුකරන ක්‍රමවේදයන් ඔස්සේ යමින් විදේශ බුද්ධි අංශයක් තොරතුරු ලබාගැනීම සඳහා මෙම ජාලයට ඇතුලත් කරන ලද පුද්ගලයෙකු විය හැකි බව හදුනාගෙන ඇත.

මේ දින තුනේදී මේ පාර්ලිමේන්තු සභාව තුළ මතුකරපු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා.

 

(1) පාස්කු ප්‍රහාරයේ මිය ගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව

 

 

2019.04.21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරයේ මිය ගිය සංඛ්‍යාව කොපමණ දැයි නොදන්නා බවට මන්ත්‍රී තුමන්ලා කිහිප දෙනෙකුම මෙම විවාදයේ දී ප්‍රකාශ කරන ලදි.

එබැවින් මුලින්ම එම සංඛ්‍යාවන් පොලිස් මූලාශ්‍ර මත පදනම්ව ලබා දීමට මා තීරණය කළා.

ඒ අනුව 2019.04.21 වන දින දෙමටගොඩ සිදු වූ පිපිරීමෙන් මිය ගිය පුද්ගලයන් ද සහිත ව සමස්ථ මිය ගිය සංඛ්‍යාව 274 කි.

දෙමටගොඩ සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් ද සහිත ව සමස්ථ තුවාල ලැබූ සංඛ්‍යාව 588 කි.

 

(2) පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර නිලධාරීන් 31 දෙනෙකුට පමණ ස්ථාන මාරුවීම් ලබා දීමටත් විදේශ ගමන් තහනම් කිරීමටත් කටයුතු කිරීම සම්බන්ධව.

 

* අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට ස්ථාන මාරුවිම් සිදුකළා යැයි කියනු ලබන නිළධාරින් 31 දෙනාගේ ස්ථාන මාරු වලට හේතු ඇතුලත් විස්තර වාර්තාව ඇමුණුම 01 ලෙස ඉදිරිපත් කරමි.

* පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන ඇතුලු තවත් වැදගත් විමර්ශන සිදුකරන ලද පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා නොදන්වා කටුනායක ගුවන්තොටුපලෙන් විදේශ ගත විම වාර්තා විමෙන් පසු ඒ ආකාරයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් නොදන්වා විදේශ ගත විම වැළැක්වීමට නිලධාරින්ගේ ගුවන්ගමන් තහනම් කර ඇති අතර මේ වන විට එම තහනම ඉවත් කිරිමට අධ්‍යක්ෂ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත.

* මෙම විවාදයේදීත් සදහන් වුනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාවත් ස්ථාන මාරු කළා කියලා. ඔහුව ස්ථාන මාරු කරලා නැහැ. ඔහු විශ්‍රාම වයසට ආවට පසුව විශ්‍රාම ලබා ගෙනයි තියෙන්නේ.

* ඒ වගේම සදහන් කරන ලද ඇතැම් නිලධාරින් උසස්වීම් ලැබුනයින් පසු වසර කිහිපයකට පසුව වෙනත් කොට්ඨාස භාරව ස්ථාන මාරු ලබා ගෙනයි තියෙන්නේ.

 

(3) පාස්කු ප්‍රහාරය සම්බන්ධව රාජ්‍ය බුද්ධි සේවාව විසින් 2019.04.09 දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලද ලිපිය.

 

* මොහොමඩ් සහරාන් යන අය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට රාජ්‍ය බුද්ධි සේවාවට ලැබුණු තොරතුරක් 2019.04.09 දින එවකට පොලිස්පති වෙත යොමුකර ඇති අතර එම ලිපියේ පිටපතක් එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත රාජ්‍ය බුද්ධි සේවාව විසින් යොමුකර ඇත.

* එම ලිපිය “අති රහස්‍යයි“ වර්ගීකරණය යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත යොමුකර තිබූ අතර එහි සහරාන් අතුළු පිරිසගේ විස්තර ද ප්‍රහාරය එල්ලවිය හැකි ස්ථාන පිළිබදවද විස්තර සඳහන්ව ඇත.

* 2019.04.09 දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබු එම ලිපියට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙන නොතිබූ අතර 2019.04.22 දින වනවිටත් එම ලිපිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සතුව තබාගෙන ඇත. එම ලිපියේ පිටපතක් ඇමුණුම 02 ලෙස දක්වා ඇත.

 

(4) පාස්කු දින ප්‍රහාරයට අදාළ ව පරීක්‍ෂා කිරීම සදහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සහ මළල්ගොඩ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව.

 

* මෙම පරීක්‍ෂණ සභා මගින් ඇතැම් කරුණු පිළිබද ව අපරාධ පරීක්‍ෂණයක් සිදු කිරීමටත්, තවත් සමහර කරුණු පිළිබද ව පොලිස් නිලධරයන්ට එරෙහි ව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් නිර්දේශ කර තිබිණි.

  • ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් දෙන ලද නිර්දේශ පදනම් කරගෙන නීතිපතිතුමා විසින් 2021.03.10 වන දින පොලිස්පතිතුමා වෙත ලබා දෙන ලද උපදෙස් අනුව අපරාධ විමර්ශන 05ක් සිදු කර ඇත. ඒ අනුව,

 

i. අබුහින්ද්
ii. අහමඩ් තාලිබ් ලුක්මන් තාලිබ්
iii. ලුක්මන් තාලිබ් අහමඩ් හෙවත් අබු අබ්දුල්ලා
iv. රිම්සාන්
v. මහෙන්ද්‍රන් පුලස්තනී හෙවත් සාරා ජස්මින්

 

යන පුද්ගලයන්ගේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති සම්බන්ධතාවය අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදු කර ඇත.

* මලල්ගොඩ කමිටු නිර්දේශ මත නීතිපතිතුමා විසින් ලබා දී ඇති උපදෙස් අනුව අපරාධ විමර්ශන 03ක් සිදු කර ඇත.

එනම්,


i. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස 2019.05.06 වන දින නීතිපතිතුමා විසින් පොලිස්පතිතුමා වෙත උපදෙස් ලබා දී ඇත.

ii. පොලිස් නිලධාරීන් 09දෙනෙකු සම්බන්ධයෙන් ඔවුන්ගේ නොකර හැරීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදු කිරීමට 2019.06.21 වන දින නීතිපතිතුමා විසින් පොලිස්පතිතුමා වෙත උපදෙස් ලබා දී ඇත.

iii. එවකට ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට විරුද්ධව අපරාධ විමර්ශනයක් සිදු කරන ලෙසට 2019.06.24 වන දින නීතිපතිතුමා විසින් පොලිස්පතිතුමා වෙත උපදෙස් ලබා දී ඇත.

 

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මලල්ගොඩ කමිටු වාර්තාවේ ඉහත කරුණු සම්බන්ධ ව එම නිලධාරීන්ට විරුද්ධව විමර්ශන සිදු කර උධෘත ගරු නීතිපතිතුමා වෙත යොමු කිරීමෙන් අනතුරුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ HC TAB 2899/21 යටතේ හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට විරුද්ධව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ HC TAB 2900/21 යටතේ අධිචෝදනා ගොනු කර ඇති අතර, අනෙකුත් නිලධාරීන් 09 දෙනා මෙම නඩුවල සාක්‍ෂි කරුවන් ලෙස නම් කර ඇත.

එම නඩු දෙකෙන් ඔවුන් දෙදෙනාව නිදොස් කර ඇත.

* එමෙන්ම මෙම පරීක්‍ෂණ කොමිෂන් සභා වලින් කර තිබෙන නිර්දේශ අනුව පොලිස් නිලධාරින් 16 දෙනෙකුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත. එලෙස ගන්නා ලද විනය ක්‍රියාමාර්ග මෙසේය.

අනු අංකය නිලධාරියාගේ නම එවකට දරන ලද තනතුර/ අනුයුක්ත ස්ථානය වර්තමාන තනතුර චෝදනා පත්‍ර නිකුත් කල දිනය විනය ක්‍රියාමාර්ගයේ වර්තමාන තත්ත්වය

 

1 ටී.එම්.ඩබ්.ඩී. තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත උතුර දිසාව) පොලිස්පති 2023.04.24 ත්‍රිපුද්ගල විනිශ්චය සභාව විසින් සියළු චෝදනා වලින් නිදහස් කිරීමට ලබා දී ඇති තීරණය ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමත කර ඇත.

2 එල්.එස්. පතිනායක නියෝජ්‍ය පොලිස්පති (කොළඹ දිසාව) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මධ්‍යම පළාත) 2023.04.24 ත්‍රිපුද්ගල විනිශ්චය සභාව විසින් සියළු චෝදනා වලින් නිදහස් කිරීමට ලබා දී ඇති තීරණය ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමත කර ඇත.

3 එල්.එම්. සංජීව බණ්ඩාර පොලිස් අධිකාරී (කොළඹ උතුර කොට්ඨාසභාර නිලධාරී) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (අධ්‍යක්ෂ- සුභසාධක) 2023.04.24 විධිමත් විනය පරීක්ෂණය අවසන්ව නොමැත.

4 එච.බී.එස්.එස්. සිසිල කුමාර සහකාර පොලිස් අධිකාරී (මීගමුව) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (මේ වන විට වෙනත් සිදුවීමකට අදාලව වැඩ තහනමට ලක්කර ඇත) 2023.04.24 විධිමත් විනය පරීක්ෂණය අවසන්ව නොමැත.

5 කේ.එම්.ආර්.එස්.බී. කුමාරසේකර සහකාර පොලිස් අධිකාරී (මීගමුව) සහකාර පොලිස් අධිකාරී (පහලගම පොලිස් අභ්‍යාස විද්‍යාලය) 2023.04.24 විධිමත් විනය පරීක්ෂණය අවසන්ව නොමැත.

6 ජී.අයි.එස්.පී. ඒකනායක ප්‍රධාන පොලිස් පරීක්ෂක (ස්ථානාධිපති - ග්‍රෑන්ඩ්පාස්) සහකාර පොලිස් අධිකාරී (නුගේගොඩ) 2023.07.14 විධිමත් විනය පරීක්ෂණය අවසන්ව නොමැත.

7 ඒ.එච්.එම්.එස්. අබේසිංහ උප පොලිස් පරීක්ෂක (පොලිස් ස්ථානය - කොටහේන) ප්‍රධාන පොලිස් පරීක්ෂක 2023.05.04 විධිමත් විනය පරීක්ෂණය අවසන්ව නොමැත.

8 පී.එස්.එස්. උපේන්ද්‍ර පොලිස් පරීක්ෂක (කොළඹ උතුර පොලිස් අධිකාරී කාර්යාලය) ප්‍රධාන පොලිස් පරීක්ෂක 2023.05.04 විධිමත් විනය පරීක්ෂණය අවසන්ව නොමැත.

9 ඊ.එච්.එම්. කරුණාරත්න ප්‍රධාන පොලිස් පරීක්ෂක (ස්ථානාධිපති - කොටහේන) ප්‍රධාන පොලිස් පරීක්ෂක 2023.05.04 විධිමත් විනය පරීක්ෂණය අවසන්ව නොමැත.

10 ඩබ්.කේ.ඩී.සී. නවරත්න පොලිස් පරීක්ෂක (ස්ථානාධිපති - කටාන) ප්‍රධාන පොලිස් පරීක්ෂක 2023.05.04 විධිමත් විනය පරීක්ෂණය අවසන්ව නොමැත.

11 එම්.ඒ. සෙනෙවිරත්න පොලිස් පරීක්ෂක (පොලිස් ස්ථානය - කටාන) ප්‍රධාන පොලිස් පරීක්ෂක 2023.05.04 විධිමත් විනය පරීක්ෂණය අවසන්ව නොමැත.

12 ඒ.එල්.ජී. රත්න කුමාර උප පොලිස් පරීක්ෂක (පොලිස් ස්ථානය - මීගමුව) පොලිස් පරීක්ෂක 2023.05.04 විධිමත් විනය පරීක්ෂණය අවසන්ව නොමැත.

13 එම්.එම්. දිනේෂ් නිශාන්ත පො.සැ. 21705 ( පොලිස් ස්ථානය - කටාන) පො.සැ. 21705 2023.05.04 චෝදනා පත්‍රයට වරද පිළිගැනීම මත 2023.06.14 දින සේවයෙන් පහ කර ඇත

14 එස්.එම්.කේ.ජී. සුරේක සම්පත් පො.කො. 74777 ( පොලිස් ස්ථානය - කටාන) පො.සැ. 74777 2023.05.04 චෝදනා පත්‍රයට වරද පිළිගැනීම මත 2023.08.28 දින සේවයෙන් පහ කර ඇත

15 එච්.එම්.ඩී.එස්. හඳපාන්ගොඩ පො.සැ. 30695 (පොලිස් ස්ථානය - ගම්පහ) පො.සැ. 30695 2023.05.04 විධිමත් විනය පරීක්ෂණය අවසන්ව නොමැත.

16 ටී.එම්.එස්. ආරියසිංහ පො.සැ. 5951 (කොළඹ උතුර පොලිස් අධිකාරී කාර්යාලය) පො.සැ. 5951 2023.05.04 විධිමත් විනය පරීක්ෂණය අවසන්ව නොමැත.

 

(5) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධව ගෙන ඇති විනය ක්‍රියාමාර්ග.

 

* පාස්කු ප්‍රහාරයට අදාළ ව පවරා තිබූ මූලික අයිතිවාසිකම් නඩු වල නියෝගය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබිණි.

* එම නියෝගය අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ඔහු සම්බන්ධව මූලික විමර්ශනයක් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුව විසින් නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව චෝදනා ඉදිරිපත් කල නොහැකි බවට 2023.07.10 දින තීරණය කර තිබිණි.

* නමුත් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ත්‍රිපුද්ගල කමිටුවේ තීරණය සමඟ එකඟ නොවී නිලන්ත ජයවර්ධන මහතාට චෝදනා පත්‍රයක් 2023.11.17 දිනැතිව ලබාදී ඇත.

  • එම චෝදනා පත්‍රය ලබාදීමට එරෙහිව නිලන්ත ජයවර්ධන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩු අංක 306/2023 දරණ නඩුව ගොනුකර ඇති අතර මෙම නඩුවේ ඊලග දිනය 2024.05.02 වේ.
  • ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නිලන්ත ජයවර්ධන මහතාට නිකුත් කළ චෝදනා පත්‍රයේ පරීක්‍ෂණ කටයුතු මෙතෙක් අවසන් ව නොමැත.

 

(6) ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සදහා සම්බන්ධ කර ගැනීම.

 

* පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු සදහා ජාත්‍යන්තර විමර්ශන සහාය ද ලබා ගෙන ඇත. එම ආයතන වන්නේ Interpol, AFP (Australia), FBI – USA, Scotland Yard – UK

* පාස්කු ඉරුදින ප්‍රහාර මාළාව සම්බන්ධයෙන් FBI ආයතනය වසර 02කට ආසන්න කාලයක් පුරාවට විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර ඔවුන්ගේ අවසන් වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු වෙත යොමුකර ඇත. මෙම ප්‍රහාර මාළාවෙන් ඇමරිකානු පුරවැසියන් 05ක් ජීවිතක්‍ෂයට පත්වීම හේතුවෙන් FBI ආයතනයේ විමර්ශන පදනම් කරගෙන US Department of Justice විසින් ඇමරිකාවේ Los Angeles දිස්ත්‍රික් අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කර ඇත.

* FBI විමර්ශන අනුව ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති අතර ISIS මතවාදය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට නායකත්වය ගැනීම, වෙනත් පුද්ගලයන් IS වෙත බඳවාගැනීමට කටයුතු කිරීම හා පාස්කු ඉරුදින ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණුවීම් සඳහා නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් මොහොමඩ් නවුෆර් නවුෆර් මව්ලවි නමැත්තාට එරෙහිව එරට අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කර ඇත.

* US Department of Justice විසින් නිකුත් කරන ලද නිල නිවේදනයේ මේ ආකාරයට සඳහන් වෙනවා

“The three defendants named in the criminal complaint, all of whom pledged allegiance to ISIS, are:

• Mohomed Naufar, the “second emir” for the group of ISIS supporters that called itself “ISIS in Sri Lanka,” who allegedly led the group’s propaganda efforts, recruited others to join ISIS, and led a series of multi-day military-type trainings;

• Mohamed Anwer Mohamed Riskan, who allegedly helped manufacture the IEDs used in the Easter Attacks; and

• Ahamed Milhan Hayathu Moahmed, who allegedly executed a police officer in order to obtain the officer’s firearm, shot a suspected informant, and scouted a location for a separate terrorist attack.”

 

 තවද එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තනාපති මහින්ද සමරසිංහ මහතා විසින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සහ එහි ප්‍රගතිය පිළිබඳව විමසීමක් මෙන්ම තවත් ස්වාධීන පරීක්‍ෂණයක් පිළිබඳව ඉල්ලීමක් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් සිදුකර ඇත. එයට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පිළිතුරු යොමුකර ඇත.

 

“Ambassador Samarasinghe,
We stand ready to continue providing support to your government, it would not make sense for the United States to conduct an additional investigation into the attacks.”

 

මෙම සම්පූර්ණ ලිපිය ඇමුණුම 03 ලෙස ඇත.

* Australian Federal Police විසින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලද අතර එහිදී ඉලෙක්ට්‍රොනික් උපාංග 400කට වඩා වැඩි ප්‍රමාණයක් වෝහාරික පරීක්‍ෂණයන් සඳහා භාජනය කර ඇති අතර තවත් ඉලෙක්ට්‍රෝනික් උපාංග 33ක් ඕස්ට්‍රේලියාව වෙත රැගෙන ගොස් වෝහාරික පරීක්‍ෂණ සිදුකර ඇත.

  • 2022.03.29 දිනැති ලිපිය මගින් එවකට පොලිස්පතිවරයා විසින් Australian Federal Police වෙතින් මෙම විමර්ශනයන්ට අදාළ තොරතුරු / සොයාගැනීම් පවතින්නේද යන්න විමසා ඇත. එයට පිළිතුරු Australian Federal Police විසින් 2022.04.21 දිනැති ලිපිය මගින් පොලිස්පතිවරයා වෙත යොමුකර ඇත. එහි පහත පරිදි සදහන් කර ඇත.
  • “I can advise that the AFP have completed all investigations in conjunction with Sri Lanka Police and provided reports and conclusions to those authorities.”
  • පාස්කු ප්‍රහාරයට අදාළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු අංක TAB 2972/21 නඩුවේ සාක්‍ෂිකරුවන් ලෙස මෙම විමර්ශනයට සහය වූ AFP නිලධාරීන් 10ක් හා FBI නිලධාරීන් 03ක් එම අධිචෝදනා පත්‍රයට ඇතුළත් කර ඇත.

 

Sarajasmin1               සාරා ජස්මින්

(7) සයින්දමර්දු පිපුරුමේදී සාරා ජස්මින් මියයාම සම්බන්ධව

 

* 2019.04.26 දින සයින්දමරුදු නිවසේදී බෝම්බ පුපුපරුවා ගනිමින් මියයන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් රජයේ රසපරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අවස්ථා 03කදී DNA පරීක්‍ෂණ සඳහා සාම්පල් ලබාගෙන ඇත.

* 2019.04.26 සයින්දමරුදු නිවසේ පුපුරවාගත් පුද්ගලයින් සම්බන්ධයෙන් අම්පාර මහ රෝහලේදී අධිකරණ විශේෂඥ වෛද්‍ය රුචිර නදීර මහතා විසින් පරීක්‍ෂණ සිදුකර පළමු DNA සාම්පල 26ක් 2019.04.28 සහ 29 ලබාගැනීමෙන් පසු 2019.05.02 දින එම මෘත ශරීර භුමදානය කර ඇත. මෙම මෘත ශරීරවලින් ලබාගත් DNA සාම්පල 2019.05.08 දින රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

* එලෙස ලබාගත් සාම්පල් 26න් 11ක් නරක්වීම හේතුවෙන් නැවත එම සාම්පල් 11කට අදාළ සිරුරු අධිකරණ නියෝග මත 2019.06.07 වන දින ගොඩගෙන සාම්පල් 11ක් දින රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

* මෘත ශරීර කොටස් වල සාරා ජෙස්මින් ගේ DNA පරීක්‍ෂා කිරීමට ඇයගේ මවගේ රුධිර සාම්පල ද රස පරීක්‍ෂක වෙත යොමු කර ඇත.

* ඉහත පරිදි අවස්ථා දෙකක දී ලබා ගත් DNA සාම්පල වලට අදාළ ව රජයේ රස පරීක්‍ෂක වාර්තා 2019.09.19, 2019.11.15 සහ 2021.03.03 යන දින වල ලැබී ඇත. නමුත් සාරා ජෙස්මින් ගේ මවගේ DNA සමඟ ගැලපීමක් සිදු වී නැත.

* මෙම පසුබිම මත විවිධ පුද්ගලයින් විවිධ මතවාද සමාජ ගත කිරීම හේතුවෙන් මේ පිළිබඳව සමාජ කතිකාවක් නිර්මාණය විය. මෙයට ප්‍රධානතම හේතුව වුයේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරියෙකු වූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අර්ජුන් මාහින්කන්දගේ පෞද්ගලික තොරතුරුකරුවෙකු ලබාදුන් තොරතුරක් ඔහු කොමිෂන් සභාවට ලබාදී ඒ අනුව සාරා ජස්මින් නමැත්තිය ඉන්දියාවට පලා ගොස් ඇති බව ඇසින් දුටු සාක්‍ෂිකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීමය.

* එම සාක්‍ෂි පදනම් කරගෙන එසේ සාරා ජස්මින්ට පැනයාමට උපකාර කළ බවට සැකපිට අම්පාර පොලිස් කොට්ඨාසයේ ප්‍රවාහන අංශයට අනුයුක්තව සිටි පොලිස් පරීක්‍ෂක නාගුර් තම්බි අබුබක්කර් 2020.07.11 දින කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අනතුරු ව ඔහුට එරෙහි ව මහාධිකරණය ඉදිරියේ නඩු පවරා ඇත.

* මේ අනුව විමර්ශන නිලධාරීන් තවදුරටත් සාරා ජස්මින් මෙරට ජීවත්වනවාද නැතහොත් වෙනත් රටකට පැන ගියාද යන්න පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් පරීක්‍ෂණ සිදුකරන ලදී. එසේ කරන ලද විමර්ශනයන්වලදී සාරා ජස්මින් පැන ගියා යැයි සාක්ෂි ලබාදුන් පුද්ගලයින්ගේ සාක්‍ෂිවල පරස්පරතා පවතින බව නිරීක්‍ෂණය වූ අතර සාක්‍ෂි තහවුරු කිරීමේ සාධක නොමැති බවට ද නිරීක්‍ෂණය විය.

* ඒ අනුව නැවත වරක් භූමදානය කරන ලද සියළුම සිරුරු සහ අවශේෂ කොටස් වලින් සාම්පල් ලබාගැනීමට තීරණය කර ඇත.

* ඒ අනුව 2021.05.07 දින අධිකරණයේ අවසරය පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව, ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු අධිකරණ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දැනට නිදහස්ව සිටින 2019.04.26 මෙම පුපුරවාගැනීම සිදුවන අවස්ථාවේ නිවසේ සිටි සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නැමැත්තිය අදාළ ස්ථානයට රැගෙන ගොස් ස්ථානීය පරීක්‍ෂණයක් කරන ලදි.

* එහිදී අනාවරණය වූ කරුණු ඔස්සේ සිද්ධිය වු ස්ථානය සිතියම් ගත කර භූමදානය කරන ලද සියළු ශරීර කොටස් ආවරණය වන පරිදි DNA සාම්පල 83ක් 2022.04.27 වන දින නැවත ලබාගෙන සිදුකරන ලද පරීක්‍ෂණයේදී සාරාගේ මවගේ DNA සමඟ ගැලපෙන බව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2023.02.15 වන දින වාර්තා කර ඇත.

* ඒ අනුව 2019.04.26 දින සයින්දමරුදු නිවසේ පුපුරවා හැරීමෙන් සාරා ජෙස්මින් මිය ගිය බවට රස පරීක්‍ෂක වාර්තා අනුවම තහවුරු වී ඇත.

* ඒ අනුව තමයි මම ප්‍රකාශ කරන්නේ බොරු සාක්‍ෂි මත පදනම් වෙලා, සාරා ජස්මින්ව රටින් පැන්නුවා කියලා පොලිස් පරීක්‍ෂක අබුබකර් නිලධාරියාට නිකරුනේ නඩුවක් දාලා තියෙනවා කියලා. ඒ නිලධාරියා මේ වනවිට තැඹිලි විකුණනවා කියලා මා සඳහන් කලේ ඒකයි.

 

(8) අධිවේගී මාර්ගයේ ගැළණිගම පිවිසුම අසල නවතා රඳවාගත් ලොරි රථය නිදහස් කිරීම සම්බන්ධව.

 

* 2019.04.05 වන දින පැය 0035ට එනම් අළුයම 1235 ට පමණ දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ ගැළණිගම පිවිසුම අසළ දී එහි රාජකාරි කළ පොලිස් නිලධාරින් විසින් අංක LE - 6012 දරන ලොරි රථය නවතා පරීක්‍ෂාවට ලක් කර ඇත. ඔවුන් එම ලොරි රථය නතර කිරීමට හේතුව වී ඇත්තේ ලොරි රථයේ දෝෂ තිබේදැයි පරීක්‍ෂා කිරීමට හා ලියවිලි පරීක්‍ෂා කිරීමටයි.

* එම අවස්ථාවේ දී ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබෙන්නේ අසුරු තන්ත්‍රිගේ රොමේෂ් ඉන්දික පීරිස් යන අයයි. එම අවස්ථාව වන විට මෙම ලොරි රථයේ ලියාපදිංචි අයිතිකරු අංක 27/6 ඒ, පාර්ක් ලේන්, රාජගිරිය නමැති ලිපිනය දරන TROPICAL FISH INTERNATIONAL (PVT) LTD යන සමාගමයි. (ලොරි රථයේ 2022.02.01 දිනැති ව ලබා ගත් ලියාපදිංචි සහතිකයේ පිටපතක් ඇමුණුම 04 ලෙස යා කර ඇත.)

* එවකට ගැළණිගම පිවිසුමට අනුයුක්ත ව අධිවේගි මාර්ග සංචාරක කොට්ඨාසයේ රාජකාරි සිදු කළ පොලිස් පරීක්‍ෂක එච්.වී.එස්. ගාමිණි සහ පොලිස් සැරයන් 37973 රත්නකුමාර යන නිලධාරින් විසින් මෙම ලොරි රථය පරීක්‍ෂාවට ලක් කර ඇත.

* චීනයේ සිට මෙරටට ආනයනය කල විසිතුරු මසුන් තොගයක් මෙම ලොරි රථයෙන් ප්‍රවාහනය කරමින් තිබු අතර 2019.04.04 වන දින CZ 3059 දරණ ගුවන් යානයෙන් එම මසුන් මෙරටට ආනයනය කර තිබිණි. තවද, TROPICAL FISH INTERNATIONAL (PVT) LTD ආයතනය විසින් එම මසුන් මෙරටට ආනයනය කර තිබු අතර එයට අදාල රේගු යොමු අංක S 13166 දරණ ලිපියෙහි පිටපතක් ඇමුණුම 05 ලෙස මෙයට යා කර ඇත.

* මෙම විසිතුරු මසුන් තොගය එදින එම ලොරි රථයෙන් CNP EXPRESS (PVT) LTD නැමති ආයතනයේ වාප්පු ලිපිකරුවෙකු වන N.D.P. ධනංජය යන අය විසින් බගවත්ත, පෝරුවදණ්ඩ , හොරණ ලිපිනය වෙත ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස ගැළණිගම පිවිසුමේ දී එය පරීක්‍ෂාවට ලක් කර ඇත.

* අනවශ්‍ය කාලයක් එම ලොරි රථය රඳවා ගෙන කටයුතු කිරීම හේතුවෙන් මෙම විසිතුරු මසුන් ඔක්සිජන් හිඟව මිය යා හැකි බවට එවකට බස්නාහිර උතුර භාර ‍නියෝජ්‍ය පොලිස්පති ව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත වාර්තා වීමෙන් අනතුරුව, එලෙස මසුන් මිය යා හැකි බැවින් ලොරිය පිළිබදව පරික්ෂණ කටයුතු කඩිනමින් නිමකර අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිවේගී සංචාරක කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්ද්‍රසේකර වෙත උපදෙස් ලබා දි ඇත.

* ඒ අනුව එම අවස්ථාවේදි ගැළණිගම පිවිසුම අසල රාජකාරි සිදු කර ඇති පොලිස් පරික්ෂක ගාමිණි නිලධාරියා මෙම විසිතුරු මසුන් පිළිබදව කටුනායක ගුවන් තොටුපල වෙතින් පරික්ෂා කර සැකහැර දැන ගැනිමෙන් පසු ලොරි රථය මුදා හැරි‍මට කටයුතු කර ඇති බව සොයා බැලිමේදි වාර්තා වි ඇත.

* ගැළණිගම පිවිසුම අසල නවතා පරික්ෂා කරන ලද ලොරි රථයක් මුදා හැරිම සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සිදු කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත වාර්තා වි ඇති තොරතුරකට අනුව කොමිෂන් සභාවට අනුයුක්තව රාජකාරි කර ඇති පොලිස් පරික්ෂක ජනිත කුමාර නිලධාරියා විසින් පුර්ණ විමර්ශනයක් සිදු කර ඇති බව පරික්ෂා කිරිමේ දි අනාවරණය වි ඇත.

* මේ අනුව එම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත වාර්තා වීමෙන් අනතුරුව එයට අනුයුක්ත පොලිස් නිළධාරීන් විසින් සිදු කරණ ලද විමර්ශනයේ දී ද ඉහත කරුණු තහවුරු වී ඇති අතර මෙම ලොරි රථය හා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව එම විමර්ශනයේදි ද අනාවරණය කරගෙන ඇත.

* එමෙන්ම එම විමර්ශනයේ දී මෙම ලොරි රථය 2019.04.05 වන දින නවතා පරීක්‍ෂා කළ ගැළණිගම පොලිස් ඒකකයට අනුයුක්ත ව රාජකාරි කළ නිලධාරින්ගේ ද ප්‍රකාශ සටහන් කර ඇති අතර, එම නිලධාරින් ලබා ගත් ඡායාරූප සහ සීසීටීවි දර්ශන ද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී ඇත.

* විපක්‍ෂනායක තුමා මේ විවාදයේදී සඳහන් කලා ගැලනිගම මුරපොලේ රාජකාරි කරන ලද රත්නකුමාර නිලධාරියා විසින් තොරතුරු පොතේ යොදපු සටහනක් පිළිබදව

* එම නිලධාරියා යොදපු සටහනේ පැහැදිලිව ඔහු සඳහන් කරලා තියෙනවා “ලොරි රථය පරීක්ෂා කලා, මසුන් හැර වෙනත් කිසිවක් නොතිබූ බව“ (එම සටහනේ පිිටපතක් ඇමුණුම 06).

 

Dappula livera 2023.04.19

(9) පාස්කු ප්‍රහාරය පිටුපස මහා කුමන්ත්‍රණයක් යනුවෙන් හිටපු නීතිපති දප්පූල ද ලිවේරා මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධව.

 

* හිටපු නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පාස්කු ප්‍රහාරය පිටුපස මහා කුමන්ත්‍රණයක් තිබෙන බවට ප්‍රකාශයක් කර තිබිණි. ඒ අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳව තවදුරටත් ඔහුගෙන් අනාවරණය කරගත යුතු කරුණු තිබෙන බව පෙනී ගිය බැවින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට අවශ්‍ය විය.

* ඒ අනුව 2023.04.19 ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට ඔහුගේ කාර්යාලයේදී ඔහුට දැනුම් දී ඇත.

* නමුත් එදින ඔහු පෙනී නොසිටි බැවින් නැවත 2023.04.21 වෙන දින පෙනී සිටින ලෙසට දැනුම් දී පණිවිඩයක් ඔහුගේ නිවසේදී භාරදී ඇත.

* එදින ද ඔහු නොපැමිණි බැවින් නැවත 2023.04.24 වන දින පණිවිඩයක් භාරදීමට ඔහුගේ නිවසට නිලධාරීන් ගොස් ඇති අතර ඔහු නිවසේ නොසිටි බැවින් එම පණිවිඩය ඔහුගේ පුද්ගලික දුරකථනය වෙත whatsapp මඟින් යොමු කිරීමට පියවර ගෙන ඇත.

* එලෙස ඔහු සම්බන්ධව විමර්ශන සිදුකිරීම වළක්වන ලෙසට ඒ මහතා විසින් 2023.04.24 දින අභියාචනාධිකරණ අයදුම්පත් අංක 206 / 2023 යටතේ පෙත්සමක් ගොනු කර ඇත.

* එම පෙත්සමට අදාළව අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර, මෙම නඩුව නැවත 2024.05.30 වන දින කැඳවීමට නියමිතව ඇත.

  • මේ අනුව මෙතෙක් ඔහුගේ ප්‍රකාශයක් ලබා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබී නැත.

 

(10) පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෑතක දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කළ ප්‍රකාශය.

                       

 

* පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සම්බන්ධයෙන් තමා සතුව තොරතුරු තිබෙන බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෑතක දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරන ලදී.

* මේ සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සටහන් කරගෙන ඇති අතර එය නීතිපතිතුමා වෙත යොමු කර ඇත.

* තවද මේ පිළිබඳව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩු අංක බී 18967/24 යටතේ කරුණු වාර්තා කර ඇත.

  • මේ අවස්ථාවේදී එම ප්‍රකාශය සම්බන්ධව මා හට මෙම සභාව වෙත දැනුම් දීමට තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මේ රටේ පුරවැසියෙක් පිළිබඳව හෝ මේ රටේ පුරවැසියෙක්ගේ සම්බන්ධතාවයක් පිළිබඳව හෝ ප්‍රකාශ කර නොමැති බවයි. මේ පිළිබඳව විමර්ශන පැවැත්වෙන බැවින් වෙනත් කරුණු ප්‍රකාශ කිරීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැත.

 

(11) සරත් ෆෙන්සේකා මහතා විසින් අදහස් දක්වමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සුරේෂ් සලේ සහරාන් සමග සම්බන්ධතා සැහෙන කාලයක සිට පැවැත්වූ බවටත් තවද ස්වයං ඝාතක සහරාන් නමැත්තාව තොරතුරුකරුවෙක් ලෙස බුද්ධි අංශ සමග කටයුතු කල බවටත් ප්‍රකාශ කලා. ඒ වගේම Channel 4 නාලිකාවට සම්බන්ධවූ අසාත් මවුලානා නමැත්තා විසින් වත්මන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂක සහරාන් සමඟ සම්බන්ධ වී ඇති බවටද ප්‍රකාශ කර ඇත.

 

                    

 

* මම මේ ගරු සභාවට වගකීමෙන් යුතුව කියන්න කැමතියි වත්මන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා පිළිබද මෙතෙක් කරන ලද කිසිදු කොමිසන් වාර්තාවකින් හෝ දේශීය හෝ විදේශීය පරීක්‍ෂණයකට මෙතුමා සහරාන් සමඟ සම්බන්ධ බවට කිසිම වාර්තාවක සඳහන් වෙලා නෑ.

* ඒ වගේම Channel 4 නාලිකාව මගින් එල්ල කරන චෝදනා පිළිබඳව විමර්ශනය කිරීමට කොමිසමක් පත් කර ඇති අතර එම වාර්තාව ඉදිරියේදී නිකුත් කිරීමෙන් පසු එම චෝදනා සත්‍යද නැද්ද යන්න මේ සභාවට දැනගන්න්ට හැකියාව පවතී.

  • මේ පිළිබඳව තවදුරටත් සෑහිමකට පත්වෙන්නේ නැත්නම් මේ පිළිබදව පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරමින් ඉන්නේ නැතිව හෙටම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඇවිත් කරුණු සහිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න කියලා මම දැනුම් දෙනවා. මම පොරොන්දු වෙනවා තරාතිරමක් බලන්නේ නැතිව ක්‍රියාකරන බව.

(12) සහරාන් සමඟ වැඩිම වාර ගණනක් දුරකථන සම්බන්ධතාවයන් පවත්වාගත් පුද්ගලයා බුද්ධි අංශ නිලධාරියෙක් බව FBI මඟින් ලබාදුන් IP Address තුළින් තහවුරු වූ බව වාර්තා වෙනවා කියලා සමාජ ගතවෙලා තියෙනවා.

 

* මේ පිළිබදව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් සිදුකර බී වාර්තාවක් මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත.

* තවද 2019.04.21 ස්වයං ඝාතන මාලාව සිදුකරන ලද සහරාන් නමැති ත්‍රස්තවාදියා සමග දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වූ කිසිම බුද්ධි අංශ නිලධාරියෙකු පිළිබඳව FBI හෝ වෙනත් ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමුඛ විමර්ශන කණ්ඩායම් හෝ ප්‍රහාර සබැඳි විමර්ශන සිදුකල කොමිෂන් සභා විසින් වාර්තා කර නොමැත.

* මෙවැනි අසත්‍ය තොරතුරු තවදුරටත් සමාජගතවීම වැළැක්වීම සඳහා මෙහි පසුබිම පිළිබඳව හා කර ඇති පරීක්‍ෂණයන් පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් මේ ගරු සභාවට කිරීමට මා කැමැත්තෙමි.

* ජාත්‍යන්තර විමර්ශන ඒජන්සියක් මගින් කටාර් රාජ්‍යයේ සිටි මොහොමඩ් සහරාන් පස්රුල් රහුමාන් නමැති ශ්‍රී ලාංකිකයෙකුට සම්බන්ධ සමාජ මාධ්‍ය ගිණුමක් පිළිබඳව 2019.02.11 දින වාර්තා කර ඇත. එම වාර්තාවේ ඉහත සදහන් පුද්ගලයා IS සංවිධානයට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලයක් සමඟ සම්බන්ධ බවට අදාළ තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාව වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ලෝකයේ ඕනෑම බුද්ධි සේවාවක් කටයුතු කරන ආකාරයට සම්මත ප්‍රමිතීන් අනුගමණය කරමින් මෙම පුද්ගලයාගේ පසුබිම හා ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කිරීම සඳහා බුද්ධි මෙහෙයුමක් දියත් කර ඇත.

  • මෙම බුද්ධි මෙහෙයුමේදී අදාළ පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි බවත් IS මතවාදයට නැඹුරුව කටයුතු කරන බවටත් හඳුනාගෙන ඔහුගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තවදුරටත් නිරීක්‍ෂණය කිරීමට අදාළ මෙහෙයුම භාර අංශය කටයුතු කර ඇත. ඒ අනුව ඔහු 2019.04.16 දින මෙරටට පැමිණ ඇත. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු මොහුගේ පසුබිම් වාර්තා අනුව රාජ්‍ය බුද්ධි සේවාව මගින් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධතාවයක් ඇතිද යන්න තවදුරටත් සොයා බලා ඒ අනුව මොහු විසින් ස්වයං ඝාතක සහරාන් සමඟ සම්බන්ධයක් නොපැවැත්වුවද, එම ප්‍රහාරය සම්බන්ධව අන්තර්ජාලයට නිකුත් කර ඇති වීඩියෝ පටය මොහු විසින් කටාර් රාජ්‍යයේ සිටියදී සම්බන්ධතා පැවැත්වූ IS සම්බන්ධිත සමාජ ජාලය වෙත නිකුත් කර ඇත. බුද්ධි ක්‍රියාන්විතයේදී හඳුනාගත් මේ සියළු තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාව විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර ඇත. තවද මොහු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර දැනට ගරු අධිකරණය විසින් මෙම පුද්ගලයා නිදහස් කර ඇත.

 

  • මොහොමඩ් සහරාන් පස්රුල් රහුමාන් සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකල විමර්ශනයට හා කොමිෂන් සභාව සිදුකල විමර්ශනයට බුද්ධි ක්‍රියාන්විතය මෙහෙයවූ නිලධාරියා ඉදිරිපත් කර ප්‍රකාශ ලබාදී ඇති අතර මේ සම්බන්ධව අංක බී 13100/19 යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙසේ තිබියදී මේ පිළිබඳව නිසි අධ්‍යයනයකින් තොරව සත්‍ය විකෘති කර පටු අරමුණු අපේක්‍ෂාවෙන් ජනතාව නොමග යැවීමට ඇතැම් පාර්ශවයන් ගන්නා උත්සාහයන් පිළිකුල් සහගතයි.

 

(13) සොනික් සොනික් බුද්ධි මෙහෙයුම ක්‍රියාත්මක කළ බුද්ධි නිලධාරියා පිළිබඳව විමර්ශනය කිරීමට DIG සම්පත් කුමාර මහතා බාධා කළ බවටත් මෙම සභාවේදී කරුණු ප්‍රකාශ වුණා.

 

කිසිදු බාධා කිරීමක් සිදුවෙලා නෑ. 2019.09.02 දිනැති එවකට අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතාගේ අත්සනින් යුතු ලිපියක් රාජ්‍ය බුද්ධි සේවාව වෙත යොමුකරමින් බුද්ධි මෙහෙයුමට අදාළ බුද්ධි නිලධාරියා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේනුතව වෙත යොමුකරන ලෙස දන්වා ඇත.

* ඒ අනුව 2019.11.01 දින බුද්ධි මෙහෙයුමට අදාළ Samsung Galaxy වර්ගයේ ජංගම දුරකථනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව වෙත අංක 050867 දරණ ලියවිල්ල මඟින් භාරදී ඇත.

* බුද්ධි මෙහෙයුමට අදාළ Telegram ගිණුමේ සියළු දත්තයන් වල උදෘත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර සොනික් සොනික් මෙහෙයුම සම්බන්ධ සියළු කරුණු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර ඇති අතර ජනාධිපති විමර්ශන කොමිසම වෙතද තොරතුරු භාරදී ඇත

 124909036 f62c1390 6691 4171 ae0a 9d868f30663a                                 මොහොමඩ් ඊබ්‍රාහිම් ඔහුගේ පුතු

(14) දෙමටගොඩ පිපිරීම සිදු වූ එම නිවසේ හිමිකරු වන ව්‍යාපාරික මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම් යන අයට මේ වන තෙක් නඩු පැවරීමක් සිදු කර නොමැති බව.

 

* මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම් යන අයට සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉජාස් අහමඩ් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉස්මයිල් අහමඩ් යන තිදෙනාට නීතිපති තුමා විසින් කොළඹ මහාධිකරණයේ නඩු අංක 3072/ 21 යටතේ 2021.10.14 දින නඩු පවරා ඇත. එම නඩුව මේ දක්වා අවස්ථා කිහිපයකදීම මහාධිකරණය ඉදිරියේ කැඳවා ඇති අතර 2024.07.16 සහ 18 දින වල විභාගයට නියමිත ව ඇත.

 

(15) ෂ්‍රැංගිලා හෝටලයේ සහරාන් නැවතී සිටි කාමරයේ 2019.04.20 දිනට පෙර සිටි අය කවුද? එම හෝටලයේ සහරාන් නැවතී සිටි කාමරයට ආසන්න 623 කාමරයේ සිටි අය කවුද?

 

* සහරාන් නැවතී සිටි 616 කාමරයේ 2019.04.20 දිනට පෙර නැවතී සිටි අය සම්බන්ධයෙන් විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ 2019.04.13 වන දිනෙන් පසුව කිසිවෙකුත් මෙම කාමරයේ නවාතැන් ගෙන නොසිටි බවයි.

* එම හෝටලයේ 623 කාමරයේ පුද්ගලයන් දෙදෙනෙකු නවාතැන් ගෙන සිට ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් හා මෙම කාමර වල සිටි පුද්ගලයන් පිළිබද ව විමර්ශන සිදු කර ඇති අතර ඔවුන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් බවට අනාවරණය වී නොමැත.

(චතුරංග මේදිස්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්