ගොඩ කෙවුලන්ගේ ජීවන පවත සොයා යා යුත්තේය.
ඒ සොයා යාම ලංකා ඓතිහාසික පරිපථයේ ඇතුල් දොර හරින්නට ඇති කදිම කථාවකි. දුටුගැමුණු මහ නිරිඳුගේ අයියා වූ දීඝාභය කුමරුවන්ගේ ජිවන ලලාසාවන් මැද ගොඩ කෙවුලන් ස්ථානගතවද සිටී.එමෙන්ම දීඝාභය කුමරුගේ මව් පාර්ශවය හා ගොඩ කෙවුලන් අතර ඇති බැඳීම ජාන ගත බැඳීමක් බවද ඇතුලේ විත්ති පතුලේ තබා කියවීමේදී හමුවේ.
දීඝාභය කුමරුගේ ජීවන අන්දරය ගැන කිසිම කථාබහක් ඇති නොවීම ඓතිහාසික අයුක්තියකි.
දීඝාභය කුමරුගේ ජීවන අන්දරය ගැන කිසිම කථාබහක් ඇති නොවීම ඓතිහාසික අයුක්තියකි. එම අයුක්තිය ඉවත් කර ගැනීමට දරන වෑයම සඳහා එය වටිනා පිවිසුමකි. දුටුගැමුණු කුමරුගේ ජීවිතය මෙතරම් දිගු පරාසයකට කැඳවාගත් ලාංකික සමාජය තුල නිල ලේඛණ වල තබා ඇති ඔහුගේ අයියා නිල ලේඛණ වලම හිර කර තැබුවේ මන්ද. ඒ විමතිය මැදින් ගොඩ කෙවුලන්ට ගොඩවෙමි.
කණ්ඩුල මත නැගී වීර වික්‍රමාන්විත වූ දුටු ගැමුණුගේ යුධ අභිමන්හි උදාරකම ගැන කතිතා ඇති තරම්ය.
ගොඩ කෙවුල් "කුණ්ඩල" විසින් කණ්ඩුල ඇත්පැටවා සොයා ගත් පුවත කණ තබන්නේ දීඝාභය කුමරු හිරිමල් සමයේදීමය. එවිට ළදරු දුටු ගැමුණු කුමරු වෙහෙර මහදේවියගේ උකුලේ නැලවෙන දැරුවෙකි. කණ්ඩුල මත නැගී වීර වික්‍රමාන්විත වූ දුටු ගැමුණුගේ යුධ අභිමන්හි උදාරකම ගැන කතිතා ඇති තරම්ය. ඒත් ගොඩ කෙවුලා කුණ්ඩල,කණ්ඩුල සිටියදීම අමතකය.
ඒ වගේම ගොඩ කෙවුල් කුණ්ඩල සොයා ගෙනවිත් දුන් ඒ අපූරු ඇත් පැටවා තම මල්ලීට උරුම කළ අයියා දීඝාභය ගැන වදනක් මතකයේ නැත. මේ මතක නැතිවීම ප්‍රශ්ණ කළද ලාංකික ඉතිහාසගාරයට එය ගානක්වත් නැත. ලංකාවේ ඉතිහාසය ජාතිවාදයේ බහා වර්ගවාදය තවරා ශාස්ත්‍රාලීය පණ්ඩිතමානීන්ගේ වදන් වලින් එළියට ගෙන පෙළ පොත් වලට හා කටකතාවට ගෙන ඒමෙන් තහවුරුවන පුදුම ඉතිහාසයකි.
පුදුමය වන්නේ මෙතරම් ඉතිහාස ගවේෂණ හා ශාස්ත්‍රීය අධ්‍යාපන ආයතන සපිරි ලංකා සරසවි වල කිසිවෙකුට "කුණ්ඩල" තබා "දීඝාභයවත්" අසු නොවීය. මේ පෙන්වන්නේ ලංකාවේ ශාස්ත්‍රීය පටු බවද. නොවේ නම් බුද්ධීමය දිළිඳු බවද. නොමැති නම් වර්ගවාදී හැසිරීමද. ශාස්ත්‍රීය කම්මැලිකමද. ඒ ගැන කතා කොට පලක් නැත. සොයා යා යුත්තේ කෙවුල් කතාවෙන් කුණ්ඩලටය. එතනින් කණ්ඩුලටය. කණ්ඩුලගෙන් දීඝාභයටද දිඝාභයගෙන් දුටුගැමුණුත් දක්වා පැමිණීමය. ඒ පැමිණම ඇවිත් නතර වන්නේ "මහා පබ්බත" ලඟය.
මහා පබ්බත තරම් වීර්යවන්ත සද්ධන්ත ඇතෙකු සිරිලක එකල නොවීය.
කවුද මේ "මහා පබ්බත". එළාර රජු මතක් වෙද්දී දුටුගැමුණු රජුද මතකය. දුටු ගැමුණු රජු මතක් වන්නේ කණ්ඩුල ඇතුද මතකයට එක් වෙමින්ය. ඒත් "මහා පබ්බත" මතක නැත. කණ්ඩුල පරිච්ඡේදය එන්නට පෙර ලක් වැසියන් දුටු මහා ගාම්භීරයා මහා පබ්බතය. එසේ නම් මහා පබ්බත අමතක වන්නේ කොහොමද. එළාර රජුගේ මහා ශක්තිය මහා පබ්බතය. මහා පබ්බත තරම් වීර්යවන්ත සද්ධන්ත ඇතෙකු සිරිලක එකල නොවීය. එළාර රජුගෙන් රාජ්‍ය බලය ලබා ගැනීමට ඔහු පරයන්නට රාජ්‍ය නායකයෙක් සොයා ගන්නවා වගේම අභියෝගයක් විය.
එනම් "මහා පබ්බත" පරදවාලීමට සමත් මහා සද්දන්තයෙකු සොයා ගැනීමය. එම නිසා බොහෝ අය නොදන්නවා වූවාට ලංකාවේ තිබුණේ සිංහල දමිළ ගැටුමක් නොවේ. එළාර රජුට අවනතව ඔහුගෙන් අවුලක් නොවී ලංකාවම 44 වසරක් දිවි ගෙව්වාය. ඔහු එළාර රජු වගේම මහා පබ්බත ඇත් රජු ඉදිරිපිට දණ නමැද සිටියේ ඒ බලය පිළිගත් නිසාය. සුදුස්සා නැති විට නුසුදුස්සා රජ කරවීම කෙතරම් හානිකර දැයි එදා ලක්වාසීන් අවබෝධ කර ගන්නට ඇත. එබැවින් ඉන්නා සුදුස්සාවු එළාර රජුට අභියෝග නොකර සිටීමේ පිළිවෙත ආදි ලාංකිකයාගේ දේශපාලන පරිනත බවකි. එය මහා පබ්බතගේ වික්‍රමාන්විත ගජසෙන් පැවැත්ම සමඟද බැදී තිබුණි. මහා පබ්බත ලගින් තබන්න පුළුවන් ඇතෙකුද සිරිලක නැති කළ සුදුස්සාට ඉන්නට දී ඇත් රජුට දණ නමා යෑම හොඳම පිළිවෙතය. ඉතින් ලංකාව එසේ සුරැකී තිබුණි. එකම අවුල ලක් කිරුළ ලක්බිම උපන් අයෙකු නොදැරීම පමණි.
"මහා පබ්බත" විසින් ඇති කල හිඩැස ලංකාවේ දේශපාලන හිඩැසක් නිර්මාණය කල බැව් දන්නෝ විරලය.
මේ වතාවරණය අනුව "මහා පබ්බත" විසින් ඇති කල හිඩැස ලංකාවේ දේශපාලන හිඩැසක් නිර්මාණය කල බැව් දන්නෝ විරලය. එය අද දක්වා දුටු ගැමුණු - එළාර පරිච්ඡේදය වටහා ගන්නට උවමනා සිහි නුවණ අහිමි කල කථාවකි. ඉතින් මේ නිසා කෙවුල් වංශය, කුණ්ඩල, දීඝාභය සහ මහා පබ්බතගේ සිට තවත් බොහෝ තීරක චරිත අතහැර මෙම යුගය අධිනිගමනය කරගෙන ඇත්තේ විකෘති කොට ගෙනය. ඉතින් ඒ නිසාම මේ විකෘති වූ ඉතිහාස පුවත නිසා මහා වීරයන් ලෙස එළාර දුටුගැමුණු දෙපළ හදුනා ගත්තේ ආවේග අවුළුවාගෙනය. ඇත්ත තතු සඟවාගෙන ආවේග වලින් විකෘති කොට ගත් යුගයක් සේ මෙම යුගය මතුවිය.
ඉතිහාසයේ පෙනෙන්නේම කඩුවය, පළිහය,හෙල්ලය, ඊතලය, දුන්නය,යගදාවය,යුද්ධයය,ලේය.
ඒ නිසා බොහෝ අයට දුටු ගැමුණු වීරයාය. එළාර ද්‍රෝහියාය. නොවේනම් එළාර වීරයාය දුටු ගැමුණු ද්‍රෝහියාය. මේ විකෘති ලුහුඩුව නිසා සිංහලයාගේ ඉතිහාස දේශපාලන ඥාණය ලුහුඩු වී ගොස්ය. ලක් පොළවේ දෙමළාටද එය එසේමය. ලුහුඩු කොට ගත් ඉතිහාසය දෙගොල්ලන්ගේම ඥාණය විකෘති කොට ඇත්තේය. සිංහල දෙමළ දෙගොල්ලන්ගේ භාව ඥාණ ප්‍රඥා කලාපය දියවී ගොස්ය. භාව ඥාණ ප්‍රඥාවේ කලාපය පිරිපුන් ජීවිත ඉතිහාසයෙන් නොපෙනේ. ඉතිහාසයේ පෙනෙන්නේම කඩුවය, පළිහය, හෙල්ලය, ඊතලය, දුන්නය, යගදාවය, යුද්ධයය, ලේය.
මහා පබ්බත මතටද ලංකා ඉතිහාස කතිකාව නංවා ගත යුත්තේ ඒකය. මම මෙසේ කීවේ එළාර දුටුගැමුණු පුවත ඔබ බලා ඇත්තේ කණ්ඩුල ඇතු මතට නැගී පමණක් නිසාමය. දැන් මහා පබ්බත මත ද නැගී ඒ දිශාවෙන්ද ඉතිහාසය බලන්න. අපි දෙගොලෝ දෙපැත්තක නැති බව පෙනේවි.
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම








