The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හඩනගන සුළුතරය සහ නිශ්ශබ්ද බහුතරය -ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ

T

The Leader Desk

July 23, 2021 • 5:02 PM

හඩනගන සුළුතරය සහ නිශ්ශබ්ද බහුතරය -ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ලිපිය "ගෝඨාභය ආගමනය සහ අසාර්ථක වීම පිටුපස නිර්ප්‍රභූන්" මැයෙන් වූ පසුගිය ලිපිය හා සම්බන්ධ වෙයි.
  •   1992 වසරේදී කොළඹ මහජන පුස්තකාලයේ පැවති දයා පතිරණ සැමරුම් දේශනය කළ මෙරට සිටින ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රඥයෙකු වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම නිර්ප්‍රභූන් පිළිබඳව කළ සඳහනක් කෙරෙහි මේ මොහොතේ අවධානය යොමු කිරීම වැදගත්ය.
  • ඒවා තුල මධ්‍යම පන්තියේ විරෝධතාවල දක්නට ලැබෙන තාර්කිකත්වය හෝ විද්‍යාත්මක බව දක්නට නොලැබුණි.
  • ඔවුන් එය දකින්නේ විකාරයක් ලෙසින් බවට මහාචාර්ය අර්ජුන පරාක්‍රම තර්ක කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
  
මා පසුගිය ලිපියෙන් සමස්තයක් වශයෙන් පෙන්වා දීමට උත්සාහ කළේ මෙරට නිශ්ශබ්ද බහුතරය වන නිර්ප්‍රභූන්ගේ සක්‍රීය දේශපාලන සහභාගිත්වයක් නොමැතිවීමෙන් බලයට පත්වෙන ආණ්ඩු විසින් ප්‍රභූ සහ මධ්‍යම පන්තික උවමනාවන්ට ඉඩ සලසාදීම රට ගොඩනැගීමේ ක්‍රියාවලියට අහිතකර ලෙස බලපා ඇති බවය.
 
කොළඹ කේන්ද්‍රීය මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද ඇසෙන්නෙ ප්‍රභූ සහ මධ්‍යම පාන්තිකයන්ගේ හඬය. ඔවුන්ගේ උවමනාවන් පමණක් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් වේ. 
 
නිශ්ශබ්ද බහුතරයේ හඬට කලාතුරකින් අවස්ථාව ලැබුණ ද එය භාවිත වන්නේ කොළඹ කේන්ද්‍රීය මාධ්‍යන්ගේ සහ සමාජ මාධ්‍යන්ගේ අන්තර්ගතය සැරසීමට හෝ ඒවායේ කටගැස්මක් ලෙසය. 
 
නිර්ප්‍රභූන්ගේ යථාර්තයන් සහ ජීවන අරගලය මාධ්‍යකරුවන් ගේ කැමරාවට හසු වන්නේ නැත.
 
ARJUNA PROF1992 වසරේදී කොළඹ මහජන පුස්තකාලයේ පැවති දයා පතිරණ සැමරුම් දේශනය කළ මෙරට සිටින ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රඥයෙකු වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම නිර්ප්‍රභූන් පිළිබඳව කළ සඳහනක් කෙරෙහි මේ මොහොතේ අවධානය යොමු කිරීම වැදගත්ය.
 
මහාචාර්ය අර්ජුන පරාක්‍රම ට අනුව නිර්ප්‍රභූන්ට, ප්‍රභූ සහ මධ්‍යම පංතිය තුළ සිදුවන කතිකාවන් නොතේරේ. ඒවා ඔවුන්ට වලංගු නොවේ. නිර්ප්‍රභූන් විරෝධය පළ කරන ආකාරය වෙනස්ය (Kathika.World Press.Com). ඒවා තුල මධ්‍යම පන්තියේ විරෝධතාවල දක්නට ලැබෙන තාර්කිකත්වය හෝ විද්‍යාත්මක බව දක්නට නොලැබුණි.
 
 නිර්ප්‍රභූන්ගේ විරෝධතා විසින් පාලකයින්ගේ තීරණ, ප්‍රතිපත්ති අවුල් සහගත තත්ත්වයකට පත් කර එය දියාරු කරයි. එහෙත් නිර්ප්‍රභූන් දක්වන විරෝධය පාලක පන්තියට තේරුම්ගත නොහැක. ඔවුන් එය දකින්නේ විකාරයක් ලෙසින් බවට මහාචාර්ය අර්ජුන පරාක්‍රම තර්ක කරයි.
 
  
 මේ මොහොතේ සමාජ මාධ්‍ය සහ Zoom හරහා සිදුවන කතිකාවල මාතෘකාවල  ප්‍රධාන පාර්ශවකරුවන් වන නිර්ප්‍රභූන්ගේ සහභාගීත්වයක් ඒ කතිකා සඳහා නොමැත. ඒ කතිකා තුළ ඔවුන්ගේ හඬට ඉඩක් නැත.  එම කතිකාවට සහභාගි වන්නේ ප්‍රභූ හා මධ්‍යම පන්තිය නියෝජනය කරන විශේෂඥයින් සහ සිවිල් ක්‍රියාකාරකයින්ය. 
  
ඔවුන් විසින් නිර්ප්‍රභූ ගොවියාගේ, ධීවරයාගේ, කම්කරුවාගේ “ප්‍රශ්නය මෙය යැයි” ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව අර්ථකථනය කරගනිමින් මෙම කතිකා පවත්වයි. එමගින් සිදු වන්නේ මෙරට බහුතරයක් වන නිර්ප්‍රභූ ජනයාගේ සැබෑ ජීවන ගැටලු සහ යථාර්තයන් යටපත් වීමයි.
 
 
 
ඇසෙන හඬ කාගේද? කවුරුන් වෙනුවෙන්ද?
 
Protest
කොළඹ කේන්ද්‍රීය ඇතැම් මාධ්‍ය සහ සමාජීය මාධ්‍ය පරිහරණය කරන විට උද්ඝෝෂණ රැල්ලකින් රට උණුසුම් වී තිබෙන බවක් පෙනේ.
 
  
ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය වන්නේ ප්‍රතිපත්ති තීරණය කිරීමේදී රටේ සියලුම  පුරවැසියන්ගේ උවමනාවන් සහ කැමැත්තට ඉඩ ප්‍රස්ථාව  විවර කර තිබීමයි. ඒ සඳහා රටේ සියලූ පුරවැසියන්ට සමාන අවස්ථාවක් ලබාදී තිබීමයි. 
 
මෙය රොබට් ඩන්ල්  විසින් මෙසේ පැහැදිලි කරයි:
 
 “සියලුම මිනිසුන්ට සමාන සහ සහජ වටිනාකමක් ඇත. ඒ නිසාම එක් එක් පුද්ගලයාගේ යහපත සහ අවශ්‍යතා පිළිබඳව  එක හා සමාන සැලකිල්ලක් දැක්විය යුතුය”.
 
 
 මේ මොහොතේ කොළඹ කේන්ද්‍රීය ඇතැම් මාධ්‍ය සහ සමාජීය මාධ්‍ය පරිහරණය කරන විට උද්ඝෝෂණ රැල්ලකින් රට උණුසුම් වී තිබෙන බවක් පෙනේ.
 
 එම උද්ඝෝෂණවල ඇසෙන්නෙ කාගේ දේශපාලන හඬ ද? රටේ සියලුම පුරවැසියන්ට තම දේශපාලන හඬ නැංවීමට මේ මොහොතෙහි සමාන අවස්ථාවක් තිබේද? ඉහළ සක්‍රිය දේශපාලන සහභාගීත්වය සඳහා නිශ්ශබ්ද බහුතරය වන ආන්තික, ග්‍රාමීය සහ අර්ධ නාගරික නිර්ප්‍රභූ ජනයාට මේ මොහොතේ අවස්ථාවක් තිබේද? යන ප්‍රශ්න මෙම ලිපිය මගින් සාකච්ඡා කෙරේ. 
 
ආණ්ඩුව සහ නිලධාරීන් තමන් ගනු ලබන තීරණ සහ සම්පාදනය කරනු ලබන  ප්‍රතිපත්ති පිළිබඳව මහජනතාවට  වග වන  තත්වයකට පත් කිරීමට නම් රටේ සමස්ත පුරවැසියන්ට  නිදහසේ තම දේශපාලන හඬ නගන්නට තම අත්දැකීම්, අවශ්‍යතා සහ ප්‍රමුඛතා සන්නිවේදනය කිරීමට අවස්ථාව තිබිය යුතුය.
 
 පුරවැසියන්ට තනි තනිව ද, අන් අය සමඟ ද, සංවිධාන වශයෙන් ද ක්‍රියාත්මක වීමට නිදහස සහ අවස්ථාව තිබිය යුතුය.
 
 රටේ පුරවැසියන්ට තනිව, කණ්ඩායම් වශයෙන් හෝ සංවිධානයක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් රටේ ප්‍රතිපත්ති තීරණය කිරීම කෙරෙහි බලපෑම් කිරීමට සහ මැදිහත් වීමට අවස්ථාව තිබීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ලක්ෂණයකි.
 
 මේ සඳහා ජනතාව විසින් සාම්ප්‍රදායිකක ක්‍රම මෙන්ම විරෝධතා උපායමාර්ග ද භාවිතා කරයි.
 
එහෙත් ගැටලුව වන්නේ මේ මොහොතේ මෙරට ඇතැම් මාධ්‍යවලින් සහ සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන විරෝධතා සහ උද්ඝෝෂණ තුළ මෙරට නිශ්ශබ්ද බහුතරයේ හඬ, අවශ්‍යතා සහ ප්‍රමුඛතා ප්‍රකාශයට පත්වන්නේ ද යන්නයි.
  
 මෙම විරෝධතා සහ උද්ඝෝෂණ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බලපෑම් කණ්ඩායම්, ශිෂ්‍ය සංගම්, වෘත්තීයවේදීන්ගේ සංවිධාන, උනන්දුව දක්වන දක්වන කණ්ඩායම් සහ රාජ්‍ය නොවන සංවිධානවල නායකත්වය සහ මෙහෙයවීම යටතේ සිදුවන බව පෙනේ.
 
 පුද්ගලයෙක් තනිව හඬ නගනවාට වඩා කණ්ඩායමක් හෝ සංවිධානයක් ලෙස හඬ නගන විට ඒ හඬ වඩා උස්ව ඇසෙන අතර ප්‍රතිපත්ති තීරකයින් සහ නිලධාරීන් මෙම හඬවලට ඇහුම්කම් දෙනු දක්නට ලැබේ.
 
 ඉහත සඳහන් කළ උද්ඝෝෂණ සංවිධානය කරන්නන්ගේ බහුතරය පොදුවේ සිවිල් සමාජය වශයෙන් හැඳින්විය හැකිය. රටේ ප්‍රතිපත්ති තීරකයින්, පාලකයින්, නිලධාරීන් සහ පුරවැසියා අතර පාලමක් ලෙස සිවිල් සමාජය ක්‍රියා කරන බව පවසනු ලැබේ.
 
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් පවසන්නේ තමන් පුරවැසි උවමනාවන් සහ උනනන්දුවක් දක්වන දේ ප්‍රකාශයට පත් කරන බවයි. ඒ වෙනුවෙන් පුරවැසියන්ගේ දේශපාලන සහභාගිත්වය සහ මැදිහත්වීම් ඉහළ නංවන බවයි.
 
 එහෙත් මෙම වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය තුළ එහි සාමාජිකයින්ගෙන් සැබෑ උවමනාවන් ප්‍රකාශයට පත් වේද?  සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වය තුළ රටේ සමස්ත පුරවැසියන්ගේ උවමනාවන් සහ යථාර්තයන් නියෝජනය වේද? ආදි ප්‍රශ්න මෙහිදී මතුවේ.
 
සිවිල් සමාජය යනු දේශපාලන ව්‍යාපෘතියකි.  සිවිල් සමාජ සංවිධාන වලට ඔවුන්ගේ ම දේශපාලන න්‍යාය පත්‍රයක් තිබේ. මෙම න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම සඳහා තම සාමාජිකත්වය පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා තම සංවිධානයෙන් බැහැර වූ සෙසු සමාජ කොටස්වල  සහයෝගය අවශ්‍ය වේ.
  
 ඒ අනුව පුරවැසි සමාජයේ ගැටලුවක් තම ගැටලුවක් බවට පත්කර ඊට නායකත්වය දීම සිවිල් සමාජය විසින් සිදුකරනු ලබයි. එය වෘත්තිය සමිති අරගලයක් නම් සටන ජයග්‍රහණය කිරීමෙන් ප්‍රතිලාභ හිමිවන්නේ සමස්ත සමාජයට නොව එම සංවිධානයේ සාමාජිකයන්ට පමනි.
 
 දේශපාලන පක්ෂ විසින් මහජන අරගලවලට නායකත්වය දීමේ යටි අරමුණ වන්නේ  තම පක්ෂ සාමාජිකත්වය පුළුල් කර ගැනීම සහ ආණ්ඩු බලය ලබා ලබාගැනීමයි.
 
මෙම උද්ඝෝෂණවලදී හඬ උස්ව ඇසෙන්නෙ නිශ්ශබ්ද බහුතරයේ නොව ඒවාට නායකත්වය දෙන ප්‍රභූ සහ මධ්‍යම පන්තික නායකයින්ගේ ය.
 
සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ නායකයින් විසින් තම සාමාජිකත්වය මත මෙන්ම තමන් විසින් සංවිධානය කරනු ලබන විරෝධතා සහ උද්ඝෝෂණ සඳහා සහභාගි වන ජනයා මත ද ආධිපත්‍යය පවත්වා ගෙන යනු ලබයි.  
 
මෙම උද්ඝෝෂණ මෙහෙයවන සංවිධාන එහි සාමාජිකයන්ගේ උවමනාවන් සහ ගැටළුවට මැදි වූ ජන කණ්ඩායම්වල අවශ්‍යතාවන් සහ යථාර්තයන් නියෝජනය කරන්නේ ද යන්න ගැටලුවකි.
 
නිදසුන් වශයෙන් වෘත්තිය සමිතියක හෝ සිවිල් සංවිධානයක තීරණ ගනු ලබන්නේ එහි සමස්ත සාමාජිකත්වය හෝ රටේ පුරවැසියන් විසින් නොවේ. එම සංවිධාන වල තීරණ ගනු ලබන්නේ එම සංවිධානයේ නිලධාරි මණ්ඩලය හෝ අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.
  
 නිලධාරි මණ්ඩලය හෝ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ සිටින සියලු දෙනාට ද සක්‍රිය ලෙස තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වීමට අවස්ථාව නොලැබේ. සංවිධානයේ නායකයා හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා සහ ඔහුගේ සමීප හිතවතුන් කිහිප දෙනෙක් විසින් කලින් ගනු ලැබූ තීරණයට නිල පිළිගැනීමක්, සුජාතභාවයක් ලබාදීම පමණක් නිලධාරි මණ්ඩල සහ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී සිදු වේ.
 
 එම රැස්වීම්වලට පෙර නායකයා විසින් නිලධාරි මන්ඩලයේ සාමාජිකයන් අතර එම තීරණයට සහාය ලබා ගැනීම සඳහා පූර්ව ‍ප්‍රචාරක කටයුතුවල නියැළීම (Lobbying) ද බහුලව සිදුවේ.  
 
වෘත්තිය සමිති සහ සිවිල් සංවිධානවල මෙන්ම බලපෑම් කණ්ඩායම්වල ද සාමාජිකත්වය ලබා දීම, මූල්‍ය පරිපාලනය, තීරණ ගැනීම, සහ නිලධාරි මණ්ඩලය පත් කිරීමද රහසිගත ක්‍රියාවලියකි.
 
එම සංවිධාන විසින් ආණ්ඩුවේ වගවීම සහ විවෘතභාවය අවධාරණය කළ ද ඔවුන්ගේ සංවිධාන තුළ විවෘත භාවයක් හෝ වගවීමක් නොමැත.
 
56456
 
 ඒ අනුව මහජන විරෝධතා සහ උද්ඝෝෂණ ලෙස අපි දකින දේ පිටුපස ඇත්තේ ඒවා සංවිධානය කරනු ලබන ඒවාට නායකත්වය දෙන නායකයින්ගේ උවමනාවන් සහ අවශ්‍යතා මිස ඒවායේ සාමාජිකයින්ගේ සහ එම ගැටළුවට මැදි වූවන් ගේ උවමනාවන් අවශ්‍යතා හෝ ප්‍රමුඛතා නොවේ.
 
 මෙම උද්ඝෝෂණවලට සහභාගී වන බහුතරයට තමන් සහභාගිවන ක්‍රියාකාරකම් තුළ තමන්ගේ ගැටලුව නියෝජනය වන්නේ ද යන්න පිළිබඳ වැටහීමක් ද නොමැත. සංවිධායකයන් විසින් ලියා දෙන පෝස්ටර් අල්ලාගෙන සිටීම සහ සංවිධායකයින් විසින් හඬනගා කියන දේ ගිරවු මෙන් ප්‍රතිරාව නැංවීම සක්‍රීය දේශපාලන සහභාගීත්වයක් නොවේ.
 
තනි පුද්ගලයෙක් හඬ නගද්දී ඔහු කියන පණිවිඩය නියෝජනය කරන්නේ කවුද යන්න පැහැදිලිය. එහෙත් සංවිධානයක් හඬ නගද්දී එම සංවිධානය නියෝජනය කරන්නේ කවුද? කාගේ වුවමනාවන් ද යන්න සංකීර්ණය.
 
මෙම උද්ඝෝෂණවලට නායකත්වය දෙන බහුතරයකගේ හඬ තුළ ප්‍රභූ සහ මධ්‍යම පාන්තික උච්චාරණයක් දක්නට ලැබේ.  එය නිශ්ශබ්ද බහුතරයේ හඬ නොවේ.
 
 
උස් හඬින් හඬ ඇසෙන සුළුතරය එම හඬ නගන්නේ කවුරුන් වෙනුවෙන්ද? ඔවුන් නිශ්ශබ්දව සිටින්නේ කවුරුන් වෙනුවෙන්ද? යන ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරුවල ගුප්ත බව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආශ්‍රිතව පවතින එක් ගැටලුවකි.
 
 
 මෙවැනි මහජන උද්ඝෝෂණ වල දී පවා නායකත්වයේ සිටින සුළුතරයේ හඬ වඩාත් පැහැදිලිව ඇසෙද්දී නිශ්ශබ්ද බහුතරයේ හඬ යටපත් වීම තවත් ගැටලුවකි.
 
 මේ ආකාරයට මෙරට දේශපාලන හඬවල අසමානතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ හරයන් මෙන්ම මෙරට නිශ්ශබ්ද බහුතරයේ  සමාජීය, දේශපාලන, ආර්ථික  ගැටළුවල අඳුරු, ගැඹුරු සංකීර්ණතා ප්‍රකාශයට පත්වීම ද වළක්වා ඇත.
 
 
Pradeep N(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය.
 
 
 
 
සබැඳි ලිපිය :
 

 

 


 

THE LEADER TV 
 
 
 
හංසමාලට දුන්න පෙට්‍ර්ල් ෂෙඩ් එක!
 
 
 
තලතාට මහින්දානන්ද කළේ ලිංගික අතවරයක් !
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...