‘‘අයියෝ... මෝඩ ප්‍රශ්න අහන්නෙපා... හෙල්මට් එකක් නැත්නං මං එහෙම අහනව ද...?’’
ප්‍රතිෂ්ඨ එම වදන් මුදා හළේ උපහාසය ද ආදරණීය බව ද මුසු සිතුවමක් උවනතේ සිතුවම් කරගනිමිනි.
‘‘හරි... එහෙනං මාව කොට්ටාවට දාන්න. මං එතනිං බස් එකක් ගන්නං,’’ යැයි ඇය පැවසූ පසු ඊට පිළිවදන් ලෙස සුන්දර සිනහවක් උවනේ සිතුවම් කරගත් ප්‍රතිෂ්ඨ වාහනාංගනය කරා ගමන් කළේ ය; ඇය ද ප්‍රතිෂ්ට පසුපස ම ඇදුණා ය.
* * * * * * * * *
මිනිත්තු දහයක් ඉක්ම යන්නට මත්තෙන් ප්‍රතිෂ්ඨ සචේතනී සමග කොට්ටාව බස් නැවතුම්පොළට ළඟා විය. සචේතනී යතුරු පැදියෙන් බැස, ඇය පැලඳගෙන ආ හිස් ආවරණය ගලවා ප්‍රතිෂ්ඨ වෙත බාර දෙන මොහොතේ ඇගේ උවනතේ සිතුවම් වී තිබුණේ මන්දස්මිතයත්, මඳ පරිදේවත භාවයත් පිළිබිඹු වන සිතුවමකි. ප්‍රතිෂ්ඨ ඒ සිතුවම කියවාගත්තේ වෙනත් ආකාරයකිනි.
‘‘ඇයි... මං ඔයාව මත්තෙගොඩට ම ගෙනිහින් දාන්න ද...?’’
ප්‍රතිෂ්ඨ එසේ විමසුවේ ඇගේ සතුට වෙනුවෙන් ම මිස අන් හැඟීමකින් නොවේ. ඇය එසේ බලාපොරොත්තු වනු ඇතැයි ඔහු විශ්වාස කළ බැවිනි. එමෙන් ම ඇය ප්‍රතිෂ්ඨගේ යෝජනාව ප්‍රතික්ෂේප නොකරනු ඇතැයි ද ඔහු විශ්වාස කළේ ය.
‘‘අනේ එපා ප්‍රතිෂ්ඨ... විනාඩි දහයෙන් පහළොවෙන් බස් තියෙනව නෙ. ඔයා යන්න. ඔයාටත් මහන්සි ඇති නෙ...’’
ඇගේ වදන් කරුණා භරිත ය; ආදරණීය ය. ප්‍රතිෂ්ඨගේ සිත තුළ කෙතරම් බලාපොරොත්තු රඳවාගෙන සිටිය ද ඒ වදන්වලට පිටුපෑමේ ශක්තියක් ඔහු තුළ නොතිබිණ; ඔහු ඇයට, ඇගේ අදහසට අවනත විය.
‘‘හරි... එහෙනං මං යන්නං... ගෙදර ගිහිං කෝල් එකක් දෙනව නේ ද...’’
ප්‍රතිෂ්ඨ විමසුවේ පෙම්වතියගෙන් සමුගන්නා මොහොතක පෙම්වතා විමසන ලෙසිනි.
‘‘හරි... මං කෝල් එකක් දෙන්නං. කොහොමටත් මට කලින් ඔයා ගෙදර යයි නෙ... ඔයාට කෝල් කරන්න අපහසු නං මැසේජ් එකක් තියන්න. හරි... එහෙනං දැං ඔයා යන්න. මේ... සමහර විට මං අඳුරන අයත් මේ වටපිටේ ඉන්න පුළුවන් නෙ...’’
ඇගේ අවසන් වදන් කිහිපය පිළිබඳ ප්‍රතිෂ්ඨගේ හදවතට ගෙන ආවේ පශ්චාත්තාපයකි. ඒ, අන් කිසිවක් නිසා නොව ඔහු දුර දිග නොබලා කටයුතු කිරීම හේතුවෙන් ඇගේ ආත්ම ගරුත්වයට හානියක් සිදු වුණා ද යන පසු තැවිල්ලෙනි. ගැහැනියක පිරිමියකු සමග යතුරු පැදියක ගමන් කිරීම, යතුරු පැදියකින් බස් රථ නැවතුම් පොළට පැමිණීම යනාදි දර්ශන බාහිර සමාජයේ නොයෙක් කතා බහට ලක්වෙන සිදුවීම් නොවේදැයි ඔහුට හැඟිණ. එහෙත් එබඳු හැඟීමක සේයාවක් හෝ උවනෙන් පිළිබිඹු නොකළ ඔහු ඇයට සමුදුන්නේ ය; ඇය ද ඔහුට සමු දුන්නා ය. දෙදෙනා ම දෙදෙනා කෙරෙහි අමනාපයක්, හිත් රිදවීමක් නොමැති බව ඒ සමුගැනීම තුළින් පිළිබිඹු විය.
* * * * * * * * *
‘ඇත්තට ම ඇයි මං පන්සලේ දි ප්‍රතිෂ්ඨ මගේ හස්බන්ඩ් කියල හාමුදුරුවන්ට කිව්වෙ...? ප්‍රතිෂ්ඨ ගැන මගේ හිතේ තිබුණ සැකයට එකටෙක කිරීමක් විදියට ද, එහෙමත් නැත්නං... ඇත්තට ම හාමුදුරුවන්ගෙ අතුරු ප්‍රශ්නවලින් මිදෙන්න හිතාගෙන ද...? මං එහෙම කියපු එක ගැන ඇත්තට ම එයා මොනව හිතනව ඇති ද...? නෑ... ඇත්තට ම මං එහෙම කිව්වෙ හාමුදුරුවන්ගෙ අතුරු ප්‍රශ්නවලට කෙටි සහ එකම උත්තරයක් විදියට තමයි. ඒ වගේ ම ප්‍රතිෂ්ඨත් ත්‍රීවිල් එකේදි එහෙම හැසිරෙන්න ඇත්තෙත් ත්‍රීවිල්කාරය අහයි කියල හිතපු ප්‍රශ්නවලට කෙටි උත්තරයක් විදියට වෙන්න ඇති නෙ... ඒක එයා මට කිව්ව නෙ... මමත් එහෙම කරේ ඇයි කියන එක එයාට පැහැදිලි කරා නෙ... කොහොම උනත් ආයෙ ආයෙ මේ ගැන හිතන්න හරි කතා කරන්න හරි නොයන එක ම තමයි හොඳ. මොකද එයා මට උදවු කරන්නෙ එයාගෙ කැමැත්තෙන් නෙ... මටත් මේ වැඩේ කරගන්න තියෙන්නෙ එයාගෙ මාර්ගෙන් විතරයි නෙ... කොහොම වුනත් නෙක්සට් සැටඩේ වෙද්දි මේ වැඩේ ඉරයි නෙ... ඒත්... ඊට පස්සෙ...? ඊට පස්සෙ මං එයාව අමතක කරල දානව ද...? ඇත්තට ම මට එහෙම කරන්න පුළුවන් ද...? නොකර බැහැ නෙ... නේද...? මං එහෙම කරොත් එයා ඒක මොන විදියට බාරගනී ද...? එහෙම නෙවෙයි... මං ඉස්සල හිතන්න ඕනෙ මට එහෙම කරන්න පුළුවන් ද කියල... ඒත්... ඒත් ඒකට ඇයි මං මට ම අවංක උත්තරයක් නොදෙන්නෙ...? එහෙම කරන එක හොඳ නැති නිසා ද, එහෙමත් නැත්නම් ඇත්තට ම මට එහෙම කරන්න අපහසු නිසා ද...?’
‘‘ආ... මත්තෙඔඩ බහින්න මත්තෙඔඩ... මත්තෙඔඩ... මත්තෙඔඩ...’’බස් රථයට ගොඩ වූ සචේතනී කල්පනා සාගරයක කිමිදුණේ ඇය ද නොදැනුවත්ව ය. ඇය යළි පියවි සිහියට එළඹියේ බස් රථය මත්තෙගොඩට පැමිණ, අවසන් නැවතුම්පොළෙහි නැවතීමෙන් ඉක්බිතිව කොන්දොස්තර නැගූ ආමන්ත්‍රණයෙනි.
‘දන්නෙම නැතුව මත්තෙගොඩටත් ඇවිත්... ප්‍රතිෂ්ඨ ගියාද දන්නෑ...’ ඇය බස් රථයෙන් බැසගත් සැණින් දුරකතනය අතට ගෙන එය පිරික්සුවා ය.
//මම ගෙදර ගාව. ඔයා ගිහින් කෝල් එකක් දෙන්න. ආයෙ සැටඩේ හමුවෙමු. පුළුවන් නම් ඊට කලින් උනත් කමක් නෑ. බුදු සරණයි...!//
ප්‍රතිෂ්ඨ ඔහු දුන් පොරොන්දුව ඉටු කර ඇත.
‘පුළුවන් නම් ඊට කලින් උනත් කමක් නෑ... ඇයි එයා එහෙම ලිව්වෙ... මොකක් ද ඊට කලින් හම්බ වෙන්න තියෙන උවමනාව. ආයෙ මැටිවිලියෙ යන එක ගැන කතා කරගන්න ද...? ඒකෙ ආයෙ කතා කරගන්න දෙයක් නැහැ නෙ... නෙක්ට් සැටඩේ එහේ යන වැඩේ අපි කන්ෆෝම් කරගත්ත නෙ.. කමක් නෑ... ගෙදර ගිහින් ම කෝල් එකක් දෙනව.’
යළි සිතුවිලි ගොන්නක අතරමංව ම ඇය නිවස කරා පිය නැගුවා ය
* * * * * * * * *
‘එදා සචේති කෝල් කරාට පස්සෙ ඇයි මං නිකමටවත් එයාට කෝල් කරේ නැත්තෙ...? එහෙම නං ඉතිං එයත් මට කෝල් කරේ නැහැ නෙ. හරිනං එයා එපායැ මට කෝල් කරන්න. දැං එන සැටර්ඩේ ආයෙ පන්සලට යන්නත් තියෙනව නෙ. බලමු... එහෙම උනොත් සිකුරාද හස විතර කෝල් එකක් දෙනව. කියන්න බෑ නෙ... අපි ආයෙ එහේ යන එකට එයාගෙ හස්බන්ඩ් අකමැති උණා ද දන්නැහැ නෙ... ම්ම්ම්... එහෙම උනොත් මොකද රන්නෙ...?’
එළඹ තිබෙන්නේ බදාදා දිනය යි. මේ වන විට ප්‍රතිෂ්ඨ සචේතනී පිළිබඳ විශේෂ උනන්දුවකින් කටයුතු නොකරන්නේ ඇයි ද යන්න ඔහුට ම ගැටලුවකි. ඒ ඇය දුටු පළමු දිනයේ සිට පසු ගිය සෙනසුරාදා දක්වා ඇය කෙරෙහි පැවති ආසක්ත භාවය ආදරයකට පෙරළී ඇති නිසා ද, එසේත් නොමැති නම් වෙනත් හේතුවක් ද යන්න පවා නිගමනය කරගැනීම ඔහුට පහසු නොවී ය. විශේෂයෙන් ම ඇය ඔහු වෙත ආසක්ත වූ ආකාරය ඔහුට උභතෝකෝටිකයකි. ඔහුට නිරන්තරයෙන් ම හැඟෙන්නේ ඒ සියල්ල ඔහු මුළා කිරීම සඳහා සචේතනී යොදන මායාකාරි වැඩපිළිවෙළක් බවයි. එක් පසෙකින් එසේ වුවහොත් එය ඔහු සිය සෙල්ලක්කාර දිවියේ දී ලද පරාජයකි. නමුදු එළඹ තිබෙන වාවතාවරණය අනුව ‘නෑ මම පරාද වෙන්නෙ නෑ’යන සිතුවිල්ලට අවනතව කටයුතු කිරිමට ද ඔහුගේ යටි සිත ඉඩ නොසලසන බව ද ඔහුට හැඟිණ.
‘කමක් නෑ. හැමෝ ම හැමදා ම දිනන්නෙ නැහැ නෙ... ඕනෙ ම ජයග්‍රාහකයෙක් නොසිතන මොහොතක, නොසිතන පුද්ගලයෙකුට පරාද වෙන්න පුළුවන්. මේ එහෙම අවස්ථාවක් ද දන්නෙ නැහැ නෙ... එහෙම උනොත් උනාවෙ... මොන හේතුවක් නිසාවත් සචේති මං ගැන මොකක් හරි විශ්වාසයක් තියල තියෙනව නම් ඒක කඩ නොකර ඉන්න එක තමයි දිනුම...’
ප්‍රතිෂ්ට සුපුරුදු පරිදි ලේඛනාගාරයේ පිහිටි පර්යේෂණාගාරයේ සිය පර්යේෂණ කටයුත්තේ නියැළී සිටිය දී ඔහු Silent ආරට යොමු කර ඇති දුරකතනයෙන් ආලෝකයක් නිකුත් විණ. පුස්කොළ පොත වෙත යොමුව තිබූ ඔහුගේ දෙනෙත් මතු නොව මනස ද ක්ෂණිකව ම එයින් නික්මී දුරකතනය ග්‍රහණය කරගත්තේ ය; ඇමතුම සචේතනීගෙනි.
කඩිනමින් ම පුස්කොළ පොත වසා දැමු ප්‍රතිෂ්ඨ පර්යේෂණ කාමරයෙන් පිටතට පැමිණෙන විට ඇමතුම විසන්ධි වී හමාර ය. ඔහු එසැණින් ම සචේතනී ඇමතී ය. අනෙක් පස තිබූ දුරකතනය නාද වූයේ එක් වරක් පමණි.
‘‘හෙලෝ ප්‍රතිෂ්ඨ...’’
ඇගේ කටහඬ ප්‍රතිෂ්ඨගේ සවනත වැකෙත් ම ඔහුගේ සමස්ත සිරුර ම සිහින් විදුලි සැරයටක ලක්වූවා සේ ඔහුට හැඟිණ; ඒ හැඟීම ඔහු තත්ත්පර කිහිපයක නිහඬතාවක ගිල්වා තබන්නට පවා සමත් විය.
‘‘හෙලෝ... ප්‍රතිෂ්ඨ නේ ද...?’’
එවර ඇය විමසුවේ තරමක සැකයෙනි.
‘‘හෙලෝ... ඔ... ඔ... ඔවු... සචේති මං තමයි...’’
‘‘මොකද අනේ කතා නොකර ඉන්නෙ... ඇයි මගේ නොම්මරේ මැකුව ද...?’’
ඇය විමසුවේ ප්‍රතිෂ්ඨ ඇය අමතක කර ඇතැයි යන ඉඟියක් මුදාහරිමිනි.
‘‘න්... න්... නැ සචේති... මේ...’’
‘‘මං මේ වෙලාවෙ කතා කරයි කියල හිතුවෙ නැ නේ ද...?’’
ප්‍රතිෂ්ඨ පවසන්නට අදහස් කළ වදන් කිහිපය ඇය සම්පූර්ණ කළා ය.
‘‘ඇ... ඇත්තට ම... ඔයා කොයි වෙලාවක හරි කතා කරයි කියල හිතුව. හැබැයි මේ වෙලාවෙ කතා කරයි කියල හිතුවෙ නෑ... මේ... ඔයා කොහේද ඉන්නෙ...?’’
ප්‍රතිෂ්ඨ එසේ විමසුවේ ඇය ඔහු අමතන්නේ නිවසේ සිට වෙතැයි බලාපොරොත්තුවෙනි.
‘‘මං ද...? මං ඉන්නෙ ලොබි එකේ... ඔයාට එන්න පුළුවන් ද...?’’
ප්‍රතිෂ්ඨට සචේතනිගේ වදන් විශ්වාස කළ නොහැකි තරම් ය.
‘‘ඔය ඇත්ත ම ද...?’’
ප්‍රතිෂ්ඨ පෙරළා විමසුවේ එය සත්‍යයක්දැයි සැක හැර දැනගැනීම පිණිස ය.
‘‘ඇත්ත ම යි. බොරු නං එන්නකො පල්ලෙහාට. මට ඔයාට කෙනෙක් අඳුරල දෙන්නත් තියෙනව. එහෙනං ඉක්මනට එනව ද...?’’ ඇය විමසුවේ ඉතා සැහැල්ලු ස්වරයෙන් වුව ද ‘‘මට ඔයාට කෙනෙක් අඳුරල දෙන්නත් තියෙනව’’ යන වදන් පෙළ ඔහුගේ සිත තුළ කුකුසක් ඇති කළේ ය.
‘කවුද මේ කියන අමුත්තා...! සචේතිගෙ හස්බන්ඩ් ද...? එක අතකට ඒකත් හොඳයි. එහෙම අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනව නං අපි හැමෝට ම පහසුයි. බලමු... කවුද මේ අමුත්තා...?’’
ඉවර නෑ...(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2023/02/10
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්