‘‘ඇත්ත ම යි. බොරු නං එන්නකො පල්ලෙහාට. මට ඔයාට කෙනෙක් අඳුරල දෙන්නත් තියෙනව. එහෙනං ඉක්මනට එනව ද...?’’ ඇය විමසුවේ ඉතා සැහැල්ලු ස්වරයෙන් වුව ද ‘‘මට ඔයාට කෙනෙක් අඳුරල දෙන්නත් තියෙනව’’ යන වදන් පෙළ ඔහුගේ සිත තුළ කුකුසක් ඇති කළේ ය.

 


‘කවුද මේ කියන අමුත්තා...! සචේතිගෙ හස්බන්ඩ් ද...? එක අතකට ඒකත් හොඳයි. එහෙම අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනව නං අපි හැමෝට ම පහසුයි. බලමු... කවුද මේ අමුත්තා...?’’

ප්‍රතිෂ්ඨ පර්යේෂණ කාමරයෙන් නික්මී පහළ මාලයට පැමිණ ආලින්දය වෙත ගමන් කරන අතරවාරයේ ඈත සිට ම නෙත් යොමා සිටියේ වෙනදා මෙන් සචේතනී ඔහු එන මග බලාසිටිතැයි බලාපොරොත්තුවෙනි. නමුදු ඇය අද අසුන්ගෙන ඇත්තේ වෙනත් අසුනක බව ඔහු වටහා ගත්තේ වෙනදා ඈතට දිස්වන අසුනේ ඇය දක්නට නොලැබුණ බැවිනි.

‘ෂුවර් එකට ම හස්බන්ඩ් එක්ක තමයි ඇවිල්ල ඇත්තෙ. නැත්නම් වෙනදට එයා ඉන්නෙ මම එද්දි ඈතට ම පේන සෝෆා එකේ නෙ... කමක් නෑ... වෙන දෙයක් වෙච්චාවෙ. එයාට හොඳනං ඉතිං මට මොකෝ...’

සචේතනීගේ විශේෂත්වය පිළිබඳ කල්පනාව අතර ප්‍රතිෂ්ඨ නොදැනුවත්ව ම ආලින්දයට පැමිණ මඳක් විපරම් කරන විට දක්නට ලැබුණේ ඔහු කිසි සේත් ම බලාපොරොත්තු නොවූ දසුනකි.

සචේතනී අසුන්ගෙන සිටියේ ප්‍රතිෂ්ඨ පැමිණෙන මාර්ගයට පිටුපා ඇති අසුනක ය; ඇය ආසන්නයේ ම අසුනගෙන සිටියේ මීට පෙර දිනක ඇය, ඇගේ පුතා යැයි හඳුන්වා දුන් නව යොවුන් තරුණයා ය.
 
Van Gogh Cafe Terrace At Midnight

‘ම්ම්ම්... මොකද අද මෙයා පුතත් එක්ක ඇවිත් තියෙන්නෙ... අනික මට කියන්නෙවත් නැතුව නෙ ආවෙ... අනේ මංද මහ පුදුම ගෑනියෙක්... මට නං හිතාගන්නවත් බෑ...’

ප්‍රතිෂ්ඨ ඍජුව ම සචේතනි සහ ඇගේ පුතා ලෙස ඇය මීට පෙර දිනක පවසා තිබූ දෙනො සිටි අසුන ආසන්නයට ගමන් කරත් ම ඇය ප්‍රතිෂ්ඨ දුටු සැණින් ඉඳ සිටි අසුනෙන් නැගි සිටියා ය; ඒ සමග ම ඇගේ පුතා යැයි අනුමාණ කරන තරුණයා ද අසුනෙන් නැගී සිටියේ ය.

‘‘ආ... අයියෙ... අපි ආපු එක කරදරයක් ද මංදා...?’’

සචේතනී විමසුවේ ඉතා සැහැල්ලුවෙනි. එහෙත්...

‘අයිය...! මොකද මේ කවදාවත් නැතුව මට අයිය කියන්නෙ...? කමක් නෑ... මොකක් හරි හේතුවක් ඇතිනෙ.’

‘‘අයියෝ ඒකෙ අවුලක් නෑ නංගි... ඉතිං... ඇයි මේ හිටගෙන...? දෙන්නත් එක්කම වාඩිවෙන්න’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ සචේතනි සහ තරුණයා අසුන් ගෙන සිටි අසුන් යුවළට ඉදිරිපසින් තිබූ අසුනේ අසුන්ගන්නට සුදානම් වත්ම ‘‘ඔයාට මතක ද අයියෙ මෙයාව...?’’ යැයි සචේතනී විමසුවේ තරුණයා දෙස අවධානය යොමු කර එසැණින් ම ප්‍රතිෂ්ඨ දෙස අවධානය යොමු කරමිනි.

‘‘ම්ම්ම්... ඔවු... එක දවසක් දැකල තියෙනව. හැබැයි හරියට ම දැක්කෙ අද. මේ...?’’

‘‘ඔවු අයියෙ... මේ තමයි මගේ පුතා... කනිෂ්ක... කනිෂ්ක ජයලත්... යැයි පැවසූ ඇය කනිෂ්ක වෙත හැරී... පුතා... මේ තමයි අර මං කිව්ව අංකල්... ප්‍රතිෂ්ඨ... අර ඇන්ටිගෙ පොත හොයන්න උදවුක රනව කියල මං කිව්වේ...’’ යැයි පවසමින් තරුණයාට ප්‍රතිෂ්ඨව හඳුන්වා දුන්නා ය.

‘‘Nice to meet you uncle... අම්ම මට අංකල් ගැන කියල තියෙනව...’’

ඔහු ප්‍රතිෂ්ඨ වෙත අත’ටත දෙන අතර පැවසී ය.
 
Vincent van Gogh Doctor Gachet 631
 
 
ප්‍රතිෂ්ඨ ද ‘‘Nice to meet you පුතා යැයි පවසමින් ඔහුගේ පිළිගැනීම අනුමත කළේ ය. තරුණයාගේ උවනෙහි සිතුවම්ව පැවතියේ සැක සංකා රහිත, විශ්වසනීය සිතුවමකි. එබැවින් ම ප්‍රතිෂ්ඨට ද තම උවනත මන්දස්මිතයකින් සිතුවම් කරගන්නට අවකාශ සැලසිණ. එබැවින් ඔහු ද තරුණයාවෙත පූර්ණ ස්මිතයක් පෑ ය; අනතුරුව තිදෙනා ම අසුන්ගත්හ.
 
 
 
‘‘ඉතිං නංගි... ඇයි මේ හදිසියෙම පුතත් එක්ක මාව හම්බවෙන්න ආවෙ...? මොකක් හරි...’’

‘‘ආ... නෑ නෑ අයියෙ... අපි එදා පංසල් ගිහිං ආපු දවසෙ මං පුතාට විස්තර කිව්ව. ඊට පස්සෙ පුතා කිව්ව අයියව දකින්න ආසයි කියල. ඉතිං...’’

‘‘ඒ නිසා එක්කරගෙන ආව...’’

සචේතනී පැවසීමට නියමිතව තිබූ වදන් කිහිපය තමාගේ මුවෙන් මුදාහල ප්‍රතිෂ්ඨ ‘‘ඉතිං පුතා... කොහොම ද...? අපරාදෙ... තාත්තත් එක්කරගෙන එන්න තිබුණ නෙ...’’ යැයි පැවසීමත් සමග ම කනිෂ්ක තරමක වික්ෂිප්ත ලෙස සචේතනී දෙස බැලී ය; ඒ බැල්මෙහි අන්තර්ගතව තිබුණේ කුමක් ද යන්න ප්‍රතිෂ්ඨ නිගමනය කිරීමට පෙර සචේතනී වහා ක්‍රියාත්මක වූවා ය.

‘‘අනෙහ්... එයයි අපියි යන ගමන්... නැද්ද පුතා...?’’ යැයි ඇය කනිෂ්කගෙන් විමසද්දී ඔහු කිසිදු වදනක් මුදා නොහැර මන්දස්මිතයක් පෑ ය. නමුදු එම මන්දස්මිතය තුළ කුමක්දෝ නොසන්සුන්තාවක් ද ගැබ්ව තිබිණ

‘‘ඒ කිව්වෙ...! මට තේරුන්නෑ....’’

ප්‍රතිෂ්ඨ විසුවේ තරමක් විමතියෙනි. එය වටහාගත් සචෙතනී ස්ථානොචිත ප්‍රඥාව භාවිත කළා ය.

‘‘නැ අයියෙ... එයාට ඉතිං ක්ලාස්වලින් තොර ලෝකයක් නෑ නෙ... කොයි වෙලාවෙ ගමනක් යන්න ඇහුවත් කියන්නෙ ‘අනේ මට මේ දරුවො ටික ගොඩදාන්න ඕනෙ... කමක් නෑ ඔයාල යන්න.’ කියල. එයාට එයාගෙ පංතිවල ළමයි එයාගෙ ළමයින්ට වඩා ලොකුයි.’’ යැයි පැවසුවේ කනිෂ්ක දෙස ද අවධානය යොමු කරන අතර ය.
 
van gogh starry night min
 
කනිෂ්ක ද මුවගින් මන්දස්මිතයක් පා ප්‍රකට කළේ මවගේ අදහස සත්‍යයක් යන්න ය; එහෙත් ඔහුගේ මනස අභ්‍යන්තරයේ රැඳී පැවතියේ ඊට සපුරාම වෙනස් අදහසකි.

 

එය බිඳක් හෝ පිළිබිඹු නොකළ කනිෂ්ක ක්ෂණිකව ම සියල්ල වටහාගත් බව පිළිබිඹු කරමින් ‘‘ඒ අපේ තාත්තගෙ හැටි අංකල්. එයා කියන්නෙ එක දවසක් හරි ළමයින්ගෙ ක්ලාස් කට් උනොත් ඒක කවර් කරන එක ලේසි නෑ කියල,’’ යැයි පැවසුවේ එම ස්ථානයට පැමිණීමට පෙර මව සමග සාකච්ඡා කර තිබූ ලෙසිනි.

 
‘‘ඔවු ඉතිං... ඒකත් ඇත්ත නෙ... ඒ ළමයිගෙං ගන්න මුදලට හරියන්න තමන්ගෙ වගකීම ඉස්ට කරන්න එපායැ... ඒකෙ අවුලක් නෑ... හැබැයි ඉතිං අඩුම ගානෙ මාස දෙක තුනකට වතාවක් හරි ෆැමිලි එකත් එක්කත්...’’

‘‘එහෙම ඉතිං ඉඳල හිටල එන්ජෝයි කරනව. හැබැයි ඉතිං ඒ අපිට ඕන වෙලාවට නෙවෙයි,’’ යැයි සචේතනි පැවසුවේ ප්‍රතිෂ්ඨ සිය අදහස පවසා අවසන් කරන්නට ද පෙරාතුව ය.
 
 
මවගේ ක්‍රියාකලාපය පිළිබඳ විමතියට පත්ව සිටින කනිෂ්ක මේ සියලු නිමේෂයක ම ඔහුගේ ප්‍රතිචාරය දැක්වූයේ ස්මිතයකින් පමණි. ඒ හැර වෙනත් විකල්පයක් ඔහු සතුව නොතිබිණ.
 
 
එතැන් සිට ආපන ශාලාවට ගොස් තේ පානය කර දෙදෙනා ප්‍රතිෂ්ඨ වෙතින් සමුගන්නා තුරු ම නොවුමනා ලෙස වදන් මුදාහැරීම අත්හල කනිෂ්ක මවත්, ඇගේ හිතවතාත් අතර සිදුවන වදන් හුවමාරුව ද මායිම් නොකර සිටින්නට වගබලාගත්තේ ය. දෙදෙනා ප්‍රතිෂ්ඨ වෙතින් වෙන්වූයේ එළඹෙන සෙනසුරාදා මැටිවිලිය ගමනට අවශ්‍ය දෑ සහ එදින කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය.

*         *          *          *          *          *          *          *          *

‘‘ඇයි අම්මෙ ඔයා ඒ අංකල්ට...?’’

ප්‍රතිෂඨගෙන් සමුගෙන එන අතරතුර දී කනිෂ්ක සිය මවගෙන් යමක් විමසන්නට යත්න දැරූ පළමු මොහොත එය යි. එහෙත් ඔහුට සිය අදහස විමසා අවසන් වන්නට කාලයක් ඉතිරි නොවිණ.

‘‘නෑ නෑ පුතා... ඒ අංකල් ඕව මොනවත් දන්නෙ නෑ. මට ඔයාට කලින් ඒ ගැන කියන්න අමතක උණා.’’
 
main qimg 6adb5497b61ce8b7b44ad3eab67f8b37 lq

සචේතනී, කනිෂ්කගේ අදහස් දැක්වීම අවසන් කිරීමට පෙර ඇගේ අදහස ප්‍රකාශ කළා ය. එහෙත් මේ විසි එක් හැවිරිදි තරුණයා එතෙකින් නිහඬවන්නට අකමැති බව ප්‍රකාශයට පත් කරමින් ‘‘ඒත්... ඇයි ඔයා එහෙම කරන්නෙ...? ඇත්ත කියල තිබුණනං මං එහෙම චාටර් වෙන්නෙත් නහැනෙ...?’’ යැයි මවගෙන් විමසුවේ චෝදනාත්මක ස්වරූපයෙනි.

‘‘නෑ පුතා... ඔයා කලබල වෙන්න ඕනෙ නෑ. ඒ දේවල් කියන්න ම ඕනෙයි කියන අවස්ථාවක් ආවොත් මං ඒ අංකල්ට විස්තර කියන්නං. එහෙම නැත්නං අපි ඔය විදියට ම ඉමු. කොහොමටත් පුතේ නෙක්ස්ට් සැටර්ඩේ අපි ආයෙ අර පංසලට යනව නෙ... ඊට පස්සෙ බලමු.’’

ඉක්බිති කනිෂ්ක නොවේ ඊට අදාළ කිසිවක් ම විමසුවේ. හෙතෙම සිය මවට කැමති තීරණයක් ගන්නැයි නිහඬ බසින් ම පැවසී ය.
 
 
‘කොහොමටත් සොරොව්ව ඇරිය වගේ ඒ විස්තර හැම එකක් ම එයත් එක්ක දැන්ම ම කියන්න ඕනෙ නෑ. හැබැයි මං මේ විස්තර මිනිහත් එක්ක නොකිය ඉන්නෙත් නෑ. මං හිතන්නෙ ඒකට සුදුසු වෙලාවක් එයි. එතකං මේ විදියට ම අල්ලං ඉන්නෝන.’
 
 
ඇය අවසන් වතාවට එසේ තීරණය කළේ ප්‍රතිෂ්ඨ වෙත මෙතෙක් නොපවසා තිබූ කිසියම් කරුණක් පසු දිනක හෝ පවසනවා ය යන තිර අදිටනෙනි.

*         *          *          *          *          *          *          *          *

එළඹියේ ඊළඟ සෙනසුරාදා දවස ය. පෙර දින පැවති දුරකතන සංවාදයට අනුව අවසන් නිගමනයකට එළඹි දෙදෙනා කලින් සෙනසුරාදා දිනයේ මෙන් ම මාකුඹුර අධිවේගී නැවතුම් පොළේ දී මුණගැසුණහ. ප්‍රතිෂ්ඨ සතුව ලැප්ටොප් පරිගණකයක් පැවතිය ද, පරිගණකයත් නවතම වර්ගයේ ස්කෑන් යන්ත්‍රයත් යන දෙකම ඔහුට රැගෙන ඒමට අපහසු බැවින් සචේතනී ඇගේ ලැප්ටොප් යන්ත්‍රය රැගෙන එන බවට පොරොන්දු වී තිබුණා ය. එබැවින් ප්‍රතිෂ්ඨ රැගෙන යාමට වුවමනා වූයේ නවතම වර්ගයේ ස්කෑන් යන්ත්‍රය පමණි.

පෙර සෙනසුරාදා පරිදි ම දෙදෙනා හමුවූ සැණින් පළමුව වදන් මුදා හලේ සචේතනී ය.

‘‘ඔයා කිව්ව දේ ඇත්ත කියල මට තේරුණේ දැං.’’

‘‘ඉතිං ඒකනෙ මං කිව්වෙ මං ස්කෑනරයයි ලැප් එකයි දෙකම මං අරං එන්නං අපි බයික් එකේ යං කියල.’’

ප්‍රතිෂ්ඨ ඔහුගේ යෝජනාව සාධාරණීකරණය කරනු වස් පැවසී ය.

‘‘කමක් නෑ ප්‍රතිෂ්ඨ... අපි ඇල්පිටියෙං බැහැල එතන ඉඳං වීල් එකක යමු. කොහොමටත් ඒ පාරෙ බස්වල යද්දි ස්කැනරේ අරං යන්න අමාරුයි.’’

සචේතනී සියල්ල තීරණය කර අවසාන ය. ප්‍රතිෂ්ඨ ඇගේ තීරණයට එකඟත්වය පළ කළේ මඳක් කල්පනා කර හිස වැනීමෙන් පමණි. ඔහුගේ උවනේ රැඳි තිබූ කිසියම් නොරුස්සනා ස්වරූපයක් කියවාගත් සචේතනී ඔහු අස්වසනු වස් ‘‘වියදං ගැන ඔයා හිතන්න එපා. මං ඒව ඔක්කොම බලාගන්නං...’’ යැයි පැවසුවා ය.

‘‘හම්ම්ම්... ඔයාගෙ කැමැත්තක්.’’

ප්‍රතිෂ්ඨ පැවසුවේ වදන් යුගලක් වුව ද ඒ වදන් යුගලේ බොහෝ දෑ අන්තර්ගතව තිබිණ. එය වටහාගත් බැවින්දෝ බසය ආසන්නයට පැමිණ, එයට ගොඩවිමට ප්‍රථම ප්‍රතිෂ්ඨ වෙත වඩාත් ආසන්න වූ සචේතනී ‘‘ඔයාට මාත් එක්ක බයික් එකේ යන්නම ඕනෙ නං අපි වෙන දවසක වෙන කොහේ හරි යං.’’ යැයි පවසා පූර්ණ ස්මිතයක් ඇගේ උවනේ සිතුවම් කරගත්තා ය.
 
for flowers van gogh blog post only vincent van gogh roses and peonies.16079272252188540622
 
 
එම වදන් කිහිපය සවනත වැටෙත් ම ප්‍රතිෂ්ඨගේ සිරුර පුරා සියුම් විදුලි දහරාවක් විදාරණය වන්නා සේ ඔහුට හැඟිණ. ඒ, ඔහු කිසිදු දිනක එබඳු වදන් වැලක් සචේතනීගේ මුවෙන් ගිලිහෙතැයි විශ්වාස නොකළ බැවිනි. එහෙත් ඔහු, ඔහුගේ සිරුර පුරා විහිද ගිය අපූරු විදුලි දහරාවෙන් ලද ආස්වාදය බිඳක් හෝ පිටතට ප්‍රදර්ශනය නොකරන්නට වගබලාගත්තේ ය; හෙතෙම කිසිවක් ම නොපවසා ඇය වෙත ද පූර්ණ ස්මිතයකින් පිළිවදන් සපයා, ඇයට බසයට ගොඩවන්නට ඉඩ හැර ඔහු දෙවනුව බසයට ගොඩ විය.
 
 
ඉවර නෑ...



jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2023/02/24



වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්