‘‘හම්ම්ම්... හරියට ම හරි... හැබැයි මං හිතුවෙ නෑ ඔයාට ඒක මතක ඇති කියල. ඇත්තට ම මමත් හිතලමයි අද මේ ඇඳුම ඇන්දෙ. ඒ උනාට දැං ඔයා කියනකං ආයෙත් මටත් ඒක අමතකවෙලයි තිබුණෙ...’’
‘මමත් හිතලමයි මේ ඇඳුම ඇන්දෙ... ඒ මොක ද ඒ...? මේ කියන්නෙ ඇත්ත ම ද?’
සචේතනීගෙන් විමසිය යුතු පැනයක් ප්‍රතිෂ්ඨ තමාගෙන්ම විමසී ය. ඒ සමග ම ක්‍රියාත්මක වූ සචේතනී ‘‘කන්න...’’ යැයි පවසමින් කෙසෙල් ගෙඩියක් සහ විස්කෝතු දෙකක් ප්‍රතිෂ්ට වෙත පාමින් ‘‘දැන් ඔයා හිතන්නෙ මං ඇයි ඒ ඇඳුම ම ඇන්දෙ කියල නේද...? ඔවු... මං ඒකට හේතුව කියන්නං...’’
‘ඒ කියන්නෙ මෙයා අද ඒ ඇඳුම ම ඇන්දෙ විශේෂ හේතුවක් නිසා... බලමුකො ඒ විශේෂ හේතුව මොකද්ද කියල...’
‘‘හම්ම්ම්... කියන්න.’’
අත්තම්මාගෙන් කතන්දරයක් අසන්නට බලාපොරොත්තුවෙන් සිටින කුඩා දරුවකු සේ බලාපොරොත්තු දල්වාගත් ප්‍රතිෂ්ඨ පැවසී ය. ඒ අතර විස්කෝතු දෙකක් එක් අතකට ද කෙසෙල් ගෙඩියක් තවත් අතකට ද ගත් සචේතනී එතෙක් ඉඳ සිටි අසුනෙන් නැගිට ප්‍රතිෂ්ඨ අසුන්ගෙන සිටි දිගු සෝෆා අසුනේ අසුන් ගත්තේ ප්‍රතිෂ්ඨ ආසන්නයේ ම ය.
‘‘සමහර විට ඔයා විශ්වාස කරන එකක් නෑ. හැබැයි මං මේ කියන්නෙ ඇත්ත. අමෝද්‍ය මගෙන් ඈත් වෙච්ච කාලෙ ඉඳල ඔයා හම්බ වෙනකං මං කිසිම පිරිමියෙකුගෙන් කිසිම උදව්වක් ඉල්ලල නෑ.’’
ඇය එම වදන් මුදාහළේ අසුනේ පසෙකට ඇලව සිරුර ප්‍රතිෂ්ඨ වෙත හරවමිනි. ප්‍රතිෂ්ඨ ද එතෙක් අසුන්ගෙන සිටි ඉරියව්ව වෙනස් කර ඇගේ සිරුර ඍජුවම සිය දෙනෙත්වලට ග්‍රහණය වනසේ සිරුර සකසා ගත්තේ ඇයට ඔහුගේ උවනත ද, ඔහුට ඇගේ උවනත ද එකිනෙක සම්මුඛ වන ආකාරයෙනි.
‘‘මං අහන්නෑ ඒ ඇයි කියල... මොකද... මේ ඔයා මට යමක් කියන්න හදන වෙලාව නෙ... ඔයා කියන්න... මං අහගෙන ඉන්නං.’’ යැයි ප්‍රතිෂ්ඨ පැවසුවේ සැබැවින් ම ඇගේ කතාව ඇසීමේ බලාපොරොත්තුවෙනි.
‘‘ගෑනියි මිනිහයි වෙන් වෙලා ගෑනි දරුවොත් එක්ක වෙනම ම ඉන්නෙ කියල පිරිමියෙක් දැනගත්තට පස්සෙ ඒ පිරිමියා ඒ ගෑනු කෙනාට උදවු කරන්නෙ නිකං නෙවෙයි කියල ඔයා දන්නව නෙ... ඉතිං මාත් ඒක හොඳට ම දැනගෙන හිටපු නිසා තමයි මං කිසි විදියකිං, කිසිම පිරිමියෙකුගෙං කිසිම උදව්වක් ඉල්ලන්න නොගියෙ. ඒ උනාට මොන හේතුවක් හිංදද මංද මට ඔයාගෙං උදව්වක් ඉල්ලන්න හිතුණ. ඒකට මාව පෙළඹෙව්වෙ අර ලේඛනාගාරෙ වැඩ කරපු පාලිත. මං ඉස්සෙල්ල ම විශ්වාස කරේ එයාව. මොකද එයාට ඔයා විශ්වාසයි කියල මට දැනුණ. අනික මගේ ජීවිතේ ඇත්ත තත්තවෙ ගැන ඒ වෙද්දි ඔයා මොනවත් ම දන්නෙත් නැහැ නෙ...’’
‘‘ඉතිං... ඒ කතාවෙයි එදා ඔයා ඇඳගෙන හිටපු ඇඳුම ම අද ඇඳපු එකයි අතරෙ තියෙන සම්බන්දෙ මොකද්ද...?’’
සචේතනීගේ කතාවේ නිමක් නොදකින ලකුණු දුටු ප්‍රතිෂ්ඨ ඇගේ කතාවට බාධා කරමින් විමසී ය.
‘‘ඉතිං ඉන්නකො කියනකං... මං මේ එතනට එන්න තමයි හැදුවෙ...’’ යැයි ඇය පැවසුවේ මා විස්කෝතු සහ කෙසෙල් කා අවසන් බව වටහාගෙන, ටිපෝව මත තිබූ බන්දේසියෙන් එක් කිරි තේ කෝප්පයක් ගෙන එය ප්‍රතිෂ්ට වෙත දිගු කරන අතර ය. ප්‍රතිෂ්ඨ එය අතට ගත් පසු ඇය ද ඉතිරි තේ කෝප්පය අතට ගත්තා ය.
‘‘සොරි සොරි... හරි හරි... ඔයා කියන්නකො...’’ යැයි ප්‍රතිෂ්ඨ පැවසුවේ ඒ වන විට තේ බොහෝ සේ නිවී තිබූ බැවින් උගුරට දෙකට එය පානය කර හිස් කෝප්පය බන්දේසිය මත තබන අතර ය; ඒ සමග ම ඇය ද ඇය අත තිබූ තේ කෝප්පය බන්දේසිය මත තබා යළි පෙර සිටි ඉරියව්වෙන් ම සිරුර සකසා ගත්තා ය.
‘‘එදා ඉදං අද වෙනකං ඔයා මට බොරු කිව්ව ද මංද... බොරු නොකිව්වත් සමහර විට නොකියපු දේවල් ඇති. මං ඒව අහන්නෑ. හැබැයි මං එහෙම නෙවෙයි... මං ඔයාට නොකියපු දේවල් ගොඩයි. ඒ වගේ ම මං දැන දැන ම ඔයාට බොරු කියල තියෙනව. දැං ඔයා හිතන්නෙපා මං එහෙම කරේ මගේ වැඩේ කරගන්න ඕනෙ නිසා කියල. ඇත්තට ම මං එහෙම කරේ අර මං කලිං කිව්ව වගේ මගේ ජීවිතේ ඇත්ත දැනගත්තට පස්සෙ ඔයා මං ආස්‍රය කරන විදිය වෙනස් කරොත් මට පාඩු වෙන නිසා. එතනදි මං ආත්මාර්ථකාමියි තමයි. ඒ එදා; ඒත් අද එහෙම නෑ. ඉතිං මං හිතුව ඔයාට මගේ ජීවිතේ කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියන්න. ඒ වගේ ම මං ඔයාට මේ ටික කිව්වට පස්සෙ ඔයා මාව ආස්‍රය කරන එක නැවැත්තුවොත්...’’
‘‘අපි හම්බ උණෙත් මං මේ ඇඳුම ඇඳල හිටපු දවසක... අද අපි වෙන්වෙන්නෙත්...’’
සචේතනීගේ මුවෙන් ගලා එන හඬ අතරට යළි මැදිහත් වූ ප්‍රතිෂ්ඨ ඔහුගේ අදහස ප්‍රකාශ කර අවසන්වන්නටත් පෙර සචේතනි ද ඔහුට බාදා කරමින් ‘‘මේ ඇඳුම ම ඇඳල කියල හිතල නේද...?’’ යැයි විමසුවේ සිහින් කිකිණි නාදයක් ද නිකුත් කරමිනි.
මෙය ගැහැනියක සහ පිරිමියෙකු අතර සිදුවිය හැකි දුර්ලබ සිදුවීමකි. එනම් දෙදෙනා එකිනෙකාට පවසන්නට සුදානම් වන්නේ කුමක්දැයි අනෙකාට ක්ෂණයෙන් අවබෝධ වීම ය. ඒ මානසික බන්ධනය යනු එකිනෙකාගේ මනස් සිතුවිලි එකිනෙකා කෙරෙහි සම්ප්‍රේෂණය වීමේ ප්‍රතිඵලයකි. එහෙත් එහි ඍණාත්මක පාර්ශ්වයක් ද පවතී. ප්‍රතිෂ්ඨගේ මනසේ එක් වරම චිත්‍රණය වූයේ ඒ ඍණාත්මක පාර්ශ්වයේ සිතුවම යි.
‘මෙයා මේ විදියට මාව කියවනවනං මං ඒ දවස්වල මෙයා ගැන හිතාගෙන හිටපු විදියත් කියවගෙන ඇද්ද... නෑ නෑ... එහෙම වෙන්න බෑ. එහෙම නං මෙයා ම කියන විදියට මෙයා මට ළං වෙන එකක් නෑ නෙ... ඒත්... ඒ වෙලාවෙ මෙයාට ඒ උදව්ව ගන්න පුළුවං හොඳ ම කෙනා මං නිසා මගේ හිතේ තියෙන දේ දැන දැන ම මට ළං වුණා ද...? එහෙම නං දැං...?’
‘‘නෑ ප්‍රතිෂ්ඨ... සමහර විට ඔවු වෙන්නත් පුළුවං... ඇත්තට මට මට ඕනෙ උණේ...’’
‘‘ඔයාට ඕනෙ උණේ මං ඔයා එක්ක තරහ නොවෙන විදිටයි මට ඔයාව අමතක නොවෙන විදියටයි වැඩ කරන්න එහෙම නේද...?’’
එවර ද සචේතනීගේ මුවෙන් ගලා ආ යුතු ඉතිරි වදන් පෙළ ඇයට පෙර ප්‍රතිෂ්ටගේ මුවෙන් විහිදුණේ සැබැවින් ම සචේතනී මවිතයට පත් කරමිනි; ඇය මවිතයට පත් කළා පමණක් නොව ඇයට ඇය කවුද, කරන්නේ කුමක් ද යන්න පවා අමතක වූවා ය; ඇය ක්ෂණයෙන් ප්‍රතිෂ්ඨ වෙත ළංව, ඔහුගේ දෙවුරට ඉහළින් දෑත් යවා, තමා අසලට ඇදගන්නා අතර ම ඔහුගේ පපු තුරෙහි ඇගේ හිස හොවාගත්තා ය.
සිහිනෙනිදු මෙවැන්නක් බලාපොරොත්තු නොවූ ප්‍රතිෂ්ඨ සෙල් රුවක් සේ නිසලව, නිහඬව ඔහුගේ පපුතුර මත ඇලී තිබෙන හිස දෙස බලා සිටියේ කළයුත්තේ කුමක් ද, කිව යුත්තේ මොනවා ද යන්න පවා නිශ්චය කරගත නොහැකිව ය. හෙතෙම කෙතරම් ස්ත්‍රී ලෝලියෙක් වුව ද ඒ නිමේෂයේ ඔහුගේ මනසට අංශු මාත්‍රයක හෝ රාගික හැඟීමක් ගලා නොආවේ ය; තවමත් සචේතනීගේ හිස ඔහුගේ පපුතුර මත ය; කෙමෙන් කෙමන් ඒ හිස ගැස්සෙන බව ප්‍රතිෂ්ටට හැඟිණ. ඒ මන්ද යන්න ඔහු ක්ෂණිකව ම අවබෝධ කරගත්තේ ය. එතෙක් අප්‍රාණික ලෙස සෝෆාව මත වැටි තිබූ ඔහුගේ දෑත් තුළට කෙමෙන් කෙමෙන් ප්‍රාණය ඇතුළුවනවා සේ ඔහුට හැඟිණ. ඒ දෑත් එසවිය හැකි ද යන්න ඔහු උරගා බැලී ය. ඔවු... ඔහුට ඔහුගේ දෑත් එසවිය හැකි ය. හෙතෙම සෙමෙන් සෙමෙන් ඔහුගේ වමත සචේතනීගේ ඉඟටිය හරහා රැඳවූ අතර දකුණතින් ඇගේ හිස මුඳුන ස්පර්ශ කළේ ය; එහෙත් ඒ කිසිදු රාගාන්විත චේතනාවකින් නොවේ; සචේතනී තවමත් පෙර ඉරියව්වේ ම ය.
‘ම්ම්ම්... මොනවත් ම කියන්න ඕනෙ නෑ... ඇති තරං වෙලා ඔහොම්ම හිටපුවාවෙ...’
එලෙස අදහස් කළ ප්‍රතිෂ්ඨ ද කිසිදු වෙනස්කමකින් තොරව ම ඇගේ හිස තව දුරටත් ස්පර්ශ කළේ ය; ඒ ස්පර්ශය ගෙල දක්වා රැගෙන ගොස් කශේරුකාව මතින් පහළට ගමන් කරවන්නට සිතුව ද ක්ෂණිකව ම ඒ අදහස ඉවතට විසි කළ හෙතෙම ඇයට ද නොදැනෙන සේ ඇගේ සිරුර වමතින් මඳක් තම සිරුර වෙත තෙරපීය; හිස ද ඔහුගේ පපු තුර මතට තෙරපී ය. කෙමෙන් කෙමෙන් ඇගේ හිසේ ගැස්ම අවම විය. එහෙත් ප්‍රතිෂ්ඨ තවමත් නිහඬ ය. ඒ වන විට ඇගේ දෙනෙතින් පිටාර ගැලූ අක් ධාරා ප්‍රතිෂ්ඨගේ කමිසය ද ඊට යටින් ඇද සිටි බැනිය ම ද විනිවිද පපු පෙදෙස දක්වා ම විදාරණය වී තිබිණ.
ඔවුන් පසු කර කෙතරම් කාලයක් ඉගිළෙන්නට ඇතිදැයි දෙදෙනාට ම අවබෝධයක් නොවූහ; ඇගේ හිසේ ගැස්ම ද නැවතී මිනිත්තුවක් පමණ ඉක්ම ගිය විට ඇගේ හඬ ඉතා මන්දගාමිව පැමිණ ප්‍රතිෂ්ඨගේ සවන්පත් තුළට ගමන් කළේ ය.
‘‘ප්‍රතිෂ්ඨ... ඔයා හිතනව ඇති මං මහ නරක ගෑනියෙක් කියල නේද...?’’
ප්‍රතිෂ්ඨ තවමත් නිහඬ ය. ඔහු කිසිවක් නොපවසන්නේ මන්ද යන්න ඔහුට ම ගැටලුවකි. ඒ නිහඬතාව බිඳලමින් යළි සචේතනිගේ ආදරණීය හඬ ඔහුගේ සවන්පත් තුළට ඇතුළු විය.
‘‘ඇයි ඔයා සද්ද නැතුව ඉන්නෙ... මොනව ම හරි කියන්න... මොනවත් ම කියන්න බැරිනං මට බණින්න... ඔයා කැමති විදියකට මාව බාර අරගෙන මට බණින්න; මං මහ නරක ගෑනියෙක් කියල මට බණින්න. ඒත් මං ඔයත් එක්ක තරහ නෑ... ඔයා තමයි මට මගේ ජීවිතේ දි හම්බුණ හොඳ ම යාළුව... ඔවු... මට ඒ යාළුවට කියන්න බැරි දෙයක් නෑ කියල මං විශ්වාස කරනව; ඒ වගේ ම මට මං කැමති ඕනම දෙයක් ඒ යාළුවගෙං ඉල්ලන්න පුළුවං කියලත් මං විශ්වාස කරනව. එහෙම නේද ප්‍රතිෂ්ඨ...?’’
මේ වදන් ගොන්න පවසා අවසන් වන මොහොත වන විට සචේතනීගේ හිස මඳක් ඉහළට එසවි තිබිණ; ඇගේ දෙනෙත් ඍජුව ම ප්‍රතිෂ්ඨගේ දෙනෙත් වෙත එල්ල වී තිබිණ; ඇය ඔහුගේ දෙනෙත්වල ලියැවී තිබෙන්නේ මොනවාදැයි සොයමින් සිටියා ය.
‘ඇයි ඔයා මේ විදියට මාව අසරණ කරන්නෙ...? මෙච්චර කාලෙකට ගෑනියෙක් ඉස්සරහ පරාද නොවෙච්ච මං ඇයි අද මේ විදියට ඔයා ළඟ පරාද වෙමින් ඉන්නෙ... ඇයි මට වෙනද වගේ...’
මුවෙන් නිකුත් කළයුතු වදන් සිය දෙනෙත්වල පමණක් සටහන් කරගෙන සිටි ප්‍රතිෂ්ඨ එම වදන් සචේතනීට කියවාගත හැකි ද යන්න පිළිබඳ විමසිලිමත් විය. එහෙත් ඇය එම වදන් කියවාගැනීමට අසමත් වුවා ය; ඇය ඒ වෙනුවට ඔහුගේ දෙනෙත් කියවාගත්තේ මෙලෙසින.
‘‘මං දන්නව... ඔයා මං මෙහෙම හැසිරෙයි කියල ඔයා කවදාවත් හිතන්නැතුව ඇති. මං ඔයාට බොරු කිව්ව මදිවට දැං...’’
ඇයට ඉනි’දිරියට කිසිවක් ම පවසාගත නොහැකි වූයේ ප්‍රතිෂ්ට, එතෙක් ඇගේ ඉඟ වටා දවටා සිටි වමත ක්ෂණිකව ම ඉවත් කර ඒ අත්ලෙන් ඇගේ මුව ආවරණය කළ බැවිනි.
‘‘ඇති ඇති සචේති ඇති... ඔයා හිතන විදිය වැරැදියි... මං ඔයා ගැන වැරැදි විදියට හිතන්නෑ... මට තේරෙනව... ඔයාට ඕන කරන්නෙ ඔයාගෙ හිතේ තියෙන ලොකු බරක් සැහැල්ලු කරගන්න. මං... මං කැමතියි ඒ බර උහුල ගන්න; යාළුවෙක් විදියට... ඔවු... යාළුවෙක් විදියට...’’
ප්‍රතිෂ්ඨ එසේ පැවසුවේ අවංකව ම ය. ඒ, සචේතනි දුටු පළමු මොහොතේ ඇය පිළිබඳ ඔහුගේ සිතට ඇතුළු වූ රාගික සිතුවිල්ල මේ මොහොතේ ඔහුගේ සිතෙන් පලවා හැර ඇති බැවිනි.
‘‘යාළුවෙක් විදියට...!’’ යැයි පැවසූ ඇය ක්ෂණයෙන් එතෙක් සිටි ඉරියව්ව වෙනස් කරමින්, කය ඍජු කර. දෑතින් ම ප්‍රතිෂ්ඨගේ බඳ වෙළාගෙන, සවිධග ඔහුගේ උරිස මත තබා පූර්ණ ස්මිතයක් පෑවා ය. ඒ ස්මිතය කියා පෑවේ ඇය මෙතෙක් සිටි මානසික ව්‍යාකුලත්වයෙන් මිදී කිසියම් ප්‍රහර්ෂණාත්මක බවකින් පසුවන බවයි.
දෑඟිලි එකිනෙක පටලවා දෑතින් ම ප්‍රතිෂ්ඨ වෙළාගත් සචේතනී ඔහුගේ උරිස මත තබා සිටි ඇගේ සවිධගින් ද එය මඳක් තෙරපමින් ‘‘ම්ම්ම්... යාළුවෙක් විදියට කිව්ව නේද...?’’ යැයි විමසුවේ හතළිස් තුන් වියැති ගැහැනියක ලෙස නොව විසිතුන් වියැති තරුණියක ලෙසිනි.
‘‘ඔවු... මගේ සමීපතම මිතුරියක් විදියට... ඇයි එහෙම ඇහුවෙ...?’’
‘‘ම්ම්ම්... එහෙම ඇහුවෙ ද... හරි... එතකොට... මං ඔයාගෙ සමීපතම මිතුරියක්... ඔයා මගේ සමීපතම මිතුරෙක්... එතකොට ඒ මිතුරයි මිතුරියි අතරෙ... මේ... මොනව හරි සීමා මායිම් තියෙනව ද... මං කියන්නෙ මේ සාම්ප්‍රදායික සීමා මායිම්... මොකද අපි දෙන්න විරුද්ධ ලිංගිකයො දෙන්නෙක් නෙ... හැබැයි දෙන්නට දෙන්න හොඳ යාළුවෙකුයි යෙහෙළියකුයි...’’
සචේතනි එසේ විමසා අවසන් වන විට එතෙක් ප්‍රතිෂ්ඨ ගේ බඳ වටා වෙළී තිබූ ඇගේ දෑත් ඔහුගේ ගෙල වටා එතී තිබිණ; මෙතෙක් දෙපා පොළොවේ තබා සිටි ඇය එක් පාදයක් දණිස අසලින් නවා සෝපාව මත තබා තිබුණා ය.
ඇය විමසන්නේ කුමක් ද යන්න පිළිබඳ පුර්ණාවබෝධයක් මේ වන විට ප්‍රතිෂ්ට හට තිබිණ. එහෙත් ඒ කිසිවක් නොවැටහුණා සේ රඟපෑ ඔහු ‘‘මට තේරුන්නෑ...’’ යැයි පැවසුවේ ඔහුගේ දෑත් ද ඇගේ දෙඋර මත තබන අතර ය.
‘‘අයියෝ... මෝඩය... ඇයි අනේ මං අර කලිං දවසකත් අර කෝල් කරන වෙලාවෙ කිව්වෙ... මං ඔයාගෙ හොඳ ම මිතුරිය විදියට ඉල්ලන ඕනම උදවුවක් කරන්න ඔයාට පුළුවන් නේද කියල...’’
‘‘ඔවු... කරන්න පුළුවං ඕන ම උදව්වක්...’’
ප්‍රතිෂ්ඨ ද පිළිවදන් සැපවූයේ උදව්ව කුමක් ද යන්න ඇගේ මුවෙන් ම පවසන්නට ඉඩ හසර විවර කරමිනි. එහෙත් ඇය ද එය තව දුරටත් කල් තැබුවේ ‘‘හරි... අපි ඊට කලිං කාල ඉමුකො... ඔයා වොෂ් එකක් දානව ද...?’’ යැයි විමසන අතර ම ප්‍රතිෂ්ඨගේ ගෙල මත රඳවා තිබූ ඇගේ දෑත් ඉන් මුදවාගෙන අසුනෙන් ද නැගී සිටින අතර ය. ඒ අතර එතෙක් ඇගේ දෙවුර මත තබා තිබු ප්‍රතිෂ්ඨගේ දෑත් ද ස්වයංක්‍රියව ම පහත වැටිණ.
ඉවර නෑ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/06/16
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්