පැහැරගෙන ගොස් අතුරුදහන් කර සිටි දෙදරු පියකු දින විසි පහකට පසු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් පොලිස් ස්ථානයකට බාරදී තිබේ.


එම කාලය තුලදී ඔහුට වද හිංසා පමුණුවා ඇති බව අනාවරණය කරන සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් පවසන පරිදි ඔහුගේ ජීවිතය බේරී ඇත්තේ අතුරුදහන් කිරීම ගැන අම්මා විසින් ජනමාධ්‍ය හමුවේ කළ හෙළිදරව්ව නිසාය.

“ඒ අතුරුදහන් කරන කාලසීමාව තුළ දැඩි ලෙස ඔහුට පීඩනය එල්ල කරලා තියනවා. ඔහුට වද හිංසා පමුණුවලා තියනවා. වෙන එකක් තියා ඔහුව අරන් ගිහිල්ලා දණ ගස්වලා හිසට වෙඩි තියන්නත් සුදානම් වෙලා තියනවා,” යි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ  කමිටුවේ සභාපති සුදේශ් නන්දිමාල් සිල්වා පවසයි.

2023 වසරේ මාර්තු 27 වැනිදා  සවස ආහාරය සදහා පාන් ගෙඩියක් රැගෙන ඒමට කඩයට ගිය අවස්ථාවේ හොරොව්පතාන පොලිස් බල ප්‍රදේශය තුලදී කපිල කුමාර අතුරුදහන්ව තිබුනි.

 

ඔහුගේ මව වන කුමුදුනී ජයසේකර දිගින් දිගටම චෝදනා කර තිබුනේ සිය පුතු පැහැරගෙන ගොස් අතුරුදහන් කීරීම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ බවට තමන්ට විශ්වාස බවයි.

 

එම අතුරුදහන් දෙදරු පියාට අත්වූ ඉරණම හෙලිකරදීමට කටයුතු කිරීම පැහැර හරින බවට චෝදනා ලබන පොලිසිය වින්දිතයන්ගේ සාක්ෂි සටහන් කිරීමට යොමු වී තිබුනේ ද  සිරකාර අයිතිවාසිකම් ක්‍රියාධරයන් උසාවි යාමෙන් අනතුරුවය.

පැහැරගෙන ගොස්  අතුරුදහන්කර සිටි සිය පුතු වන කපිල කුමාර දින 25කට පසුව අප්‍රේල්  21 දින රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් පිටිගල පොලීසියට භාර දී තිබු බව කුමුදුනී ජයසේකර මාතාව කියා සිටී.

ඇය වැඩි දුරටත් සදහන් කරන්නේ  අප්‍රේල් 22 දින ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවයි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සුදේශ් නන්දිමාල් සිල්වා මැයි 2 වැනිදා කොළඹ දී කියා සිටියේ මෙම පැහැරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සම්පුර්ණයෙන්ම සම්බන්ධ බවට තොරතුරු ලැබෙමින් පවතින බවයි.

“දැන් අපිට තොරතුරු ලැබෙමින් පවතිනවා මේකට සම්පුර්ණයෙන්ම STF එක සම්බන්ධයි කියලා. කිසිම නිත්‍යානුකුල නොවන ආකාරයට තමයි ඔහුව අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි කරලා තියෙන්නේ පැහැරගැනීමක්. පැහැර ගෙන ගිහිල්ලා දින 25 ක් අතුරුදහන් කරන්නේ.”

සිය පුතු  සොයා ගැනීම වෙනුවෙන් කුමුදුනී ජයසේකර මාතාව සිදු කරන අරගලය මාධ්‍ය මගින් දැකගත් කපිල කුමාර පැහැරගත් පිරිස ඔහුගේ මව සහ පියා ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සුදේශ් නන්දිමාල් සිල්වා වැඩි දුරටත් පවසන්නේ.

“පස්සේ ඒ කපිල කුමාරගේ අම්මා මාධ්‍යයෙන් කතා කරපුවා දැකලා කියලා තියනවා උබ අද බේරුනා. උබගේ අම්මට කියපන් මාධ්‍යවලට එන්න එපා. මාධ්‍යට ආවොත් උබලගේ අම්මවයි, තාත්තවයි දෙන්නවම මරනවා කියලා කපිල කුමාරට කියලා තියනවා.”

ගෝනපීනුවල කපිල කුමාර සිල්වා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඔහුට සිදු කර ඇති වධහිංසා සම්බන්ධයෙන්ද එම නිලධාරීන්ට එරෙහිව කඩිනමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සුදේශ් නන්දිමාල් සිල්වා වැඩි දුරටත් සදහන් කලේය.




 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්