ලොව පුරාම එක් එක් භූගෝලීය කළාපයන් ට, එක් එක් ජන වර්ගයන් ට, එක් එක් සංස්කෘතීන් ට විශේෂිත වූ සංගීත අනන්‍යතාවයන් පවතී.
දකුණු ආසියාවට පොදු සංගීත අනන්‍යතාවන් අතරින් ලංකාවට ප්‍රත්‍යෙක වූ සංගීත අනන්‍යතා ලක්‍ෂණ සොයා ගැනීම සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණයන් සහ ඥාණ විභාගයන් දුලබ නොවන්නේ නොවේ.
වෙසෙසින්ම 20 වන සියවසේ ආසියානු යටත්විජිත සමාජයන් වල සිදු වූ ගැඹුරු දේශපාලනික, සමාජ සංස්කෘතික, ඓතිහාසික පරිවර්තනයන් ගේ බලපෑමත් සමගම, ස්වදේශික උගතුන් විසින් මෙවන් පර්යේෂණයන් සිදු කරන්නට යෙදුණු බව පෙනේ. එමෙන්ම 17 වන සියවසේ සිට යුරෝපියානු උගතුන් ද, සිලෝනියානු සමාජය විග්‍රහ කැර ගැනීමෙහි ලා, එහි වූ සංගීත අනන්‍යතාවන් බහු වෛෂයික පදනමකින් පර්යේෂණයට පාත්‍ර කළ අවස්ථා ද තිබේ.
නූතන සිංහල සංගීත අනන්‍යතාවන් සම්බන්ධව කෙරෙන සොයා බැලීම් වල බහුලව දක්නට ලැබෙන පොදු ලක්ෂණය නම්, ඒවා මහා මූලාශ්‍ර මත පදනම් වීම හා ජනප්‍රියවාදී ආස්ථානයන්ට සීමා වීමය. ඩබ්. බී. මකුලොලුව මහතාගේ 101 වැනි ජන්ම දිනය නිමිති කරගෙන පැවැත්වෙන මෙම සංකථනයේදී අපගේ උත්සාහය වන්නේ කේවල අර්ථයකින් ඔහු මෙරට සංගීතයට කළ සේවය අගය කිරීම නොව පූළුල් සමාජ, දේශපාලන අවකාශයක් මත පිහිටා, බහු වෛෂයික ප්‍රවේශයකින් සිංහල සංගීතයේ අනන්‍යතාව විමසා බැලීමය.
මෙවැනි සංකථන කාලීනව පැවැත් වීම The MusiCulture පර්යේෂණ අංශයේ අදහසයි. (සංවාදයෙන් පසු ජන සංගීත වැඩසටහනක් ද පැවැත්වේ) ආරාධිතයන් සඳහා පැවැත්වෙන මෙම වැඩසටහන උනන්දුව දක්වන සීමිත පිරිසකට ද විවෘත කිරීමට සංවිධායකයන් අදහස් කරයි. මෙම අයදුම්පත සම්පූර්ණ කර ඔබේ අසුන වෙන්කර ගන්න.
