රන්වන් පාටින් ආලෝකය විහිදුවමින් යාපනය අහසින් හිරු බැස යමින් තිබිය දී සිය අධ්‍යාපන කටයුතු වෙත අවධානය යොමු කරගෙන සිටි
එවකට පළමු වසරේ සිසුවෙකු වූ සතූර්ශන් හට යමෙක් ඔහු වෙත එන හඬ ඇසුණි.
"ඒයි," ඔහු සතූර්ශන් ව ඇමතුවේ ය. "අන්න සීනියර් අයියා කෙනෙක් තමුන්ට කාමරයට එන්න කිව්වා," ඔහු දෙමළ බසින් පැවසුවේ ය. තමාව කැඳවන කාරණය නිශ්චිතව ම දැන සිටි සතූර්ශන් එම ගමන නොයෑමට තීරණය කළේ ය. "මේ විදිහට රැග් සීසන් එකේ දී ගොඩක් අය උත්සහ කළා මගෙන් වෙනත් ප්‍රයෝජන ගන්න," ඔහු අප සමඟ පැවසුවේ ය.
මඩකළපුව දිස්ත්‍රික්කයේ, සායින්දමරුදු ප්‍රදේශයේ උපත ලැබූ 26 හැවිරිදි සතූර්ශන් මේ වන විට යාපනය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය හදාරමින් සිටියි. නවයොවුන් වියේ දී සිය ලිංගික නැමියාව ඇත්තේ සමාන ලිංගිකත්වයක් ඇති අයට බව ඔහු වටහා ගන්නා විටත් ඔහු තුළ තිබූ සුවිශේෂී ලක්ෂණ ඔහු විසින් ම නිරීක්ෂණය කර තිබුණි.
"පොඩි කාලෙ ඉඳලා මම හරිම තැන්පත් ළමයෙක්. මම ඇවිදින විදිහ, කතා කරන විදිහ ස්ත්‍රී ලාලිත්‍යක් තිබුණත් පොඩි කාලෙදී ඒවාගෙ අවබෝධයක් තිබුණේ නෑ," ඔහු පවසයි. කුලී කම්කරුවෙකු ලෙස සේවය කළ සිය පියාගේ වැටුප පවුල නඩත්තු කිරීමට තරම් ප්‍රමාණවත් නොවූ නිසා ඔහු ද වයස අවුරුදු 14 සිට විවිධ රැකියාවන්ට ගොසින් පවුලේ අයට බරක් නොවන් සේ සිය අධ්‍යාපනයට මුදල් සොයාගත් බව ඔහු පවසයි.
‘නර්තනය හැදෑරීම ගැන පවුලේ ඇතැම් සාමාජිකයන් විරුද්ධ වුණා’
ඔහු කුඩා කාලයේ සිට ම නර්තනයට උනන්දුවක් දක්වා ඇති අතර නර්තන ක්ෂේත්‍රයෙන් ඔහු අධ්‍යාපන කටයුතු හැදෑරීමට සිය පවුලේ ඇතැම් සාමාජිකයන් විරුද්ධ වූ බව ඔහු පවසයි. "මගේ තිබුණු ලාලිත්‍ය වගේ ගතිලක්ෂණ නිසා මගේ පවුලේ සමහර අය බය වුණා මම නැටුම් ඉගෙන ගන්න යන්නේ කාන්තාවක් වගේ ජීවත් වෙන්න කියලා. එහෙම නැතිනම් මම ජීවත්වෙන්න යන විදිහෙන් ඔවුන්ට ලැජ්ජාවක් වේවි කියලා. නමුත් මගේ අම්මාත් තාත්තාත් මට සහයෝගයක් දුන්නා."
සතූර්ශන් පවසන්නේ ඔහු ජීවත් වූ ප්‍රදේශයේ ඇතැමුන් ඔහුට අපහාස වන අන්දමේ විවිධ යෙදුම් සහ වචන යොදාගනිමින් ඔහු මඟතොටේ යනවිට පවා උසුළුවිසුළු කළ බවය.
කෙසේවුවත් ඔහුට පැමිණි ආර්ථික හා සමාජීය පීඩනයන් බාධාවක් කර නොගෙන ඔහු නර්තනය පිළිබඳ උසස් අධ්‍යාපනය ලැබීමට සරසවි වරම් හිමිකරගැනීමට සමත් විය.
මුලින් සඳහන් කළ සිදුවීමට ඔහුට මුහුණ දීමට සිදුව ඇත්තේ එලෙස යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසර ශිෂ්‍යයෙකු ලෙස සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කළ මුල් දිනවලයි. කෙසේ නමුත් ඔහු මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනයට පැමිණිලි කළ පසු ඔහුට නිදහසේ සිය අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමට අවස්ථාව හිමි ව තිබේ.
"මම අනිත් අය එක්ක ඉන්න කොට එයාලා මට විශේෂ කෙනෙක්ට වගේ සලකන්නෙ නෑ. සාමාන්‍ය විදිහට සලකනවා. මම විශේෂ කෙනෙක් නෙවෙයි. මමත් සාමාන්‍ය පුද්ගලයෙක්," ඔහු පවසයි. "මගේ ලිංගික නැමියාව කියන්නේ මගේ පුද්ගලික දෙයක්. ඒකෙන් මම කවුද කියලා මනින්න බෑ."
ඔහු පවසන්නේ කුමන ආකාරයක ආදරයක් වුවත් එය හුදෙක් ආදරයක් ම මිස වෙනස් දෙයක් නොවන බවයි. "මට ආදරවන්තයෙක් ඉන්නවා. මමත් හරිම සාමාන්‍ය විදිහට අනෙක් අය වගේ ම ආදරය කරනවා," සතූර්ශන් පවසයි. "මමත් මම ආදරය කරන කෙනාගෙන් රැකවරණය, ආදරය, ගෞරවය බලාපොරොත්තු වෙනවා."
විශ්වවිද්‍යාලයේ විෂය බාහිර වැඩ සමඟ අනෙකුත් සිසුන් සමඟ මුහුවීමට ඔහුට අවස්ථාව හිමි වී ඇති අතර වෙනස්කොට සලකනවාට වඩා ඔහුට සාමාන්‍ය සිසුවෙකු ලෙස ම අනෙකුත් සිසුන් සැලකීම ඔහු අගය කළේ ය.
වර්තමානය වන විට ඔහු භරතනාට්‍යම් නර්තනය හදාරන අතර සමාජයේ ප්‍රශ්න පිළිබිඹු කරන ප්‍රකාශනාත්මක නර්තන නිර්මාණයන් කරයි. එමෙන් ම ඔහු සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ද කටයුතු කරයි.
"අපට සමාජයෙන් එන චෝදනාවක් තමයි LGBT+ අනන්‍යතාවයන් තියෙන අය ඒ අනන්‍යතාවය යොදාගෙන කැපී පේන්න හදනවා කියන එක. නමුත් ගොඩක් වෙලාවට සිදුවන්නේ සමහර පුද්ගලයන් විසින් ම අපි ව විශේෂයි කියලා සලකන එක," සතූර්ශන් පවසයි.
කෙසේනමුත් ඔහු පවසන්නේ ලිංගික සුළුතර ප්‍රජාව ද මෙම චෝදනාව පිළිබඳ සලකා බැලිය යුතු බවයි. "සමාජයට පණිවුඩයක් දෙන නිර්මාණාත්මක දේවල් සහ සමාජයට සේවයක් කළ හැකි දේවල්වලින් සමාජය තුළ අපේ අනන්‍යතාවය ගොඩ නගා ගන්න ඕනෑ කියල මම හිතනවා," ඔහු පැවසුවේ ය. නමුත් තමාට හිමි වූ ආකාරයේ අධ්‍යාපනයක් ලැබීමට බොහෝ අයට අපහසු බව ඔහු පිළිගත්තේ ය. එනිසා බොහෝවිට එම පුද්ගලයන් සමාජයේ විවිධ දුෂ්කරතාවයන්ට ලක්වන බව ඔහු සඳහන් කළේය.
“ 'පො' අකුරෙන් පටන් ගන්න වචනයක් කියලා ගොඩක් අය මට අපහාස කළා”
නැගෙනහිර පළාතේ එක් අන්තයක සිට පැමිණ, වර්තමානයේ දී ඔහු අරමුණු කරගත් ආකාරයට ම නර්තන ශිල්පියෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කිරීමට හැකිවනතෙක් පැමිණි ගමන් මඟ පහසු ගමනක් නොවූ බව ඔහු පවසයි. ආර්ථික අපහසුතා මෙන් ම ඔහුගේ ගතිපැවතුම් නිසා ද විවිධ අභියෝගයන්ට ලක් වන්නට ඔහුට සිදුව තිබේ.
"මේ ගමන ලේසි වුණේ නෑ. 'පො' අකුරෙන් පටන් ගන්න වචනයක් කියලා ගොඩක් අය මට අපහාස කළා. අවශ්‍ය වියදම් කරගන්න සල්ලි තිබුණෙ නෑ. මානසිකව වැටුණු හැම වෙලාවක ම නර්තනයට තියෙන ආශාව මට නැවත කකුල් දෙකෙන් හිටගන්න අවස්ථාවක් හදලා දුන්නා," සතූර්ශන් විස්තර කළේ ය.
සිය මවගේ සහ පියාගේ අවබෝධය ද තමාට මහත් පිටිවහලක් වූ බව ඔහු පවසයි. "වාසනාවකට වගේ අම්මාත් තාත්තාත් මාව තේරුම් ගත්තා. ඒ නිසා මට කවුරු නැතත් මම වෙනුවෙන් මගේ අම්මත් තාත්තාත් ඉන්නවා කියන හැඟීම තිබුණා." ඔහු පවසන්නේ බොහෝවිට LGBT+ අනන්‍යතාවයන් ඇති අය ව පවුල්වලින් පවා පිළි නොගැනීම ඔවුන්ට එල්ල වන ප්‍රභල මානසික පීඩනයක් බවයි.
"තමන්ගෙ පවුල අහිමිවෙනවා කියන්නේ ලොකු වේදනාවක්. ඒ නිසා මම හිතනවා පවුලේ අයගේ අනන්‍යතාවයන්වලට ගරු කරනවා වගේ ම ඔවුන්ගේ ගමන යාමට අවශ්‍ය සහය පවුල වෙතින් ලබා දිය යුතුයි කියලා. අද මම මෙතැන ඉන්නේ මගේ අම්මාත් තාත්තාත් මාව තේරුම් ගත් නිසායි."