1200 x 80 DMirror
 
 

 කුමන හෝ දක්ශතාවකින් හෙබි ශ්‍රීලාංකික පුද්ගලයෙකු වුව ද ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට හෝ ජනප්‍රියත්වයට පත්වන්නේ නම් එය රටට ආඩම්බරයකි. ඒ පිළිබඳ කිසිදු තර්කයක් හෝ විවේචනයක් නොමැත. 
 නමුදු අදාළ පුද්ගලයා එසේ ජනප්‍රියත්වයට හෝ ඇගයීමට ලක්වූයේ කුමක් අරබයා ද යන්න විමසා බැලීමේ දී ඒ සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමු කළ යුතු ය; සාකච්ඡා කළ යුතු ය. එමෙන් ම අදාළ පුද්ගලයා පිළිබඳව නොව ඔහු හෝ ඇය විසින් කරනු ලැබ ඇති කාර්ය පිළිබඳව සාකච්ඡා කළ යුතු ය; වාද විවාද කළ යුතු ය. අදාළ කර්තව්‍යයේ ගුණ දොස් විචාරයට බඳුන් කළ යුතු ය.
 
 මන් ද එසේ නොවුණ හොත් කිසියම් පුදගලයෙක් විසින් කරනු ලබන අවර ගණයේ කර්තව්‍යයක් හෝ නිර්මාණයක් එක පැහැර බදා වැලඳගන්නට, එය අගයන්නට, එයට නොවටිනා අගයක් ලබා දෙන්නට බොහෝ පිරිස් පෙලඹීමට ඉඩ-කඩ පවතී; මේ වන විට ද එය සිදුවෙමින් පවතී. එසේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද, ඒ කුමක් අරබයා ද යන්න දැන් විමසා බලමු.
 
 
මැණිකේ මගේ හිතේ
මුදු වේ නුරා හැඟුම්
යාවී...
ඇවිළේවී...
නෙරියේ නුඹේ නඟේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේවී...
මා හිත ළඟ ම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා
හිත ළඟ ම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ
මුදු වේ නුරා හැඟුම්
යාවී...
ඇවිළේවී...
නෙරියේ නුඹේ නඟේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේවී...
අහ අහ
අහ අහ
ඉතින් එපා මටනං වංගු
ගත හිත නුඹෙ මගෙම හැංගු
ආලේ නුඹටම වලංගු
මැණිකෙ වෙන්නෙපා තව සුනංගු
ගමෙ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹේ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල
මගෙ හිතත් නැහැ මටම මෙල්ල
කෙල්ලේ කෙල්ලේ
වෙලා මගෙ හිත පත්තූ
වෙනවද තව ටිකක් කිට්ටු
මට පිස්සු තද වෙන විදිහට ගැස්සූ
ඔයා දුන්නු ඉඟියට මත්වූ
බඹරෙකි මම තටු ඉස්සු
ඔයා වටකරගෙන රැස්වූ
රොත්තෙන් හිත අරගත්තූ
බඹරා
මා හිත ළඟ ම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා
හිත ළඟ ම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ
මුදු වේ නුරා හැඟුම්
යාවී...
ඇවිළේවී...
නෙරියේ නුඹේ නඟේ
මගෙ නෙත් එහා මෙහා
යාවී...
සිහිවේවී...
මා හිත ළඟ ම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා
හිත ළඟ ම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා
 
ගීතයේ සුලමුල:
 
 
thequint 2021 09 9437b7e9 5195 41d0 a55c 0453656b3861 241731675 207123358007738 5986380215129761011 n.jpg 
මෙම ගීතය සහ එහි සිවුවන ඉදිරිපත් කිරීම (සිවුවනුවට ගායනා ) කළ යොහානි දිලේකා ද සිල්වා මේ වන විට ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇත. එමෙන් ම මේ වන විට ඒ සම්බන්ධයෙන් විවිධ මත සමාජ ගතවී ඇත. 
 
එම මත ද එක් එක් පාර්ශ්ව වනුවෙන් බව ඒ ඒ මත පිළිබඳ අවදි සිහියෙන් විමසා බලන විට වැටහේ. එහෙයින් පළමුවෙන් ම මෙම ගීතයේ උපත පිළිබඳ අවධානය යොමු කරමු.
 
මෙම ගීතයේ රචකයා වන්නේ දුලාන් හෙවත් ARX යනුවෙන් හැඳින්වෙන තරුණ නිර්මාණ ශිල්පියා ය. එම ගීතයට සංගීතය සහ තනුව නිර්මාණය කර ඇත්තේ (පළමුව නිර්මානය කර ඇත්තේ තනුව බව සලකන්න) තවත් තරුණ සංගීත නිර්මාණ ශිල්පියෙකු වන චමත් සංගීත් නමැති නිර්මාණකරුවා ය.
 
 පළමු වරට මෙම ගීය සමාජගත කෙරෙන්නේ 2020 (මාසය සහ දිනය අන්තර්ජාලයේ සොයාගත නොහැකි විය.) වසරේ දී ය. ඒ, හඬපටයක් (audio) ලෙස පමණි. එම ගීතය ගායනා කරන්නේ සතීෂාන් රත්නායක නමැති යොවුන් ගායන ශිල්පියා ය. 
 
 
 

 
 
 

 
 
ගිතයේ රැප් (RAP) කොටස ගයන්නේ ගිත රචකයා වන දුලාන් ය. අනතුරුව මෙහි විඩියෝපටයක් 2020/ 07/1වන දින අන්තර්ජාලයට එක් කර ඇත. පසුව එම ගීතය ම පළමු ගායකයා සහ යොහානි දිලේකා ද සිල්වා ගායනා කර ඇත. (එහි දි රැප් කොටස ගයන්නේ ද සතීෂාන් රත්නායක ය.) 
 
මෙම අවස්ථා තුනෙහි දී ම පළමු ගීතයේ අන්තර්ගත රැප් කොටස ද අන්තර්ගත ය. සිවුවන පියවර ලෙස සමාජගතවන්නේ යොහානි දිලේකා ද සිල්වා තනිව ම ගායනා කරන (එම විඩියෝවල රැප් කොටස කපා ඉවත් කළා ද එසේත් නොමැති නම් යොහානි පමණක් වෙන ම ගායනා කලා ද යන්න අවිනිශ්චිත ය.) ගීතය යි. 
 
ගීතය වඩ වඩාත් ජනප්‍රියත්වයට පත්වන්නේ ද ඉන් අනතුරුව ය. මේ වන විට එහි කුටප්‍රාප්තිය සටහන් වී ඇත්තේ ඇය ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයට පත්වීමෙන් සහ අදාළ ගීතය වෙනත් භාෂා කිහිපයකින් ම ගායනය කර එළිදැක්වීමෙනි.
 
 
 
බුද්ධිමය අයිතිය සහ සදාචාරය:
 
 
යට කී පරිදි ‘‘මැණිකෙ මගේ’’ ගීතය අහම්බයක් හෝ යොහානි දිලේකා ද සිල්වාගේ තනි භුක්තියට හිමි ගීතයක් නොවේ. ඇය එහි සිවුවන පාර්ශ්වය යි; ඇය නියෝජනය කරන්නේ ඇගේ ගායන ශෛලිය පමණි. එකී ගායන ශෛලිය කෙරෙහි ඇතිවූ කිසියම් ආසක්තභාවයක් හේතුවෙන් හෝ වෙනත් කුමන හේතුවක් මත හෝ මේ වන විට එම ගීතය පිළිබඳ අවධානය යොමු කරන කිසිවකු එහි ආරම්භය හෙවත් උපත පිළිබඳ අවධානය යොමු නොකරති.
 
 මෙම ඛේදවාචකයට ගොදුරු වූ වෙනත් නිර්මාණ ද බහුල ය. මේ සම්බන්ධයෙන් අදාළ නිර්මාණ හිමිකරුවෝ සහ හිමිකාරියෝ නීත්‍යනුකුලව කටයුතු කළ අවස්ථා ද පවතී. එහි විශේෂිත අවස්ථා දෙකක් ලෙස ගුණදාස කපුගේට එරෙහි රංබණ්ඩා සෙනවිරත්න නඩුව සහ සංගීත් විජේසූරියට එරෙහි හඩ්සන් සමරසිංහ නඩුව පෙන්වා දිය හැකි ය. 
 
නමුදු මේ වන විට යොහානි සිය තනි බුක්තියට පවරාගෙන ඇති, එසේත් නැතිනම් එහි උත්පාදකයෝ අමතක කර ඇති තත්ත්වයක් තුළ කිසිදු ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවක, රසික රසිකාවක කිසිදු අදහසක් ඉදිරිපත් කර නොමැත. එමතු නොව ගීත රචකයා, සංගීතය සහ තනු නිර්මාණ ශිල්පියා මෙන් ම පළමු ගායන ශිල්පියා ද ඒ සම්බන්ධයෙන් නිහඬ ව්‍රතයක සිටීම ගැටලුසහගත ය. 
 
මන්ද බුද්ධිමය දේපළ හිමිකම් යටතට අදාළව ගායන ශිල්පියා හෝ ශිල්පිනිය පසෙක තැබූව ද රචකයා, තනු නිර්මාණ ශිල්පියා සහ සංගීත නිර්මාණ ශිල්පියා යනු අදාළ ගීතයේ නිත්‍ය හිමිකරුවෝ ය. ඔවුහු සිය බුද්ධිමය දේපළ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. නමුදු ඔවුන් ඒ කෙරෙහි සැලකිල්ලක් නොදක්වන්නේ නම් අනෙකෙකුට ඇති ගැටලුව කුමක් දැයි කිසිවකු ප්‍රශ්න කළ හැකි ය. 
 
එසේ ප්‍රශ්න කරන කිසිවෙකු වේ නම් එම පුද්ගලයා කිසිදු ආකාරයකින් ප්‍රේක්ෂකයෙකු, ප්‍රේක්ෂිකාවක, රසිකයෙකු හෝ රසිකාවක විය නොහැකි ය. මන්ද කිසියම් නිර්මාණ ශිල්පියෙක් හෝ නිර්මාණ ශිල්පිනියක කුමන හෝ නිර්මාණයක් බිහි කරන්නට දරන ප්‍රයත්නය දරුවකු බිහිකරනවා හා සමාන ය.
 
 ඇතැම් විට මෙම ගීත රචකයා මේ පිළිබඳව අවධානය යොමු නොකරන්නේ අදාළ ගීතය රචනා කරන්නට ඔහු එතරම් වෙහෙසක් නොගත් හෙයින් ද විය හැකි ය. මන්ද ඔහු You Tube නාලිකාවක් සමග කළ සාකච්ඡාවක දී පවසන්නේ ඔහුට තනුව ලැබී පැය කිහිපයක් ඇතුළත ගීතය ලියා නිම කළ බවයි. එසේ රචනා කරන ගීත කෙතරම් දුරට සාර්ථක ගීතයක් (ජනප්‍රිය ගීතයක් නොවේ) බවට පත්වන්නේ ද යන්න පිළිබඳව ද අවධානය යොමු කළ යුතු ය.
 
 
ගීතයේ හැඩරුව සහ ගායනයේ හැඩරුව
 
 
 
ගීත රචකයාට අනුව මෙම ගීතය හොඳ ගීතයකි. ඔහුට අනුව ඔහු ඒ සඳහා භාවිත කර ඇත්තේ සිංහල භාෂාවේ ලස්සන ම වචන ය. ලස්සන වචන භාවිත කළ පමණින් ම ‘‘හොද ගීතයක්’’ නිර්මාණය කළ හැකි ද? එසේ කළ හැකි නම් සහ මෙම ගීතය ‘‘හොඳ ගීතයක්’’ යැයි කිසිවකු පවන්නේ නම් මීට වඩා ‘‘හොඳ ගීත’’ මීට පෙර ලියවී සහ ගායනා කර නැති ද යන්න ද විමසා බැලිය යුතු ය.
 
‘‘මැණිකේ මගේ හිතේ’’ ගීතයේ සමස්ථාර්ථය ගෙන බැලූ විට දක්නට ලැබෙන ප්‍රධාන ම ලක්ෂණය වන්නේ එය ශෘංගාරාත්මක ගීතයක් බවයි. ඒ අරුතෙන් ගත් විට මෙම ගී පද රචනයට වඩා අර්ථවත් ශෘංගාරාත්මක ගීත කෙතරම් තිබේ ද? 
 
එමෙන් ම ඒ ඇතැම් ගීතවල අඩංගු ශෘංගාරාත්මකභාවය හේතුවෙන් ම අදාළ ගීත පිළිබද දැඩි විවේචන එල්ල වු අවස්ථා කෙතරම් පවති ද? නිර්මාණය පමණක් නොව ඇතැම් අවස්ථාවල දී අදාළ ගීත රචකයා හෝ රචකාව ද සමාජ ගැරහුමට ලක්වු අවස්ථා අනන්ත ය; අප්‍රමාණ ය. 
 
 

 
ඒ අතුරෙන් මේ මොහොතේ එක් වර ම සිහියට නැගෙන්නේ වසන්ත දුක්ගන්නාරාල විසින් රචිත ගීත යුගලකි. එක් ගීතයක් නම් ‘‘අහංකාර නගරේ’’ ගීතය යි. අනෙක් ගීතය ‘‘සොකරි නුඹ හැඩකාරයි කටකාරයි’’ නම් ගීතය යි. මෙම ගීත දෙක ම දැඩි ශෘංගාරාත්මක රසයක් දනවන ගීත ය. නමුදු මෙම ගීත සමාජගතවූ සමයේ ඊට බරපතළ දෝෂාරෝපණ එල්ල විය. ‘
 
 

 
 
‘සොකරි’’ ගීතයේ අන්තර්ගත ‘‘කංසා’’ යන වදන පවා තහනම් කෙරිණ. තවත් පසෙකින් ගත් විට සරත් ද අල්විස් විසින් රචිත, මේරියන්ස් කණ්ඩායමේ නායක නලින් පෙරේරා ගායනා කළ ‘‘පැණි කොමඩු ගෙඩිය’’ ගීතය සම්බන්ධයෙන් ද මෙබඳු ම ප්‍රහාරාත්මක විවේචන එල්ල විය. 
 
ඒ, කාන්තාවක සහ ඇගේ අගපසඟ වර්ණනා කිරීම සඳහා සාම්ප්‍රදායික නොවන උපමා, උපමේය සහ රුපක යොදාගත්තා යැයි චෝදනා නගමිනි. ‘
 
 
 

 
‘මැණිකේ මගේ හිතේ’’ ගීතයට සාපේක්ෂව ගත් විට එම ගීතය ද ඉතා ශෘංගාරාත්මක රසයක් පිළිබිඹු කරන ගීතයකි. එබදු ශෘංගාර රසයක් පිළිබිඹු කරන ‘‘පැණි කොමඩු ගෙඩිය’’ ගීතයට චෝදනා කරන පිරිස ම පි. බී. අල්විස් පෙරේරා කාන්තාවකගේ පියවුරු ජපන් බැලුම් යුගලකට සමාන කිරීම සම්බන්ධයෙන් නිහඩව සිටියේ ය; 
 
වර්තමානයේ ද එලෙස නිහඬව සිටිති. ඒ, ඔහු ‘‘පී. බී. අල්විස් පෙරේරා‘‘ නිසා විය හැකි ය; ඔහු සාම්ප්‍රදායික උපමා, උපමේය යනාදිය පසෙක ලෟ බව කිසිවකුට ගැටලුවක් නොවූයේ ඇයි. (එසේ කිරීම වරදක් ලෙස මෙයින් අදහස් නොකෙරේ) දුලාන් RAX විසින් රචිත ‘‘මැණිකේ මගේ හිතේ’’ ගීතය ජනප්‍රියත්වයේ ඉහළ ම තලයේ වැජඹෙන්නේ මෙවන් වාතාවරණයක් තුළ ය.
 
 
ජනප්‍රියත්වයේ රහස
 
 
 
අති ශෘංගාරාත්මක රසයක් පිළිබිඹු කෙරෙන එම ගීතය මෙතරම් ජනප්‍රියත්වයට පත්වීමේ රහස කුමක් ද? මේ සදහා විවිධ පුද්ගලයෝ සහ කණ්ඩායම් විවිධ මත පළ කළ හැකි ය. ඒ ඔවුනොවුන්ගේ බින්න රුචිකත්වය අනුව ය. මා මගේ අදහස ඉදිරිපත් කරන්නේ ද මගේ බින්න රුචිකත්වය සහ මගේ දැක්ම අනුව ය.
 
ලිපිය ආරම්භයේ දක්වා ඇති පරිදි ගීතයේ ඉතිහාසය දෙසට යොමු වු විට දක්නට ලැබෙන ප්‍රධාන ම කරුණ නම්, මෙම ගීතය කෙතරම් ශෘංගාරාත්මක රසයක් පිළිබිඹු කළ ද එය පළමු සහ දෙවන වටයේ මතු නොව තෙවන වටයේ දී පවා එතරම් ජනප්‍රියත්වයට පත් නොවන්නේ පද රචනය, තනුව, සංගීතය සහ ගායනය ඒකමානීය නොවුණ බැවිනි. 
 
එනම්, රසික ප්‍රජාවට ගීතයේ රසය උකහාගන්නට ගායන ශිල්පියාගේ ගායන විලාසය සහ ඔහුගේ හඬ ගෝචර නොවීම ය; ගීතයේ සියුම්භාවය ඔහුගේ කටහඬ සහ ගායන විලාසය හේතුවෙන් යටපත්වීම ය. 
 
 
 
yohani
 
යොහානි ජය ගන්නේ එකී අභියෝගය යි. ඇගේ ගායන විලාසය, කටහඬ මතු නොව ඇගේ රූප සොබාව ද එයට බලපැ බව නොරහසකි. එමෙන් ම මෙම ගීතයයේ රසය උද්දීපනය වන්නේ සතීෂාන්ගේ රළු කටහඬෙන් නොව යොහානිගේ මෘදු කටහඩ තුළිනි. 
 
ගීත රචකයා මෙන් ම තනු නිර්මාණ ශිල්පියා සහ සංගීත ශිල්පියා වන චමත් සංගීත් මේ පිළිබඳව අවබෝධයෙන් පසු වූවා නම් යොහානිගෙන් පසුව ලද ජනප්‍රියත්වය තරමට ම නොවුණ ද ඇයට පෙර පැවති ජනප්‍රියතාව ඉක්මවන ජනප්‍රියතාවක් අත්කරගන්නට හැකියාව පැවතුණු බව මගේ පුද්ගලික විශ්වාසය යි.
 
 ඇතැම් විට ගීතයේ පළමු හිමිකරුවන් තිදෙනා ම මේ වන විට එය අවබෝධ කරගෙන සිටින්නට ද පිළිවන. ඔවුන් ගීතයේ බුද්ධිමය අයිතිය පිළිබඳ කිසිදු පියවරක් නොගෙන සිටින්නේ ද එම හේතුවෙන් විය හැකි ය. මන් ද ඔවුන් තිදෙනාට ම අවැසි වන්නේ ඔවුන්ගේ ගීතය ජනප්‍රිය කරවීම ය. 
 
සංගීත ක්ෂේත්‍රයට එය කෙතරම් දුරට හානිකර ද සාධනීය ද යන්න වෙනම සාකච්ඡා කළ යුතු ය.
 
 
 
ගීතය පිළිබඳ මගේ කියවීම:
 
 
 
සමස්තයක් ලෙස ගත්විට මෙම ගීය අයත්වන්නේ ශෘංගාරාත්මක ගීත ගණයට ය. ඒ බව ලිපියේ වෙනත් තැනෙක ද සඳහන්ව ඇත.
 
ගීතයේ පද රචකයා වන දුලාන් ARX  You Tube නාලිකාවක් සමග කළ සාකච්ඡාවක දී මෙසේ පවසයි.
 
‘‘මං හිතන්නෙ නෑ මැණිකේ මගේ හිතේ කියන නිර්මාණය එහෙම හරවත් නැති එකක් කියල. සිංහල භාෂාව දන්න කෙනෙක් නම් ඒකෙ අර්ථය පොඩ්ඩක් හිතල බැලුවොත් තේරෙනව.’’
 
මෙලෙස පවසන ඔහු ගීතය ආරම්භයේ දි ම (දෙවන පේළියේ)  ‘‘මුදු වේ නුරා හැඟුම්’’ (මම කිහිප වතාවක් ම මෙම වදනට සවන් දුන්නේ එය වඩාත් පැහැදිලි කරගැනීම සඳහා ය. එනම් ගයන්නේ ‘‘මෝදු වේ’’ ලෙස වුව ද ඇසෙන්නේ ‘‘මුදු වේ’’ ලෙසින් යැයි සැක සිතුණු බැවිනි.) යනුවෙන් ලියා ඇත. 
 
පළමු පද කිහිපය කැටිකරගත් විට මෙම වදනෙන් ඔහු අර්ථ ගන්වන්නට ඇත්තේ ‘‘මෝදු වෙනවා’’ යන අර්ථය විය යුතු ය. එමෙන් ම එය ‘‘මුදු’’ වෙනවා යනුවෙන් යොදන්නට ඇත්තේ රිද්මයට පහසු වන ලෙස විය හැකි ය. නමුදු වචනාර්ථය පාර්ශ්වයෙන් ගත් විට ‘‘මෝදු වෙනවා’’ යන්නට ‘‘මුදු වේ’’ යන්න කිසි සේත් ම සමපාත නොවේ. එසේ නම් සිංහල භාෂාව දන්නා අය මේ ගීතයේ අර්ථය වටහාගන්නේ කෙසේ ද?
 
අනෙක් පසින් ගත් විට මෙම ගීතයේ වදන් ඇත්තේ අවමයෙනි. වෙසෙස් බවක් දක්වන්නේ එක ම පද පේළිය කිහිප වතාවක් ම ගායනා කිරීම ය. තවත් සරලව පවසන්නේ නම් එක ම දෙය පුන පුනා පැවසීම ය. එම වදන් කිහිපයෙන් පිළිබිඹු වන චිත්තරූපය ප්‍රබල බව ද පැවසිය යුතු ය. එහි විවාදයක් නැත. ගීතයේ ශෘංගාරාත්මකභාවය උද්දිපනය වන්නේ ද එම වදන් කිහිපයෙනි. 
 
නමුදු ඒ ලස්සන වදන්වලට (රචකයා පවසන පරිදි) අවලස්සන යැයි සම්මත වදන් එකතු කිරීමෙන් ගීතයේ ප්‍රබලත්වය අවතක්සේරු වී ඇත. ඒ, රැප් කොටස සඳහා භාවිත කර ඇති වදන් මාලාවෙනි. එම කොටසට ද ‘‘ලස්සන’’ යැයි සම්මත වදන් මාලාවක් ම භාවිත කළේ නම් ඇතැම් විට යොහානි වුව ද ගීතයේ රැප් කොටස ද ඇතුළත්ව ගායනා කරන්නට ඉඩ-කඩ පැවතිණ. 
 
මගේ කියවීමට අනුව නම් ‘‘මැණිකේ මගේ හිතේ’’ ගීතයට සාපේක්ෂව රචකයා භාෂාව (වචන) පිළිබඳ එතරම් අවබෝධයක් ඇති පුද්ගලයෙකු නොවේ. එසේ අවබෝධයක් තිබුණේ නම් රැප් කොටසට එබඳු වදන් මාලාවක් භාවිත නොකරන්නේ ය. මන් ද ගීතයේ ආරම්භය සහ ගලා යාම මෘදු ය; සෞම්‍ය ය; නමුදු අවසන...? එකී මෘදු බව සහ සෞම්‍ය බව පිළිබඳ පුර්ණ අවබෝධයකින් ගීතය රචනා කළේ නම් රැප් කොටසට ද මීට වඩා සුන්දර, සෞම්‍ය වදන් යොදනු නියත ය.
 
උක් දණ්ඩක රස විඳිය යුත්තේ ගසේ ඉහළ සිට පහළට මිස පහළ සිට ඉහළට නොවේ. මෙම ගීතය රස විඳීමේ දී දැනෙන්නේ ද පහළ සිට ඉහළට රසවිඳි උක්දණ්ඩකින් අවසන ලැබෙන රසය බඳු රසයකි.
 
මෙම ගීතය (පද රචනය) රසවත් ගීතයක් ලෙස කිසිවෙකු හඳුන්වන්නේ නම් ලිපියේ යට සඳහන් කළ: ‘‘පැණි කොමඩු ගෙඩිය’’, ‘‘සොකරි’’, ‘‘අහංකාර නගරේ’’ ඇතුළු තවත් බොහෝ ගීත ද රසවත් ගීත ලෙස නම් කළ යුතු ය.
 
 
 
jayasiri 04 e1619629387941.jpg
 
ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක 
2021/10/09
 
 
 
 
 

THE LEADER TV 
 
 
ගෙවල් බිඳින එක වගේ ද මල්ලී, රටක් බිඳින එක?
 

 
 
ලොකුගේ වාසු කැබිනට්ටුවේ ඇරගනී! 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58