ආශාව, ආදරය, බිය, ලිංගිකත්වය යනාදිය ගෙල පලඳනා මුතු දාමයේ මුතු ඇට නම්... ඒ දාමයේ මුතු ඇට කැඩී බිඳි නොයා සුරක්ෂිත කරගත යුත්තේ කෙසේ ද?
කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව ‘‘වජ්ජා’වජ්ජ’’ අද සිට...
දිනපතා ලේඛනාගාරය වෙත පැමිණෙන පුද්ගලයන් අතරේ තමන්ගේ වාරය පැමිණෙන තෙක් පෝලිමේ රැඳී සිටි ප්‍රතිෂ්ඨගේ නෙත් කිරණ වේගයෙන් ගොස් පතිත වූයේ කුඩා ස්කූටරකින් පැමිණ, එය වාහනාංගනයේ නවතා, ඉන් බැසගත් කාන්තාවගේ සිරුර වෙත ය. ඇගේ රුව එක් වරක් දෙනෙතෙහි රැඳුණු පිරිමියෙකු නැවත නැවතත් කිහිප වාරයක් ම තම දෙනෙත් ඒ රූප කායෙහි අලවා නොසිටින්නේ නම් ඔහුගේ දෙනෙත්හි කිසියම් ආබාධයක් තිබිය යුතු ය; එසේත් නොවන්නේ නම් ඔහුගේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ දුර්වලතාවක් තිබිය යුතු ය. ප්‍රතිෂ්ඨ මේ නිමේෂය ගෙවා දමන්නේ තමන් එබඳු ආකාරයේ කිසිදු රෝගී තත්ත්වයක් නොමැති පුද්ගලයෙකු බව මනාව පසක් කරමිනි; පෙනෙන මානයේ සිට ඔහු සිටින ඉම කරා පිය නගන කාන්තාව දෙස වශීකෘතව නෙත් අයා සිටීම ම ඊට කදිම නිදසුනකි.
‘‘ඔය ඊළඟ මහත්ය ඉක්මනට එන්න...’’
මෙතෙක් ප්‍රතිෂ්ඨගේ දෙනෙත් ද, මනස ද රැඳී තිබූ මානයෙන් මුදවාගත් ඔහු ඒ සියල්ල ආරක්ෂක කුටිය වෙත යොමු කළේ එහි සේවයේ නියුතු ආරක්ෂක නියාමකවරිය කෙරෙහි ඇති කරගත් බලවත් අප්‍රසාදයෙනි; අමනාපයෙනි. නමුදු තත්පර තිහකටත් අඩුකාලයක් තුළ දී ඒ අප්‍රසාදයත්, අමනාපයත් මනසින් මකා දමන්නට ප්‍රතිෂ්ඨට හැකියාව ලැබිණ. ඒ, මිනිත්තු දෙකකටත් අඩු කාලයක් තුළ දී ඔහුගේ පියවි සිහිය පවා අවතැන් කළ, මනබඳිනා රූසපුවකින් හෙබි කාන්තාව මඳක් දුරින් වුව ද, ඔහු සිටි පේළියේ ම සිට ගැනීම හේතුවෙනි. සැණින් ඇගේ රූපකාය එක පෙළට සිටගෙන සිටින මිනිස් සිරුරුවලට ආවරණය වුව ද ප්‍රතිෂ්ඨ ඇගේ රුව මනසින් දකිමින් ද, විඳිමින් ද ආරක්ෂක නියාමකවරිය වෙත ගොස් තම අනන්‍යතාව පැහැදිලි කළේ ය. ඉක්බිති ඇය විසින් නිකුත් කරන ලද අවසර පත ද රැගෙන පළමු මහලේ පිහිටි සමීක්ෂණ අංශය වෙත පියනැගුවේ මිනිස් රූ පෙළෙහි මඳක් දුරින් සිටින සුරුපිනියගේ රූපකාය යළිත් වතාවක් තම දෙනෙතට හසු කරගැනීමෙන් ඉක්බිතිව ය.
මේ වන විට හතළිස් දෙහැවිරිදි විවාහක දෙදරු පියෙකු වන ප්‍රවිෂ්ඨට යාන්තම් ගැටවර වියට එළඹෙත් ම ඇසරු කළ කාන්තාවෝ මෙන් ම විවාහයෙන් ඉක්බිතිව ඇසුරු කළ කාන්තාවෝ ද සිහිපත් විණි. එදා මෙදා තුළ කෙතරම් සුරූපී, සුකොමළ කාන්තාවෙන්ගේ පහසින් සන්තර්පණය වී සිටිය ද දැන් මොහොතකට පෙර දුටු ඒ රුව ඔහු තව තවත් තිරිහන් කළා නොවේදැයි හෙතෙම කල්පනා කළේ ය.
දැනට නියැළී සිටින පර්යේෂණය ඇරඹි දා සිට මේ දක්වා ප්‍රතිෂ්ඨ, කිසියම් පුස්කොළ පොතක් අතට ගත් පසු එදෙසට යොමු කළ නෙත් ඉවතට ගන්නේ: තේ පානය සඳහා, දිවා ආහාරය සඳහා හෝ සම්පූර්ණ පුස්කොළ පොත ම පිටපත් කිරීමෙන් අනතුරුව ය. නමුදු අද ඔහුට ඒ වෙනුවෙන් මනෙස් ඒකාග්‍රතාව රැකගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන්නේ පුස්කොළ පොත වෙත යොමු කරණ නෙත් ඔහු ද නොදැනුවත්ව ම නිරන්තරයෙන් පර්යේෂණ කාමරයේ ප්‍රවේශ ද්වාරය වෙත යොමු වන බැවිනි. ඒ, අන් කිසිවක් නිසා නොව ඔහුගේ: මනස, හදවත මතු නොව සකලාංගය ම සලිත කළ රූපකාය කිසියම් මොහොතක පර්යේෂණ කාමරයේ ද්වාරය විවර කරගෙන ඇතුළු වේ ය යන බලාපොරොත්තුවෙනි. පුස්කොළ පොත දෙනෙත් යොමු කරණ නිමේෂයක් නිමේෂයක් පාසා එතුළින් දිස්වන්නේ ද ඒ කාන්තා රුව ම ය. ඇගේ: අක් බඹරු කේශ කලාපය, බිළාල නෙත් පැහැති නෙත් යුගල, ළා තැඹිලි පැහැයෙන් යුත් දෙකොපුල්, දුටු සැණින් ආසක්ත වන ඉදුණු වෙරළු කොළයක පැහැයෙන් යුත් දෙලවන් යනාදි සියල්ල සිහිවන විට ප්‍රතිෂ්ඨගේ සිරුර පුරා සිහින් විදුලි ධාරාවක් ඇදී යන්නා සේ හැඟිණි.
‘රිසර්ච් රූම් එකට එනව නං මෙලහකටත් එන්න ඕන... එහෙම නං කොහොද මේකි ගියේ...?’
ප්‍රසන්න ඔහුගෙන් ම විමසා සිටියේ ඒ පිළිබඳව විමසන්නට අන් කිසිවෙකු ඔහු අස නොසිටි බැවිනි.
‘ෂිඃ... අදනං කිසිම වැඩක් කරගන්න බැරි වෙයි වගේ... කැන්ටිම පැත්තට ගිහිං තේ එකක්කත් බිව්ව නං...’
මනස අභ්‍යන්තරයේ තෙරපෙන සිතුවිලි සිරුරේ සෑම රුධිර නාලිකාවක් තුළට ම පිවිස, ඒ සෑම නහරයක් ම දැඩි වේදනාවකින් පෙළන්නාක් මෙන් ප්‍රතිෂ්ඨට හැඟිණි. එය රාගී සිතුවිල්ලක් ද, එසේත් නොවේ නම් ඇගේ රුව යළි තම දෙනෙත් තුළින් දැක, එහි රස විඳීමේ ආශාවක් ද යන්න නිර්ණය කිරීම පවා අසීරු තත්ත්වයකට ඔහු පත්ව සිටියේ ය. ඔහු ඇසුරු කළ, ඔහුට ආදරය කළ, ඔහු අතැර ගිය හෝ ඔහුගේ ඇසුර බලාපොරොත්තුවෙන් සිටින යනාදි කිසිදු කාන්තාවක් උදෙසා නූපන් විශේෂිත හැඟීමක් එම කාන්තාව කෙරෙහි ඇති වූයේ ඇගේ බාහිර සුන්දරත්වය හේතුවෙන් ද... එසේත් නොමැති නම් ඇය කෙරෙහි ඇති වූ යම් ආත්මීය බැඳීමක් හේතුවෙන් ද යන පැනයට පිළිතුරු සපයාගැනීමට පවා ප්‍රතිෂ්ඨට නොහැකි විණි.
‘‘මොකෝ මහත්තයො මේ බර කල්පනාවක... මොනවද බොන්නෙ... මොනව හරි කන්නත් ඕන ද...?’’
ආපණ ශාලාවේ සේවයේ නියුතු සමන් එක දිගට ප්‍රශ්න කිහිපයක් ම විමසන විට ප්‍රතිෂ්ඨට දැනුණේ ඉවත ලන ආහාර ගිල දැමීමට පැමිණි කපුටන් පිරිසක් ඔහුගේ හිසට කොටනවා බඳු වේදනාවකි.
කිසිවක් ආහාරයට නොගෙන හෝ කිසිවක් පානය නොකර ආපන ශාලාවෙන් බැහැර වුවහොත් ‘‘අර යකාට පිස්සු ද කොහෙද,’’ යැයි ආපණ ශාලා සේවකයා ඔහුට ම පවසා ගන්නා බව ප්‍රතිෂ්ඨ නිසැකයෙන් ම දැන සිටියේ ය. කිසිවකු ඔහු ගැන එසේ සිතනවාට පවා බිය වූ ප්‍රතිෂ්ඨ ලැවරියක් සහ කිරි තේ කෝප්පයක් මිලදී ගෙන ආපණ ශාලාවේ කෙළවරක ම පිහිටි හුදෙකලා බංකුවක අසුන් ගත්තේ නිදහසේ කල්පනා කරන්නට වුවමනා බැවිනි.
‘ලේඛනාගාරෙට එන හැම එකා ම රිසර්ච් රූම් එකට ම එන්නෑ නෙ... සමහරවිට නඩුවකට ඕන කරන ඩොක්‍යුමන්ට් මොනව හරි හොයන්න ආවද දන්නෑ නෙ... එහෙම නං ලොබි එකේ ඉන්න ඕන. ඒත්... එහෙම ලොබි එකේ හිටිය නං මං මෙහෙට එද්දි දකින්න ඕන. සමහරවිට ඒ වෙලාවෙ පී ආර් එකේ හිටියද දන්නෑ නෙ... ෂිඃ... මට තිබුණෙ පී ආර් එකට පොඩ්ඩක් ඔළුව දාල එන්න.’
ප්‍රතිෂ්ඨගේ මනස නොනවතින සිතුවිලි දාමයකින් වෙළී හමාර ය. ලැවරිය සහ කිරි තේ කෝප්පය ඔවුනොවුන්ගේ යුතුකම් ඉටු කිරීමේ මොහොත පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් පසුවිණි. ඒ නිමේෂය තත්පරයෙන් තත්පරය දුරස් වන විට තමන් ශරීරය වෙත බලහත්කාරකම් පානා මැස්සන්ගෙන් බේරාගැනීමට තම ගැනුම්කරුවා හැර අන් කිසිවකු ඉදිරිපත් නොවන බව වටහාගත් ලැවරිය සහ කිරි තේ කෝප්පය සුසුම් ලන්නට විය.
‘හම්ම්ම්... බලමු... චාන්ස් එකක් තියෙනව නං ආපහු යනකොට ඇවිල්ල ඉඳීවි. එහෙම නැත්නං මේ කෙහෙල් මල ඔළුවෙං අයිං කරල වැඩ ටික ඉවර කරගන්න ඕන.’
ස්ථිර නිගමනයකට එළඹි ප්‍රතිෂ්ඨ ලැවරිය දෙවතාවකින් ද, කිරි තේ කෝප්පය තෙවතාවකින් ද නිදහස් කර නැවතත් පර්යේෂණ කාමරය වෙත පියමැන්නේ මඳක් සැහැල්ලු සිතෙනි. නමුදු ඒ සැහැල්ලුව රැඳී පැවතියේ පර්යේෂණ කාමරයේ ද්වාරය විවර කරන තුරු පමණි. මෙතෙක් ඔහුගේ හද මනස කැලඹූ සුරුපිණිය, ප්‍රධාන ද්වාරයට පිටුපා, පර්යේෂණ කාමරයේ දකුණු කෙළවර පිහිටි ගැසට් රාක්කය අසල එහි සේවයේ නියුතු පාලිත සමග කිසියම් කාර්යයක නිරත වී සිටින බව දක්නට ලැබිණ. ප්‍රතිෂ්ට වෙත පිටුපා සිටිය ද: ඇගේ සිරුරේ ඉහළ අර්ධයට කිටි කිටියේ සිර වූ කාළ වර්ණිත බ්ලවුසය, අක්බඹරු කෙස් කළඹ සහ පිරිපුන් නිතඹ දර්ශනීය සිතුවමක් මෙන් ඔහුගේ මනසේ තැන්පත් වී තිබූ බැවින් ඒ රූපකාය හඳුනාගන්නට ඔහු සමත් විණි.
‘හහ්... හහ්... හා... දෙයියො මං ගැන නොසලකා ඉඳල නෑ... දැන් මේ අතේ දුරට ම ළං කරල තියෙන්නෙ... මේ මල නෙළාගන්නව නං ඒක නෙළාගන්න ඕනෙ මලටත් නොදැනෙන විදියට. මොකද... මලට රිදෙව්වොත් දෙයියොත් අමනාප වේවි... ඒ වගේ ම මට දීල තියෙන වරමත් අහිමි කරාවි.’
මුවෙන් නොගිලිහුණු ඒ වදන් සිතුවිලිවලට පමණක් ම සිමා විණි. සන්සුන් මනසකින් යුතුව පැමිණි හෙතෙම පෙර සිටි අසුනේ ම අසුන් ගෙන පුස්කොළ පොත අතට ගත්තේ ඇය පිළිබඳ අවධානය යොමු කරන අතර ම සිය කටයුත්තෙහි ද නිරත වන අටියෙනි. නමුදු ඔහුට ඒකාග්‍ර මනසකින් යුතුව අදාළ කාර්යයෙහි නිරතවන්නට නොහැකි විණි. හෙතෙම පුස්කොළ පොත දෙස ද ඔහුගේ සිත වසඟ කළ කාන්තාව වෙත ද දනෙත් මාරු කළේ පැරණි බිත්ති ඔරලෝසුවක බට්ටා එහා-මෙහා පැද්දෙන ලෙසිනි. එසේ කිරීමෙන් ඔහු බලාපොරොත්තු වූයේ කිසියම් නිශ්චිත මොහොතක ඒ සුරූපිනියගේ දෙනෙත් ඔහුගේ දෙනෙත් සමග සම්මුඛ කිරීම ය. නමුදු එය ඔහු සිතු තරම් පහසු කටයුත්තක් නොවිණි. මන් ද ඔහුට තවමත් දර්ශනය වන්නේ ඇගේ සිරුරේ පසු අර්ධය යි; ඇය තවමත් පර්යේෂණ කාමරයේ සේවයේ නියුතු පාලිත සමග කඩිමුඩි කතා-බහක ය.
මාස ගණනාවක් පුරා ලේඛනාගාරයේ පර්යේෂණ කාමරය පරිශිලනය කිරීමෙන් ලද අත් දැකීම්වලට අනුව ඇගේ අවශ්‍යතාව කුමක් ද යන්න වටහාගැනීම ප්‍රතිෂ්ඨට අසීරු නොවිණි.
‘මං මොකට ද පැනල දෙන්න යන්නෙ...? බලමුකො මොකද වෙන්නෙ කියල,’ යැයි සිතූ ප්‍රතිෂ්ඨ නැවතත් පුස්කොළ පොත දෙනෙතට ග්‍රහණය කරගත්තේ ය.
පුස්කොළ පොත සහ සුරුපිනියගේ රුපකාය වෙත හුවමාරු කළ දෙනෙත්වල සටහන් වු දර්ශනවලට අනුව මේ මොහොත වන විට ඇය පාලිත සමග කළ කතා-බහ තුළින් යම් එකඟත්වයකට එළඹ සිටින බවට වූ සාක්ෂි දක්නට ලැබිණ. ඇය කුමක් හෝ කෘතියක් පිළිබඳ විමසන බව දැන් ප්‍රතිෂ්ඨ හට ප්‍රත්‍යක්ෂ වී හමාර ය. හෙතෙම විවිධ විෂ්‍යයන් පිළිබඳ ලියැවී ඇති කෘති පිළිබඳව යම් දැනුමකින් හෙබි පුද්ගලයෙකු වන අතර ඇතැම් අවස්ථාවල දී මෙම පර්යේෂණ කාමරයේ දී ම සරසවි සිසු සිසුවියන්ට ඔවුන්ගේ නිබන්ධන සඳහා අවැසි පොත් සොයාගැනීමට පහසු ම සහ නිවැරැදි මාර්ග පෙන්වා දී ඇත. ඒ මාර්ග ඔස්සේ ඇවිද ගොස් ඔවුනොවුන්ගේ දුෂ්කර ගමන ඉතාමත් කඩිනමින් මෙන් ම සාර්ථකව අවසන් කළ: සිසු සිසවියෝ ද, ගුරුවර ගුරුවරියෝ මතු නොව ආචාරය මහාචාර්යවරයෝ සහ ආචාර්ය මහාචාර්යවරියෝ ද සිටිති. නමුදු ඒ කිසිදු: සිසුවියක්, ගුරුවරියක්, ආචාර්යවරියක් හෝ මහාචාර්යවරියක් පිළිබඳ මෙබඳු හැඟීමක් නොනැගිණි.
මෙතෙක් වේලා පුස්කොළ පොත වෙත කෙතරම් අවධානය යොමු කර සිටිය ද අද ඔහු එහි අන්තර්ගත එකදු වදනක් හෝ පිටපත් කර නොමැත. ඒ වෙනුවට ඔහු කළේ ඒ නාඳුනන සුරුපිනියගේ රූපකාය තම මනසෙහි සිතුවම් කිරීම ය; බාහිරින් දක්නට ලැබෙන ඇගේ සියලු අංග ප්‍රත්‍යංග දෙනෙතින් නරඹා රස විඳීම ය.
නිරන්තරයෙන් ම පර්යේෂණ කාමරයේ සේවයේ නියුතු පාලිත, ප්‍රතිෂ්ඨගේ සිත් ගත් තරුණයෙකි. මෙම පර්යේෂණය ඇරඹි දා සිට ප්‍රතිෂ්ඨගේ කාර්යාල කාමරය තරමට ම ඔහුගේ දිවියට සමීප වූ එම කාමරය තුළ දී සිදු කළ බොහෝ පර්යේෂණ කටයුතු සඳහා අත් උදව්කරුවෙකු වශයෙන් සහභාගි කරවා ගත්තේ ද පාලිත ය. තමා අසලින් ගමන් කළ පාලිතට හිසෙන් සන් කළ ප්‍රතිෂ්ඨ, ඔහු අසලට පාලිත කැඳවාගෙන ඔහුගේ ගෙලට අත තබා තමාගේ මුවට පාලිතගේ සවන සමීප වනසේ මඳක් පහත් කර ‘‘මොනවද පාලිත අර මිස් හොයන්නෙ...?’’ යැයි රහසෙන් විමසී ය.
‘‘ඇයි සර්... සර්ගෙ හිතේ ඒ මිස් ගැන අනුකම්පාවක් ඇති වුණා ද...?’’
පාලිත ද රහසෙන් විමසුවේ ඔහුගේ මුව පුරා ඔච්චම් සිනහවක් සිතුවම් කරගන්නා අතර ය.
‘‘නෑ... මං දැක්ක ඒ මිස් හුඟක් වෙලා ඔයත් එක්ක කතා කරනව. ඒ නිසා මට හිතුණ එයා ටිකක් අමාරු වැඩකටයි අතගහන්නෙ කියල.’’
පාලිතගේ ඔච්චම් සිනහව මායිම් නොකළ ප්‍රතිෂ්ඨ ද සිනාසෙමින් ම රහසෙන් පැවසී ය.
‘‘ඒ මිස් හාමුදුරු නමකගෙ පොතක් හොයනව. හරියට පොතේ නම දන්නෙත් නෑ. ප්‍රින්ට් කරපු අවුරුද්ද දන්නෙත් නෑ. මහ පිස්සු හටනක්. එහෙම පුළුවන්ද සර් පොත් හොයන්න...’’ යැයි රහසෙන් ම පැවසූ පාලිත එතැනින් ඉවත්ව ගියේ මඳක් ඇතින් සිටි පුද්ගලයෙකු ඔහුට අත වනනු දුටු බැවිනි.
එසැණින් ම ප්‍රතිෂ්ඨ යළි ඒ සුරූපිනියගේ රූපකාය දෙස නෙත් සර විසි කළේ එය අත් හල නොහැකි පුරුද්දක් සේ ය. ක්ෂණයකින් ඔහුට ඔහුගේ ම දෙනෙත් අදහාගත නොහැකි විණි. මන් ද මෙතෙක් ඔහු නොඉවසිල්ලෙන් බලා සිටි අවස්ථාව උදා විය; ඒ සුරූපිනියගේ දෙනෙත් ප්‍රතිෂ්ඨගේ දෙනෙත් සමග සම්මුඛ විය.
ජයසිරි අලවත්ත