හැත්තෑව දශකය යනු ලංකාවේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික ප්රවාහයේ තියුණු පෙරළි සිදු වූ යුගයකි. සංවර්ධන මාවත්වල අසමතුලිතතාවත්, සාම්ප්‍රදායික බැඳීම්වල ග්‍රහණය තවත් තද වීමත් සමග ඒ යුගයේ තරුණ පරම්පරාව මුහුණ දුන් අභ්‍යන්තර අර්බුදය සුළුපටු නොවේ. ගුණසිරි සිල්වා ගේ ‘සමීප ආගන්තුකයා’ නවකතාව එම යුගයේ තරුණ මනසක පැතිරුණු හුදකලාව, කලකිරීම සහ පරාරෝපණය මැනවින් කැටි කරගත් නිර්මාණයකි.
පරාරෝපිත තාරුණ්‍යයේ ලක්ෂණ
මෙම කතාවේ කේන්ද්‍රය වන්නේ කිසිම දෙයකින් සෑහීමකට පත් විය නොහැකි, පවතින සමාජ ව්‍යුහය සමග නිරන්තරයෙන් ගැටෙන 'ජිනේ' නම් තරුණයා ය. ජිනේට චිත්‍රා නම් පෙම්වතියක් සිටිය ද, සාම්ප්‍රදායික විවාහ ක්‍රමයකට හෝ එහි රාමුගත බැඳීම්වලට ඔවුන් දෙදෙනා ප්‍රාර්ථනා කරන්නේ නැත. ඔවුන්ට එකිනෙකා කෙරෙහි තිබුණේ විවාහයකින් ඔබ්බට ගිය, සාම්ප්‍රදායික අර්ථ දැක්වීම්වලට කොටු කළ නොහැකි ගැඹුරු ආදරයකි. ඔවුන්ට අවශ්‍ය වූයේ එකිනෙකාට ගරු කරමින්, කෙනෙකුගේ නිදහසට තවත් කෙනෙක් සීමා පැනවීමෙන් තොරව ජීවත් වීමටය.
ජිනේට ජීවත් වීමට මුදල් හදල් පවා ලබා දෙන්නේ චිත්‍රා ය. නැතහොත් ඔහුගේ සමීපතම හිතවතා වන රංජි ය. එහෙත් එය හුදෙක් ආර්ථිකමය හුවමාරුවකට වඩා එකිනෙකා කෙරෙහි වූ සැබෑ ආදරයේ සහ සහෝදරත්වයේ ස්වභාවයකි. ජිනේ ගේ චරිතය තුළ දිස්වන්නේ තීව්ර ලෙස සමාජයෙන් වෙන් වූ, එනම් ‘පරාරෝපිත තාරුණ්‍යයේ’ ලක්ෂණයකි. ඔහුට එක තැනක වැඩි කාලයක් රැකියාවක් කිරීමට නොහැකි ය; රස්සාවකින් ඉවත්වී තමා ගේ පාඩුවේ කාලය ගත කිරීම ඔහුගේ සිරිත ය. ඒ බව නවකතාවේ මෙසේ සටහන් වේ:
"මා ඉක්මනින් රස්සාවක් හොයාගත යුතු ය. මුදල් ටිකක් සොයාගත් පසු මට නැවතත් රස්සාවෙන් අස්වී තව ටික කලක් මගේ කියා මනසකින් ජීවත්විය හැක."
(පිටුව 53)
හුදකලාව මකා දමන හෙවණැල්ල

ජිනේ ජීවත් වන්නේ මිතුරන් ගේ මෙන්ම චිත්‍රාගේ ද උදව් උපකාරවලිනි. එහෙත් ඒ ගැන කිසිදු වගකීමක් හෝ බරක් ඔහුට නැත. කොහෙන්දෝ එන අදෘශ්‍යමාන තෙරපුමකට සහ අසහනයකට ඔහු නිරන්තරයෙන්ම මුහුණ දෙයි. මෙකී නිදහස්කාමී දැක්ම යථාර්ථයේ දී පවත්වාගෙන යෑම පහසු වන්නේ නැත. දෙමව්පියන් විසින් චිත්‍රාට බලහත්කාරයෙන් වෙනත් අයකුට විවාහ කර දීමත් සමග ජිනේ ගේ අභ්‍යන්තර අර්බුදය තවත් උග්‍ර අතට හැරේ.
චිත්‍රා ගේ විවාහයෙන් පසුව පවා ජිනේ ඇය සොයා යයි. එහි දී ඇයට ද ඔහු වෙනුවෙන් කළ හැකි විශාල දෙයක් ඉතිරිව නැත. ඇය කරන්නේ ඔහුව තමන්ගේ පපුවට තුරුලු කරගෙන සිටීම පමණි. ජිනේට ද අවශ්‍ය වන්නේ ඒ උණුසුම සහ ආරක්ෂාව පමණි. එහි කිසිදු ආකාරයක ලිංගික හෝ කායික බැඳීමක් නැත. ඔවුන් දෙදෙනාට ම එකිනෙකාගෙන් අවශ්‍ය වූයේ තමන්ගේ හුදකලාව මකා දමන, හෙවණැල්ලක් මෙන් ළඟින් ඉන්නා කිසිවෙකු පමණි.
යටිසිත වේදනාවට පත් වීම
ජිනේට තවදුරටත් ජීවත් වීමටවත් කිසිදු වත්කමක් හෝ ස්ථාවරත්වයක් නොතිබුණ ද, ඔහු තුළ ක්‍රියාත්මක වන සුවිශේෂී මානව දයාවක් සහ අභ්‍යන්තර ක්‍රියාවලියක් කතාවේ දී අපූරුවට මතු වේ.
දිනක් ඔහු හදිසියේ පාරේ දී දකින්නේ වීදි ගණිකාවක ගේ තත්ත්වයට පත්වී, මුළුමනින් ම සමාජයෙන් අන්ත අසරණ වී සිටින 'මොනිකා' නම් තරුණියකි. තමාටවත් කීයක්වත් හොයාගන්නට නැති මොහොතක, ජිනේ ඇයව සිය නවාතැනට රැගෙන එයි. එසේ රැගෙනවිත් ඔහු කරන්නේ ඇයට උපකාර කිරීමත්, ඇය මුහුණ දී ඇති ගැටලු සහ වේදනාවලට පිළිතුරු සෙවීමට වෙහෙසීම ය.
මෙහි දී ජිනේ වැන්නවුන් ගේ අභ්‍යන්තර ක්‍රියාවලිය ඉතා සංකීර්ණ වේ. තමන් විසින් ම සමාජයෙන් කොන් වී, පවතින ක්‍රමයට පිටින් ජීවත් වුණත්, ඔවුන්ට සමාජයේ ම තවත් අන්ත අසරණ වූ මිනිසුන් ගේ වේදනාව දෙස උදාසීනව බලා සිටිය නොහැකි ය. තමන් ද අත්විඳින ලද හුදකලාව සහ අගතිය වෙනත් මිනිසකු තුළ දැකීමෙන් ඔවුන්ගේ යටිසිත වේදනාවට පත් වේ. එම නිසා, මොනිකා බඳු අසරණ තරුණියක ගේ දුක තමන්ගේම දුකක් සේ භාරගෙන ඇයව ගොඩගැනීමට උත්සාහ කිරීම තුළින් පෙනී යන්නේ, ඔවුන්ට සමාජය සමඟ ඇති ගැටුම මතුපිටින් පෙනෙන තරම් රළු හෝ හදවතක් නැති එකක් නොවන බවයි.
නමුත් මෙහිදී මතු වන ප්‍රධාන ගැටලුවක් නම්, ඇයි මේ මිනිසුන්ට අනිත් සාමාන්‍ය මිනිසුන් වගේ රැකියාවක් කරගෙන, විවාහ වී සාමාන්‍ය පරිදි ජීවත් වීමට නුපුළුවන් වන්නේ? ඒ පසුපස ඇති මනෝභාවය කුමක්ද? යන්නයි.
ආත්මය සිර කරන සිරගෙය

මෙම තත්ත්වය පිටුපස ඇත්තේ දැඩි සමාජ විරෝධයක් හෝ අරමුණක් රහිත කම්මැළිකමක්ම නොවේ. සාමාන්‍ය සමාජය විසින් සාර්ථකත්වය ලෙස අර්ථකථනය කරනු ලබන අච්චුවට කොටු වීමට ඔවුන් ගේ මනස දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමයි. දවසේ පැය ගණනක් යන්ත්‍රයක් මෙන් වැඩ කරමින්, විවාහ වී, පවුල් සංස්ථාවක බර කරට ගනිමින්, සමාජය බලාපොරොත්තු වන 'සාමාන්‍ය' ජීවිතය ගත කිරීම ඔවුන්ට හැඟෙන්නේ ආත්මය සිර කරන සිරගෙයක් ලෙසිනි. ඔවුන් නිරන්තරයෙන් සොයන්නේ බාහිර ලෝකයෙන් යටපත් කළ නොහැකි අභ්‍යන්තර නිදහසකි. එහෙත් එම නිදහස කුමක්දැයි හරියටම තේරුම් ගැනීමට නොහැකි වීමත්, පවතින සමාජ ක්‍රමය සමග එකඟ වීමට නොහැකි වීමත් නිසා ඔවුන් නිරන්තර අසහනයකට සහ පරාරෝපණයකට ලක් වෙති.
මට සිතෙනා ලෙසට all are a mistake බඳු දැඩි කලකිරීමක් සහ ශෝකය ඔවුන්ගේ යටිසිත පුරා දෝංකාර දෙන්නේ මේ නිසා ය. මුදල් පසුපස හඹා යෑමට නොහැකි වීමත්, බැඳීම්වල ස්ථාවර භාවය අභියෝගයට ලක් කිරීමත් නිසා ඔවුන් ගේ ජීවිත මෙලෙස අක්‍රමවත් මාවත්වලට තල්ලු වී යයි. මේ බව ජිනේ එක් තැනකදී 'මුදිතා' නම් තම හිතවතියකට පැහැදිලි කරන්නෙ මෙලෙසිනි,
"මට කිසි දෙයක් කෙරෙහි නිශ්චිත අරමුණකින් වැඩ කරන්න බෑ. මට මං ගැනම කේන්තියක් ඇතිවෙන්නෙ ඒ නිසා. ඊට පස්සෙ මට ආයිත් ඔක්කොම එපා වෙනව"
(පිටු 72)
මානව සබඳතාවේ සංකීර්ණත්වය
චිත්‍රා අහිමි වීමත් සමඟ ජිනේ ගේ ජීවිතයේ රික්තය තවත් තීව්ර වන අතර ඔහු ගේ දින චර්යාව සම්පූර්ණයෙන්ම අක්‍රමවත් වේ. ඔහු ගෙදර යන්නේද නැත; මුදල් යවන්නේද නැත.( යවන්නට මුදලක් ද ඔහු අත නැත ) ඔහු මෙතක් සිදුකළේ දවල් වන තුරු නිදාගෙන, පසුව චිත්‍රා මුණගැසීමට ගොස්, සවසට බීර ටිකක් තොළ ගා, නැවත රෑට නිදා ගැනීමයි. බැලූ බැල්මට මෙය ‘කාලකණ්ණි රස්තියාදු ජීවිතයක්’ ලෙස පෙනී ගියද, එයින් පිළිබිඹු වන්නේ පරාරෝපිත තාරුණ්‍යයක ඇතුළාන්ත ස්වභාවයයි.
මේ අතරතුර, පවුල් සංස්ථාව නම් පද්ධතිය තුළ සිරවී සිටි ජිනේගේ නැගණිය මෙම සාම්ප්‍රදායික පද්ධතිය බිඳගෙන වෙනත් තරුණයකු සමඟ පලා යයි. දිනක් මෙම සිදුවීම නොදැන ගෙදර එන ජිනේ දකින්නේ අතිශය සංවේදී සහ පාළු දර්ශනයකි.
"මම සාලය වෙත ඇතුළු වෙත් ම කුස්සිය දෙසින් පොල් ගාන හඬක් දුක්මුසු ලෙසින් ඇසිණ. එය ගේ තුළ වූ මළ පාළුව ත්රීව්ර කරන්නක් විය. මා කුස්සිය දෙසට ඇතුළු වෙත් ම හිරමණයක් මත උදාසීනව හිඳගෙන මැලවුණු මුහුණින් පොල් ගාන අම්මා දුටුවෙමි. මා දුටුව ද ඇගේ මුහුණේ වෙනදා වූ ප්‍රභාව දක්නට නොලැබිණ. එහි ජීවය සිඳී ගොස් තිබේ."
(පිටු 111)
මෙම දසුන හරහා කතුවරයා අපූරුවට මතු කරන්නේ පවුල නමැති සාම්ප්‍රදායික ආයතනය තුළ මිනිසුන් ක්‍රමයෙන් දියවී යමින්, ජීවය සිඳී ගොස් යන්ත්‍ර මෙන් ජීවත් වන අයුරු ය. එක පැත්තකින් ජිනේ ගේ තරුණ වියේ පරාරෝපිත භාවයත්, අනෙක් පසින් අම්මාගේ සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් ගේ නිහඬ වේදනාවත්, චිත්‍රා සහ ජිනේ අතර පැවැති මානව සබඳතාවේ සංකීර්ණත්වයත් ‘සමීප ආගන්තුකයා’ හරහා ගුණසිරි සිල්වා අතිශය යථාර්ථවාදී ලෙස පාඨකයා හමුවේ තබයි.
අපේ ම සමාජයේ සහ මනසේ සදාකාලික පිළිබිඹුව

ගුණසිරි සිල්වා මේ කතාව හැත්තෑව දශකයේ තාරුණ්‍යය පාදක කරගනිමින් ලිව්වත්, මෙම මනෝභාවය සහ අර්බුදය අදටත් ප්‍රායෝගික ලෝකයේ අපට ඕනෑ තරම් දකින්නට ලැබෙන්නකි. මෑතකදී විකාශය නිමා වූ "නටත් අයෙක් සුරා මතින්" ටෙලිනාට්‍යයේ එන "ලද්දුහෙට්ටි" ද මෙඳු චරිතයකි. ජිනේ තරම්ම සංකීර්ණ නොවුනත්, ලද්දු සහ ජිනේ යනු එකම කුලකයට අයත්, පවතින සමාජ රාමුවට කොටු වීමට නොහැකිව සමාජය සමග ගැටුම් ඇතිකරගන්නා දෙදෙනෙකි.
අද දිනටත් මෙම ගැටලු අදාළ වන්නේ, සංකීර්ණ වූ සමාජ රටාව හමුවේ තරුණ පරම්පරාව තවමත් තමන් සොයන නිදහස, අර්ථවත් සබඳතා සහ අනන්‍යතාව අතර අරගල කරන බැවිනි. ‘සමීප ආගන්තුකයා’ යනු එබැවින් අතීත කතාවක් නොව, අපේ ම සමාජයේ සහ මනසේ සදාකාලික පිළිබිඹුවකි.

සටහන - ජගත් ප්‍රසන්න කුරුගම.
උපුටා ගත්තේ Jagath Prasanna Kurugamaගේ face book පිටුවෙන්



