සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික 1% කින් ඉහළ දැමීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.
පවතින දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් මෙන්ම ඉදිරි අපේක්ෂාවන් සලකා බලමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 100කින් (සියයට 1කින්) ඉහළ නැංවීමට තීරණය කළ බවද අධිපතිවරයා කීය.

කොළඹ කොටුව මහ බැංකු මූලස්ථානයේ අද (26) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම තීරණයත් සමඟ මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.25 දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 9.25 දක්වාත් ඉහළ ගොස් ඇත. මේ හරහා වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යාමක් අපේක්ෂා කරන අතර, එය උද්ධමනය පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් බවද අධිපතිවරයා කියා සිටියේය.
වසර 2022දී මෙරට ආර්ථිකය කඩා වැටී දරුණු ප්‍රපාතයකට ඇද වැටී තිබූ බවත් එය මේ වන විට ගොඩට ගෙනවිත් වර්ධන මට්ටමකින් ඉදිරියට ගමන් කරමින් සිටින බවත් පැහැදිලි කළ අධිපතිවරයා එනමුත් මේ වන විට මතුව ඇති ගෝලීය කම්පනයන් හමුවේ වඩාත් කල්පනාකාරීව ආර්ථිකය හැසිරවිය යුතු බවත් කියා සිටියේය.
ඒ අනුව රජය, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එකිනෙක සම්බන්ධ වෙමින් ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට සියලු ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවත්, අවශ්‍ය වුවහොත් තවත් ක්‍රියා මාර්ග ගැනීමට ඕනෑතරම් හැකියාවක් පවතින බවත් ඔහු කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

මහ බැංකුව මෙම තීරණයට එළැඹීමට බලපෑ ප්‍රධාන සාධක කිහිපයකි.
-
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් ඇතුළු භාණ්ඩ මිල ඉහළ යාම.
-
වසර 2026 අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.4ක් ලෙස වාර්තා වූ අතර, එය මහ බැංකුවේ සියයට 5ක ඉලක්කගත මට්ටමට වඩා වැඩිය. විශේෂයෙන් බලශක්ති මිල ගණන් ඉහළ යාම මෙයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.
-
පෞද්ගලික අංශයේ ණය ලබා ගැනීම අඛණ්ඩව ඉහළ යාම සහ ඒ හරහා ආනයන ඉල්ලුම වැඩිවීම උද්ධමනය කෙරෙහි පීඩනයක් එල්ල කර තිබෙනවා.
-
මෑත කාලීනව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමේ පීඩනයකට මුහුණ දුන් අතර, පොලී අනුපාතික වැඩි කිරීම හරහා විදේශීය අංශය ස්ථාවර කිරීමට අපේක්ෂා කරනවා.
මහ බැංකු වාර්තාවලට අනුව, 2026 පළමු කාර්තුවේදී විදේශීය ජංගම ගිණුමේ අතිරික්තය අඩු මට්ටමක පැවතුණා. ඉන්ධන ආනයන වියදම් ඉහළ යාම සහ සංචාරක ඉපැයීම් යම් ප්‍රමාණයකට අවම වීම මෙයට හේතු වුනා. කෙසේ වෙතත්, විදේශ ප්‍රේෂණ ලැබීම් ශක්තිමත්ව පවතින අතර 2026 අප්‍රේල් අවසානය වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 6.8ක් ලෙස වාර්තා වනවා.
ඉදිරි කාලය තුළ උද්ධමනය සියයට 5ක මට්ටමේ රඳවා ගැනීම මහ බැංකුවේ ප්‍රධාන ඉලක්කයයි. බලශක්ති මිල සංශෝධන නිසා උද්ධමනය තාවකාලිකව ඉහළ යා හැකි වුවද, මෙම ප්‍රතිපත්තිමය තීරණ හරහා එය යළිත් ස්ථාවර මට්ටමට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා.
මහ බැංකුවේ මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය ජූලි මස 22 වන දින නිකුත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුලු එහි උසස් නිලධාරීහූ කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වූහ.
(සටහන | ජේ.මුණසිංහ)









