මහ බැංකුව මාර්තු 7 සඳුදා සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරියේය. ඒ අනුව

අමෙරිකානු ඩොලර්යට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 230ක් දක්වා අවප්‍රමාණය කර ඇත.

මේ අතර මාර්තු 7 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී විදෙස් ශ්‍රමිකයින් මෙරටට ප්‍රේෂණය කරන සෑම ඩොලරයකටම ගෙවන රුපියල් 10යේ දිරි දීමනාව රුපියල් 38 දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ කම්කරු අමාත්‍යවරයා විසිනි.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන විදේශ රැකියා කේෂත්‍රය මගින් වාර්ෂිකව ඩොලර් බිලියන 7-8කට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කරනු ලබයි. එහෙත් විදිමත් මුල්‍ය පද්ධතිය හරහා ප්‍රේෂණය කරන විදේශ විනිමය සඳහා නියම අගයක් නොලැබීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය විශාල ලෙස පහළ බස ඇත.

 

මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය එළඹෙන අවුරුදු සමයේ දී මෙරට විදිමත් මුල්‍ය පද්ධතිය හරහා ප්‍රේෂණය කිරීම දිරිමත් කිරීම උදෙසා මෙම දිරි දීමනාව ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙන බවට රජය පවසයි.

 

2021 වසරේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 22 කින් පහත වැටී ඇති බවට මහ බැංකු වාර්තා පෙන්නුම් කරයි. ඒ අනුව 2020 වසරේ ඩොලර් බිලියන 7.1ක් වැ පැවති විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2021 වසරේදී ඩොලර් බිලියන 5.5ක් දක්වා අඩුවී ඇත.

ආර්ථික විශ්ලේශකයින් පවසන්නේ ඒ විදේශ සේවා නියුක්තිකයන් තම ප්‍රේෂණ උණ්ඩියල් වැනි අවිදිමත් ක්‍රම හරහා වැඩි මිලකට මෙරටට එවීම තුළින් එය විදිමත් බැංකු පද්ධතියට අහිමිවී ගිය බවයි.

මෙරටට ලැබෙන ඩොලර් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සඳහා ප්‍රේෂණ වෙනුවෙන් රුපියල් මෙයට පෙර 2 ක දීමනාවක් ද අනතුරුව තවත් රුපියල් 8ක දිරි දීමනාවක් වශයෙන් රුපියල් 10ක අමතර මුදලක් ගෙවීමට මහ බැංකුව මීට පෙර පියවර ගත්තේය එහෙත් මාර්තු 7 වැනිදා පැවති කැබිනට් මණ්ඩල එය රුපියල් 38ක් දක්වා වැඩ කරන ලදී.

ආර්ථීක විශ්ලේශකයින් පැවසුවේ රුපියල සියයට 15කින් අවප්‍රමාණය කිරීමට ගත් තීරණය ඉතාමත් කාලෝචිත බවත් එමගින් රටේ විනිමය අනුපාතිකයට නිසි අගයක් ලැබෙන බවයි. එහෙත් ඩොලරයට රුපියල් 230ක අගය නිසි අගයද යන්න ඔවුන් ප්‍රශ්නකර සිටියේය.

 

මෙතෙක් විනිමය අනුපාතිකය අස්වාභාවිකව 198.50ක ඉතා පහළ මට්ටමක තබාගැනීම හේතුවෙන් කළු වෙළඳපොලේ අමෙරිකානු ඩොලරයට රුපියල් 240 ත් 260ත් අතර මිලක් ගෙවීම හේතුවෙන් නිත්‍යානුකූල බැංකු පද්ධතියට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමිවී ගියේය.

 

මහ බැංකුව මෙතෙක් යථාර්ථ නොවූ මිලකට විදේශ විනිමය අනුපාතිකය පවත්වාගැනීම හේතුවෙන් රටට විශාල සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ද අවහිර වූ බව විශ්ලේෂකයෝ පැවසූහ.

"වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ලැබේ," යනුවෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳුදා සවස පැවසීය.

"විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි."

සඳුදා (මාර්තු 7) එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 198.50ක් වූ අතර විකුණුම් මිල 203ක් ලෙස ගණුදෙනු විය.

 

මහ බැංකුව මෙම තීරණය ගනු ලබන්නේ මාර්තු 4 වන දා පැවති මුල්‍ය ප්‍රතිපත්ති තීරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කිරීමෙන් අනතුරුවයි.

 

එහිදී මේ වසරට දෙවන වරටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින්, පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා ඉහළ දැමිණි.

"බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මාර්තු 04වන දින පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කරන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ඇතිවෙමින් පවතින සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරන බවට නිවේදනය කරන ලද අතර, උද්ධමනය, විදේශීය අංශය සහ මූල්‍ය අංශයේ ස්ථායීතාව ළඟා කර ගැනීමේ අරමුණින් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද සඳහන් කළේය."

රටේ පවතින අස්ථාවරභාවයන් හා විනිමය අනුපාතිකය ඉතා සීග්‍රයෙන් අවප්‍රමාණය වී ඇතත් වාණිජ බැංකු වෙළදපල විනිමය අනුපාතිකයට නිසි අගයට වඩා අඩු අගයක් ගෙවීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ අයථා ක්‍රම හරහා ශ්‍රී ලංකාවට එවීම නිසා මේ වන විට එම මුදල් නීත්‍යානුකුල මුල්‍ය පද්ධතියෙන් බාහිරව සංසරණය වීම හේතුවෙන් රජයට එම විදේශ විනිමය අහිමිවී ඇත.

ශ්‍රී ලංකාවේ රුපියල අවිදිමත් වෙළඳපොලේ විශාල වශයෙන් නිල නොවන ලෙස අවප්‍රමාණය වී තිබුණු බව විදේශ විනිමය තැරැව්කරුවෝ බීබීසී සිංහල සේවය සමග පැවසූහ.

රටේ පැනනැගී ඇති විදේශ විණිමය අර්බුදය හේතුවෙන් මේ වන විට රටේ බැංකු පද්ධතිය තුළ විශාල විදේශ විණිමය හිඟයක් ගටගෙන ඇති බවත් විදේශ විණිමය තැරැව්කරුවන් බීබීසී සිංහල සේවය සමග පැවසීය.


ආනයන වියදම් වැඩි වෙයි


"ඩොලර් එක රුපියල් 230 කියලා කියන්නේ අපේ විදේශ ප්‍රේෂණ බැංකුවලට ගෙන්ව ගන්න පුළුවන් වෙයි. බ්ලැක් මාර්කට් එවනවට වැඩිය සාධාරණ ගාණක් දුන්නොත් ඒ ටික එයි. අපේ අපනයන කරුවන් ලංකාවට ගෙනාපු නැති සල්ලි ලංකාවට එන්න පුළුවන්. එත් බ්ලැක් මාර්කට් ප්‍රයිස් එක තාම වැඩියි ඒක රුපියල් 260 විතර තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තුවෙන තරම් සුන්දර පරිසරයක් නිර්මාණය වෙන්නේ නැහැ," වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය.

ඔහු තවදුරත් පවසා සිටියේ මහ බැංකුවේ නව තීරණයත් සමග ආනයන වියදම් දැඩි ලෙස ඉහළ යා හැකි බවයි.

 

"IMF එක කිවේ මේක රුපියල් 260ට ගේන්න, එහෙම නැත්තම් සම්පූර්ණයෙන්ම පා කරන්න කියලා. මේ කරලා තියෙන්නේ භගයක් කරන එක. ඒක කොහෙට යයිද දන්නේ නැහැ."

 

"අනික් පැතැතෙන් ලංකාවට වන බලපෑම ඩොලර් බිලියන 51ක විතර විදේශීය ණය තියෙනවා ලංකාව. සම්පූර්ණ ණය තියෙනවා ට්‍රිලියන 18ක් විතර රුපියල් වලින්. මේකත් සමග විදේශීය ණයවල රුපියල් වටිනාකම විශාල වශයෙන් ඉහළ යනවා. ඒක ලොකු බලපෑමක්. ආනයන වියදම් ඒ ඔක්කම වැඩි වෙනවා."


මේක තවත් අර්බුදයක ආරම්භයක්


මහාචාර්ය අමින්ද මෙත්සිල පවසා සිටියේ "මෙහි හොඳ පැත්ත බලාපොරොත්තු වෙන්න අමාරුයි. නරක පැත්ත වැඩියි. මේක තවත් අර්බුදයක ආරම්භයක් වෙන්න පුළුවන්. තීන්දුවක් භාගෙට ගන්න එක තීරණය නොගෙන ඉන්නවට වඩා නරකයි."

ඔහු තවදුරත් පවසා සිටියේ ශ්‍රී ලංකාව බහුතර ද්‍රව්‍ය ආනයන කරන රටක් බැවින් බෙහෙත්, සීනි හාල් මිරිස් වැනි ආනයනය කරන ආහාර ද්‍රව්‍ය මෙන්ම ඛණිජ තෙල් මිල වැඩි වී රට විශාල අර්බුදයකට පත් විය හැකි බවයි.

 

"මේකත් එක්ක අනිවාර්යෙන් ඉන්ධන මිල වැඩි කරන්න වෙයි. ගෑස් මිල වැඩි වෙන්න පුළුවන්. බෙහෙත් ද්‍රව්‍ය ඇතුළු සියලු ආනයනික භාණ්ඩවල මිල වැඩි කිරීමක් වෙනවා."

 

"හැබැයි අපනයනකරුවන්ට වාසි තියෙනවා. ඔවුන්ට අපනයන සඳහා ඩොලර් එකකට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේකෙන් අපනයනකරුවන් දිරිමත් වෙයි. නමුත් අපි රුපියල් 100ක් අපනයනය කරන කොට රුපියල් 200ක් ආනයන කරනවා."

"මේකත් එක්ක ආනයන වියදම් වැඩිවීමත් සමග උද්දමනය දරුණු වෙන්න පුළුවන්. ජීවන වියදම වැඩි වෙන්න පුළුවන්" මහචාර්යවරයා සඳහන් කළේය.

2019 දෙසැම්බරයේ සිට මේ වනතෙක් ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 22කට වැඩි ප්‍රමාණයකින් අවප්‍රමාණ වී ඇති බැවින් රටේ බොහෝ ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.


(BBC සිංහල සේවය )

 

බැසිල් බාප්පා කරපු වැඩේ කැතයි! නාමල් ගේම ඉල්ලන්න යයි!! | අද ගොසිප් එක

 

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්