ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන අයුරින් අමාත්‍ය මණ්ඩලය අඩුකිරීමට ඔවුන් ආදර්ශයක් සපයන්නේ නම් තමාද ආදර්ශයක් වෙමින් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා

අස්වීමට සූදානම් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු එබව කියා සිටියේ, හොරණ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදිය.

ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් විය යුත්තේ රාජ්‍ය වියදම් සීමා කිරීම බවත්,  ඒ සදහා වත්මන් කැබිනට් අමාත්‍යංශ විෂය පථයන් මනා අධ්‍යයනයකින් පසුව සුදුසු පරිදි ඒකාබද්ධ කොට කැබිනට් මණ්ඩලය සැලකිවයුතු ලෙසින් අඩු කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට යෝජනා කර තිබිණ.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පොහොට්ටු පක්ෂයේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ තවදුරටත් මෙසේද පැවසිය.

''මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා යෝජනා කළා ඇමති මණ්ඩලයත් අඩු කරන්න කියලා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශයක් වෙලා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අය අස්කරගෙන මේක අඩුකරන තැනට ගෙනියන්න.

එහෙම වුණොත් මමත් ලෑස්තියි ඉල්ලා අස්වෙන්න. මට ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශය වෙන්න. පොහොට්ටුවෙන් ආදර්ශය මම දෙන්නම්.''

 

නිදහස් පක්ෂය විසින් සර්ව පාක්ෂික සමුළුවට ඉදිරිපත් කළ යෝජනා



ප්‍රවේශය:


නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් පවතින රටක, සර්ව පාක්ෂික සමුළු කැදවන්නේ ජාතික ආපදාවක්, ආර්ථික අර්බුධයක් වැනි අසීරු අවස්ථාවකදී පුළුල් පෙරමුණක් ලෙසින් ඒකී අර්බුධකාරී තත්ත්වය සමනය කිරීම සදහා අදහස් හා යෝජනා ලබාගැනීම සදහාය. ඒහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන දේශපාලන පක්ෂ, කණ්ඩායම් මෙන්ම උද්ගත තත්ත්වය සම්බන්ධයෙන් උනන්දු ජනක සියලු පාර්ශව එක්ව සාකච්ඡා කිරීම සාමාන්‍ය සම්මතය යි.

වර්තමානෙය් ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති තත්ත්වය බරපතල ආර්ථික සමාජ හා දේශපාලනික අර්බුධයක් වුවත්, එය අර්බුධයක් ලෙසින් ප්‍රකාශයට පත් නොකිරීම කිසිසේත්ම ප්‍රඥා ගෝචර නොවේ. මෙම තත්ත්වය තුළ යෝජිත සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලබන්නේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සමනය සදහා ය. එසේම මෙම සමුළුව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ලබා දෙන පහත සදහන් යෝජනා බහුතරයක් කෙටිකාලීන යෝජනා වන අතර, ඒම යෝජනාවන්හි ප්‍රගතිය මත ඉදිරි මධ්‍ය හා දිගු කාලීන යෝජනා අප පක්ෂය විසින් ඉදිරිපත් කෙරෙනු ඇත. සර්ව පාක්ෂික සමුළුවෙහි අපේක්ෂිත කාර්ය සාධනය ප්‍රාමාණික හා සාධනීය වනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.  




යෝජනා:


1. ආර්ථීක කඩාවැටීම ඇතුළු සමකාලීන අර්බුදය පිළිබඳව රජය නොපමාව ජනතාවට සත්‍ය තොරතුරු සම්පාදනය කළ යුතු අතර මෙම අර්බුධකාරී තත්ත්වයෙන් අත්මිදීමේ ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත් පිළිබඳවත් ඒවාට ජනතා සහය කෙසේ හිමිවිය යුතුද යන්න පිළිබඳවත් පුලුල් කතිකාවක් ආරම්භ කළ යුතුයි.

2. හිටපු මහ බැංකු ප්‍රධානීන්, ආර්ථික උපදේශකයන්, මුදල් මණ්ඩල, මුදල් අමාත්‍යාංශ වගකිවයුත්තන් ආර්ථික අර්බුදයක් පිළිබඳ නිවැරදි තොරතුරු කල්තියා අනාවරණය නොකිරීම බරපතල තත්ත්වයකි. එනිසා විෂයානුබද්ධ ප්‍රවීණයන් සමගින් ඉදිරි මාස 06ක් වසරක් හා වසර 02 වත් දක්වා ජාතික ආර්ථිකය, මුළ්‍ය කළමනාකරණය ආදී ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් වලංගු පුරෝකතනයන් සිදුකර ඊට අනුකූළව සැලසුම් කිරීම කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස යි.
 
 
 
3. නිෂ්පාදනයේ කිසිදු ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක ප්‍රසාරණයක් වර්තමානයේ දැකිය නොහැකි බැවින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වහා සීමා කළ යුතු යැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි. 
 
 
 
4. විද්වතුන්, විෂයානුබද්ධ ප්‍රවීණයන්, පර්යේෂකයන්, වෘත්තිකයන් ආදීන් සමග ඇති කරගන්නා පුළුල් හා ඉක්මන් සංවාදයක් පදනම් කරගනිමින් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කිරීමේ හා රාජ්‍ය ආදායම වැඩිකරගැනීමේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ක්‍රමෝපාය හඳුනා ගත යුතු අතර එම ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීමට වැඩි ප්‍රමුඛතාවක් ලබාදිය යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි.

5. ආර්ථික අර්බුදයේ කේන්ද්‍රීය කරුණක් වන්නේ විදේශීය ණය ආපසු ගෙවීමේ නොහැකියාව යි. ඩොලර් බිලියන 06කට ආසන්න ණය වාරික ගෙවීමේ අභියෝගය කළමනාකරණය කරනු පිණිස විශේෂ උපෙද්ශක කමිටුවක් මගින් සියලු ණය ලබාගත් ජාත්‍යන්තර මුළ්‍ය සංගත හෝ රාජ්‍යයන් ඇතුළු සියලු පාර්ශව ආමන්ත්‍රණය කර ණය වාරික ගෙවීම ප්‍රතිව්‍යුගත කරගැනීමේ ක්‍රියාපිළිවෙතක් ඇරඹිය යුතුය. ඒ සදහා සුදුසු විශ්වාශවන්ත ජාත්‍යන්තර සහායක රාජ්‍යයක හෝ ආයතනයක මැදිහතවීම නොපමාව ලබාගත යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.

6. එවැනි මැදිහත්වීමකදී පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමෝපායික යෝජනාවට එකඟවිය යුත්තේ ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රමවේදය දේශීය වශයෙන් සම්පාදනය කිරීමේ කොන්දේසිය මත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි.

7. ජාත්‍යන්තර සහය ලබාගැනීමේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා පාරදෘෂ්‍යභාවය පිළිබද එම ආයතන සෑහීමකට පත් නොවන්නේ නම්,  ඒ සදහා උපයුක්ත ව්‍යවස්ථා සංශෝධන හෝ අනපනත් නොපමාව සම්මත කිරීමට හෝ/හා අවලංගු කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යි.
 
 
 
8. ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් විය යුත්තේ රාජ්‍ය වියදම් සීමා කිරීමය. ඒ සදහා වත්මන් කැබිනට් අමාත්‍යංශ විෂය පථයන් මනා අධ්‍යයනයකින් පසුව සුදුසු පරිදි ඒකාබද්ධ කොට කැබිනට් මණ්ඩලය සැලකිවයුතු ලෙසින් අඩු කළ යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.
 
 
 
9. වී සහ වෙනත් ආහාර භෝග හා අපනයන භෝග සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කෙරුණු පොහොර ප්‍රතිපත්තිය වහා සමාලෝචනය කළ යුතු අතර යල කන්නය සඳහා අවශ්‍ය රසායනික/කාබනික පොහොර කඩිනමින් ලබාදීම අත්‍යවශ්‍ය වේ.  

10. පසුගිය 2021 වසර අගදී ඉදිරිපත් කළ 2022 අයවැය යෝජනා වහා ප්‍රතිශංශෝධනය කර නව පරිපූරක ඇස්තෙම්න්තුවක් ඉදිරි මුදල් වර්ෂය සදහා ඉදිරිපත් කළ යුතු බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි. එහිදී ඒම අයවැය යෝජනා අතර ඇති බොහෝ වැය ශීර්ෂ අර්බුදයට සංවේදී දෘෂ්ටි කෝණයකින් හදාරා අනවශ්‍ය වැය ශීර්ෂ කපාහැර තියුණු ලෙස රාජ්‍ය වියදම් ප්‍රමුඛතාකරණය කර2022 මැයි මස අවසන් වීමට ප්‍රථම නැවත සම්මත කරගත යුතුව තිබේ. උදාහරණ වශයෙන් යෝජිත කුඩා හා මධ්‍යම පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හා ප්‍රතිලාභ බෙදීම් ප්‍රමුඛතා අනුපිළිවෙලකට සකසා ක්‍රියාත්මක කළ යුතුය.

11. ආර්ථික අර්බුදයේ ආසන්නතම අතුරු ඵලය ලෙස කෙටිකාලීන හා දිගුකාලීන තදබල සෞඛ්‍යය ප්‍රශ්න උද්ගත වීම සිදුවනු ඇත. අත්‍යවශ්‍ය ඖෂධ ආනයන නොකිරීමෙන් මෙම තත්ත්වය තවතවත් උග්‍රවනු නොඅනුමානය. මීටම සමගාමීව වෙනත් මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමටද නොහැකි වනු ඇත. එම තත්ත්වය දැඩිව සැලකිල්ලට ගනිමින් මානව සුභසාධනය සඳහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙලක්ක්‍රියාත්මක කළ යුතුයැයි යෝජනා කරමු. උදාහරණ වශයෙන් හදිසි සෞඛ්‍ය කළමනාකරණ හා මෙහෙයුම් සැළසුමක්මෙන්ම ක්‍රියාන්විතයක් සඳහා සෞඛ්‍ය අංශ සූදානම් කිරීමේ අවශ්‍යතාව දක්විය හැකිය.
 
 
 
12. ආර්ථික අර්බුදයේ සාමාජයීය බලපෑම් උපරිම වන්නේ ඛනිජ තෙල් සැපයුම අඩාලවීමත් සමගය. එහෙයින් ලෝක වෙළඳ පොලෙහි හැසිරීමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල නියාමනය සඳහා මිල සූත්‍ර ක්‍රමවේදය වහා යළිත් ක්‍රියාත්මක කළ යුතුයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.
 
 
 
13. ආර්ථික අර්බුධයේ සමාජ බලපෑම විදුලි අර්බුධය නිසාද උත්සන්න වෙයි. අප රටේ දෛනික ඉහළම විදුලි බල ඉල්ලුම මෙ.වො. 2500 නොඉක්මවයි. මුළු විදුලි  නිෂ්පාදන ධාරිතාවය මෙ.වො. 4000 ක් පමණ වේ. එනිසා සත්‍යවශයෙන්ම විදුලි බල අර්බුදයක් රට තුළ උද්ගත වියනොහැක. එහෙත් සිදුවී ඇත්තේ ජල විදුලි නිෂ්පාදනය අඩුවන විට ප්‍රධාන විකල්පය ලෙස භාවිත වන ඩීසල් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන හිඟ වීමයි. එනිසා ක්ෂණික කෙටි කාලීන හා මධ්‍ය කාලීන වශයෙන් විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධව පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරයි.

a. විදුලි නිෂ්පාදනයට අවශ්‍ය බණිජ තෙල් හා ගල් අඟුරු ආනයනයට ප්‍රමුඛත්වය ලබාදීම
b. සූර්ය බල සංග්‍රාමය යළි පණ ගන්වා රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම.
c. සුළං බල මෙහෙයුම නැවත පණ ගැන්වීම.
d. විදුලිය සුරැකීමට අනුගමනය කළ පියවර යාවත්කාලීන කිරීම/දිරිගැන්වීම. (උදා. LED බල්බ් ලං.වි.ම. මගින් ලබාදීම)
e. දිගුකාලීන විදුලි ජනන සැලැස්ම හා මිශ්‍ර ජනන සැලැස්ම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම.
f. පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය වර්ධනය වළක්වාලන පනතෙහි ඇති බාධා ඉවත් කිරීම.
g. මෙ.වො. 500 සාම්පූර් සූර්ය බලාගාරය, යෝජිත LNGමෙ.වො. 300 බලාගාර වහා ඇරඹීම.
h. සාම්ප්‍රදායික නොවන මුහුදු රළ වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පිළිබඳ පැවැති සාකච්ඡා යළි සක්‍රියකිරීම හා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම.


14. 2019 සිට කොවිඩ් වසංගතය හා විවිධ හේතූන් නිසා සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සැමරීමට ජනතාවට හැකි වූයේනැත. ඒම සංස්කෘතික අත්දැකීම වසර කිහිපයක් අත්විඳීමටනොහැකිවීම මනෝ විද්‍යාත්මකව විශේෂයෙන්ම පූර්ව ළමාවියේ හා පසු ළමාවියේ දරුවන්ගේ සංස්කෘතික ස්මෘතිය වර්ධනයට දැඩි ලෙස බලපා ඇත. මෙවර උත්සව සමය සැමරීම පිළිබද විශ්වාශයකින් ජනතාව සිටියද ආර්ථික අවපාතය නිසා ඒම අවස්ථාවද අහිමිවන බව පෙනේ. මෙමතත්ත්වය මත, ළඟ එන උත්සව සමයේදී හෝ හැකි උපරිම සහන ජනතාවට සැලසීම වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය විශේෂ විධිවිධාන යෙදිය යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යි.

15. පසුගිය වසර 40ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කැපී පෙනෙන නිරීක්ෂණයක් වන්නේ ආදායම් බෙදීයෑමේ විෂමතාව බරපතල ලෙස වැඩිවී තිබීමයි. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3600 ඉක්මවා තිබුණද අන්ත දිළිදු තත්ත්වයේ පසුවන පුරවැසියන්ගේ සංඛ්‍යාව තීරණාත්මක ලෙස වැඩිවී තිබේ. ජාතික ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වරප්‍රසාද ලත් කුඩා පිරිසක් අත පමණක් රැඳී තිබීම මෙවැනි අර්බුධයක සාමාජීය බලපෑම තීව්‍ර කරයි. එබැවින් ‘ඇති නැති පරතරය’ අවම කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු නොපමාව ගත යුතුයැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.

16. ආර්ථික අර්බුධයේ බලපෑම උග්‍ර ලෙසම වතුකර, ග්‍රාමීය හා නාගරික දිළිදු ජන කොටස් අන්ත අසරණ තත්ත්වයට පත් කර ඇත. එසේම දැන් එහි බලපෑම පහල මධ්‍යම පන්තික පුරවැසියන් හටද තදින් දැනේ. දෛනික වැටුප් ලබන ශ්‍රමිකයන්, කම්කරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ආදී ප්‍රාථමික ඉපයීම් කණ්ඩායම්ද අකර්මන්‍යය ය. මෙම නිෂ්පාදක කණ්ඩායම්ද අර්බුදයේ වින්දිතයින් වීම හා සහනාධාර අපේක්ෂිතයින් වීම ඉදිරි ආර්ථික ප්‍රතිස්ථාපන සැලසුම් වලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. එසේ හෙයින් නිෂ්පාදන ආර්ථිකයක එබඳු කණ්ඩායම් නගා සිටුවීම සඳහා කළ යුතු මැදිහත්වීම ප්‍රමුඛතාකරණය කළ යුතුයැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.
 
 
 
17. සීමිත පිරිසකට ආනයන බලපත්‍ර ලබාදීමේ පිලිවෙත වෙනුවට ආනයන භාන්ඩ ප්‍රමුඛතාකරණය කිරීම මෙන්ම තීරුබදු ඔස්සේ ඇතැම් භාණ්ඩ ආනයනය සීමා කිරීමට කටයුතු කිරීම වඩාත් උචිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස  යි. 
 
 
 
එහිදී අත්‍යවශ්‍ය  ආනයන පිළිබඳව ප්‍රායෝගික ප්‍රමුඛතා ලේඛනයක් පිළියෙල කිරීම සිදු කළ යුතුය. උදාහරණ වශයෙන් ඖෂධ, ළදරු හා අත්‍යවශ්‍ය ආහාර, ඛණිජ තෙල්, කර්මාන්ත අමුද්‍රව්‍ය ආදී දේ හඳුනාගැනීම තුළින් ජනතාව දැඩි අසීරුතාවයකට ලක්වන පෝලිම් තත්ත්වය නිරාකරණය කරගත හැක. මේ සඳහා දැනට රජය පාර්ශවයෙන් යෝජනා වී ඇති ආනයන බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය විනිවිද භාවයෙන් තොර බැවින් බදු පැනවීම හා ලිහිල් කිරීම තුළින් අදාළ ආනයන පාලනය කෙරෙහි ආර්ථික විද්‍යානුකූලව කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වේ.

18. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල පාලනයකින් තොරවීමද ආන්තික ජනකොටස් අපහසුතාවට පත්වීමට හේතුවී තිබේ. එසේ හෙයින් නියමිත යාන්ත්‍රණ හා ආයතනික ව්‍යුහ ඔස්සේ භාන්ඩ මිල හා භාන්ඩ වල ගුණාත්මය පිළිබඳ නිරතුරුව සොයාබැලීමද කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාශ කරයි.

19. ආර්ථික අර්බුධය නිසා ජනතාව අපහසුතාවන්ට පත්වීමෙන් ඇතිවිය හැකි සමාජ නොසන්සුන්තා, අසසහනකාරීතත්ත්වයන් සංයමයෙන් හා සංවේදීව සමනය කිරීමට සුදුසු ක්‍රමවේද සකස් කිරීමට රජය උත්සුක විය යුතුය.

20. ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුධය පිළිබඳ සැබෑ තත්ත්වය පැහැදිළි කරමින් එම අර්බුධය නිසි කාලරාමුවක් තුළ ජය ගැනීමට අවශ්‍ය ණය හෝ ප්‍රදානයන් නොව, ආර්ථික වෙළඳපොල අවස්ථා දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මිත්‍ර රටවල නියෝජිතයන් කැඳවා රාජ්‍ය තාන්ත්‍රික සමුළුවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස යි.

21. අර්බුදය කළමනාකරණය කිරීම සඳහා බාහිර පාර්ශවයන්ගෙන් ලැබෙන සම්පත් හා ආධාර මෙන්ම අප විසින් යෝජනා කර ඇති අයවැය යෝජනා ප්‍රතිශංශෝධන කිරීමෙන් පසු ඒ ඒ අමාත්‍යාංශ හෝ ආයතන වෙත හිමිවන වැය ශීර්ෂ මනා විනිවිදභාවයකින් යුක්තව කළමනාකරණය කිරීම උදෙසා ප්‍රසම්පාදන කොමිසම හා විගණන කොමිසමකඩිනමින් සක්‍රිය කළ යුතුය.
 
 
22. රාජ්‍ය අංශයේ සියලු තලයන්හි සිදුවන දූෂණ අක්‍රමිකතා හා වංචා වැළැක්වීම සඳහා පූර්ණ බලතල සහිත විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත නියාමන කොමිසමක් වහා ස්ථාපනය කළ යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි. 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්