වසර 2015ට පෙර පැවැති පාලකයන්ගේ මතයට පිටින් අධිකරණ තීන්දුව ලබාදීම නිසා එවකට සිටි අගවිනිසුරුවරිය එම ධුරයෙන්

ඉවත් කළ නමුත් යහපාලන රජය බිහිකිරීම නිසා, ද්විත්ව පුරවැසිභාවයේ වලංගුභාවය පිළිගනිමින් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් ජයග්‍රහණය කිරීමට පවා ගෝඨාබය රාජපක්ෂට හැකි වූ බව පුරවැසි බලය සංවිධානයේ සමකැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ පැවසීය.

එවන් සාධාරණ විනිශ්චයක් ලබාගැනීමට හැකි වීම පිළිබඳව ගෝඨාබය රාජපක්ෂ යහපාලන රජයට ස්තූතිවන්ත විය යුතු බවත්, එම තීන්දුවට අපි හිසනමා ගරු කරන බවත් ප්‍රකාශ කළ වියන්ගොඩ, එදා තීන්දුව දුන් විනිසුරුවරුන්ට ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අත්වූ ඉරණම අත්නොවන්නේ 2015න් පසු ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නිසා බවත් එම නිදහස දිගටම පවත්වාගෙන යායුතු බවත් අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසුවේ රාජගිරිය ෆුඩ්සිටි ගොඩනැඟිල්ලේදී ඊයේ (09) පැවැති “බියට බිය නොවී නිදහස රැකගනිමු , සුදුවෑන් යළි එපා “ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී වියන්ගොඩ මෙසේ පැවසිය.

“බියට බිය නොවී නිදහස රැකගනිමු “

''සිවිල් සංවිධාන ව්‍යාපාර ලෙස මේ ජනාධිපතිවරණය කොයිතරම් තීරණාත්මක වේවිද කියා අපි හිතුවා. අතීතයේ ජනාධිපති ප්‍රතිඵලවලින් අහිමිවී ගිය දේවල් මොනවාද කියා අපි හිතුවා. එහිදී 2015ට පෙර මේ රටේ පැවැති තත්ත්වයන් සහ 2015ට පසුව ඇති වූ තත්ත්වයන් පිළිබඳව අපි සිතුවා. ඒ අනුව “බියට බිය නොවී නිදහස රැකගනිමු “යන තේමාව අපි නිර්මාණය කළා.

2015ට කලින් බිය කියන රෝගය මුළු සමාජය පුරාම පැතිරී තිබුණා. එම බිය කියන රෝගයේ රෝග වාහකයා වුණේ ගෝඨාබය රාජපක්ෂයි.

මේ අවුරුදු හතරහමාර කාලයේ මිනිසුන්ගේ මතකය විනාශ වී නැහැයි කියා මම හිතනවා. වැඩිහිටි සියලු දෙනාම ඒ බිය කියන සමාජ රෝගය මොනවගේද කියා දන්නවා. මේ දේවල් ඇතිවූයේ ගෝඨාබය රාජපක්ෂ ආමාත්‍යංශ ලේකම්වරයාව සිටියදීයි.අද කතාකරන්නේ ජනාධිපතිවරණය පිළිබඳවයි.

අමාත්‍යංශ ලේකම්වරයාව ලෙස සිටියදී ඒ ආකාරයට බිය ඇති කළා නම් ජනාධිපතිවරයා බවට පත්වුවහොත් මුළු රටම කොහොම රෝගී වෙයිද කියා හිතාගන්න පුළුවන්. මෙය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තිබෙන ප්‍රශ්නයක්ම නොවේ. මෙය රටේ මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. twst 02

ඒ නිසා පුරවැසි බලය විදිහටත්, සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය ලෙසත් අපට හැකි අයුරින් ඒ තර්ජන වැළැක්විය යුතුයි. මේ තර්ජන වැළැක්විය හැක්කේ කෙසේද? කාටද එය කරන්න පුළුවන්.

පසුගිය කාලයේ ජනාධිපති අපේක්ෂක ලෙස පැමිණි බොහෝ පිරිස් ආවා. ඔවුන් සැලසුම් රටට ඉදිරිපත් කළා. සමහරු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉදිරිපත් කළා. සමාජ ප්‍රශ්නවලට, ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කළා. ඒ අයට පැසිස්සට්වාදී , ඒකාධිපතිවාදී තර්ජනය මර්දනය කරන්න පුළුවන්ද? පැහැදිලිවම බැහැ.

 මෙම ජනාධිපතිවරණය දෝලනය වන්නේ ප්‍රධාන කඳවුරු 02ක් අතරයි. ඒ ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරන කඳවුර හා ඔහුව පරාජය කිරීමට ප්‍රායෝගික හැකියාවක් තිබෙන කඳවුර වන එක්සත් ජාතික පෙරමුණ කඳවුරයි. එම තර්ජනය පරාජය කිරීමට පුළුවන් වන්නේ එම කඳවුරට විතරයි .

එක්සත් ජාතික පෙරමුණ කඳවුරෙන් අපේක්ෂකයා ලෙස අද ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාසට එම මායාව පරාජය කරන්න පුළුවන්. ඉදිරි සති කිහිපය මේ රටේ ඉතිහාසය තීරණය කරන ක්‍රියාවලියේදී අපි බුද්ධිමත්ව තීරණය ගන්න අවශ්‍යයි. පැසිස්ට්වාදී දර්ශනය පරාජය කිරීමට තීරණය ගන්න අවශ්‍ය යි.

එදා ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට අත්වූ ඉරණම !

පසුගියදා මමත් චන්ද්‍රගුප්ත තේනුවරත් ගෝඨාබය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවයේ වලංගුභාවය පිළිබඳව ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කළා. ඉන් ‍ගෝඨාබයගේ පුරවැසිභාවයේ වලංගුභාවය අධිකරණය පිළිගත්තා. ඔවුන් ජයග්‍රහණය කළා. අපි පරාජය වුණා.

මේ ආකාරයටම 2015 ට කලින් “දිවි නැගුම “ පනත සම්බන්ධව හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය තීන්දුවක් දුන්නා. එය එදා හිටපු විපක්ෂයට වාසි සහගත වුණා. පාලකයන්ගේ මතයට අනුගත වුණේ නැහැ. එහිදී එම අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයකට ලක්කරමින් ගෙදර යැව්වා.

අද අභියාචනාධිකරණයේ විනිසුරුවරු 03ක් ඒකමතිකව අප කියූ කාරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ගෝඨාබය රාජපක්ෂ පිළිඅරගෙන තිබෙනවා. අපි එයට හිස නමා ගරු කරනවා.

මේ විනිසුරුවරුන්ට ශිරානි බණ්ඩාරනායක මහත්මියට අත්වූ ඉරණම අත් වෙන්නේ නැහැ. ඒ තත්ත්වය ඇති කළේ කවුද? ඒ නිදහස ඇති වූයේ 2015න් පසු ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නිසයි. එහිදී සාධාරණ විනිශ්චයක් ලබාගැනීමට හැකි වීම පිළිබඳව ගෝඨාබය රාජපක්ෂ  අපට ස්තූතිවන්ත වෙන්න අවශ්‍ය යි. මේ නිදහස අපි දිගටම ගෙනියන්න අවශ්‍ය යි.

ගෝඨාබය රාජපක්ෂ ඇති කළ දෘෂ්ඨිවාදී අධිකරණය!

අද වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ මරණ තර්ජන එල්ල වෙනවා. ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියා ඊයේ සීඅයිඩි යට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. මම අභියාචනාධිකරණයට ගියේ මාගේ සැකයක් ගැනයි. එහිදී අධිකරණ තීන්දුව අපි පිළිගත්තා. ඉන්පසුව තවත් අධිකරණයකින් මරණීය තර්ජන එනවා.

ඒ අධිකරණය ගෝඨාබය රාජපක්ෂ ඇති කළ දෘෂ්ඨිවාදී අධිකරණය යි. නොවැම්බර් 16 පරාජය කරන්න ඕනේ එයයි. අද අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා පැසිස්ට්වාදය අතර ප්‍රශ්නයක්. මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය, මරණය හරහා පැහැර ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක්.

ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස මේ වෙලාවේ පැසිස්ට්වාදී උවදුරට ගොදුරුවන්නට මේ රටට ඉඩ තියන්නේ නැහැ කියා අපි තීරණය කරනවා. ඒ සඳහා පුරවැසි බලය හා සාධාරණ සමාජය එකතුවී ගෝඨාබය රාජපක්ෂ පරාජය කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ඨිවාදය තිබෙන එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරන්න අවශ්‍ය යි.

මම යූඑන්පී කියා ලේබල් අලවන්න පුළුවන්. නමුත් රටේ ජනතාව ආරක්ෂා වනවා නම් ඒ දේවල් වලට බය නැහැ. මාගේ විනිශ්චය රඳා පවතින්නේ ක්‍රියාවෙන් ඇති වන ප්‍රතිඵලය මතයි.

මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධව මමත් තේනුවර මහතාත් සීඅයිඩී යට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අපි ඉදිරිපත් කළ නඩුවේ හේතු දැක්වීම තවම ලැබී නැහැ. එම හේතු දැක්වීම මේ සතියේ ලැබේවි කියා අපෙක්ෂා කරනවා. ඉන්පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනවාක් ඉදිරිපත් කරනවාද යන්න තීරණය කරනවා.''

ගෝඨාබය රාජ්‍ය පාලනයට කිසිසේත්ම සුදුසු නැ- මහාචාර්ය සරත් විජේසූරිය

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මෙසේ සඳහන් කළේය.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාබය රාජපක්ෂ පරාජයට පත් කිරීම අපගේ ස්ථාවරය වනවා. ගෝඨාබය රාජපක්ෂ රාජ්‍ය පාලනය කිරීමට කිසිසේත්ම සුදුසුනැති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි කාලයේදී සනාථ කළා. රාජපක්ෂ පාලනය පරාජය කර 2015දී පුරවැසියන්ට ජීවත්වියහැකි නිදහස් පරිසරයක් නිර්මාණය කළා. නිදහස ඉටුකිරීමේ වගකීම අපට තිබෙනවා.

මිලිටරි පාලනයක් , පැසිස්ට්වාදී පාලනයක් තුළ මිනිසුන්ගේ නිදහස අහෝසි වනවා දකින්න අපි කැමති නැහැ. ඒ නිසා මේ කරුණු සලකාබලා රට පාලනය කිරීමට කාටද සහයෝගය දෙන්නේ කියන කාරණාව අපි හිතුවා.

සංඛ්‍යාවෙන් විශාල පිරිසක් සිටියාට තරඟය තිබෙන්නේ දෙදෙනෙකු අතරයි. ඒ සජිත් සහ ගෝඨාබය රාජපක්ෂ අතරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම කාරණය සරලව ගෙන විවිධ ස්වරූපවලින් වාමවාදී හෝ වෙනත් නාමධාරීන් විසින් කටයුතු සිදු කරන්න පුළුවන්.නමුත් ඒ අය සිදුකරන්නේ පැසිස්ට්වාදී පාලනයකට දොරගුලු විවර කිරීමයි.

මේ තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කරන්න කියා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම , නිදහස ඇති කිරීම , නීතියේ සාධාරණය වෙනුවෙන් කටයුතු කිරීම ආදීයේ වටිනාකම් තෙරුම්ගන්න අවශ්‍යයි. මේ කාලයේදී ජනමාධ්‍යවේදීන් මරණ තර්ජන , අතරුදන්වීම් , පැහැරගැනීම් ආදිය මේ කාලයේ අත්වූයේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට අපි සිවිල් ව්‍යාපාර ලෙස කටයුතු කරනවා.''

පුරවැසි බලය සංවිධානයේ සමකැඳවුම්කරු කේ.ඩබ්. ජනරංජන, පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරුවකු ලෙස ක්‍රියා කළ ධර්මසිරි බණ්ඩාරනායක, පුරවැසි බලය සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික ලසන්ත රුහුණගේ යන මහත්වරුද එහිදී අදහස් දැක්වූහ.
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්