දිගින් දිගටම රජය අපහසුතාවයට පත්කරමින් කටයුතු කරන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න
වහං එකී ධුරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන්නයි අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අද (04) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ඒ පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්ට යැව්බව කියන ආන්දෝලනාත්මක ලිපියක් සම්බන්ධයෙන් විවේචනය කරමිනි.
එම අවස්ථාවේදී ඇතැම් අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් විෂයබාර අමාත්‍ය ටිරාන් අලස්ගෙන් ප්‍රශ්නකළ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ, අද පෙරවරුවේදී පොලිස්පතිවරයා කැඳවා දැඩි ලෙස අවවාදකර සිටි බවයි.
පසුගිය මැයි 09 වෙනිදා සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා වලදී මැති ඇමතිවරුන්ගේ නිවාස හා දේපලවලට ආරක්ෂාවක් ලබානොදීම සම්බන්ධයෙන් ද ඔහුට මිට ඉහතදී ආණ්ඩු පක්ෂයෙන් බරපතල විරෝධයක් එල්ලවී තිබිණ.
‘කළු කොටි සැමරුම’ යෙදෙන හෙට (05) හෝ අනින්දා (06) උතුරු, නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්කකරගෙන බෝම්බ ප්‍රහාරයක්, යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කර එය එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් කරන ලද්දක් යැයි ඒත්තු ගැන්වීමට සුදානමක් පවතින බවට විශේෂිත තොරතුරක් ලැබී ඇතැයි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විසින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්නට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.
මෙම ලිපියෙන් තොරතුර දැනුම් දෙන ආකාරයට අදාළ ප්‍රහාරය එල්ල කරනු ලබන බවට සඳහන් වන්නේ විදේශීය ඔත්තු සේවාවක සාමාජිකයන් පිරිසක් විසිනි.
මේ හේතුවෙන් දැනටමත් යාපනය ප්‍රදේශයේ විදේශීය ආයතනවල සේවය කරන පිරිස් සහ ප්‍රභූවරුන්ට මෙම දින දෙක තුළ කිසිදු උත්සවයකට සහභාගී නොවන ලෙසට යම් දැනුම් දීමක් කර ඇතැයි ද එම ලිපියේ සදහන් වෙයි.
මේ අතර, ඉදිරියේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රින් ඇතුළු දේශපාලනඥයන් ඉලක්ක කර ඔවුන්ට සහ ඔවුන්ගේ නිවාසවලට ද යම් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මගින් රජයට බලපෑම්කර රජය අපහසුතාවට පත් කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂවලින් සහ විපක්ෂ කණ්ඩායම් මගින් සැලසුම් කර ඇති බවට තමා වෙත වාර්තා කර ඇතැයි ද පොලිස්පතිවරයා මෙම ලිපියෙන් දැනුම් දී ඇත.
ත්‍රස්ත මර්දන හා විමර්ශණ කොට්ඨාසයේ තොරතුරක් මත පදනම්කරගනිමින් පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට මෙම ලිපිය යොමුකරනු ලැබ ඇත්තේ ඉකුත් 27 දාතමින් යුතුවය.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම් වෙත ඉදිරිපත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සදහන් කර ඇත්තේ මෙම බුද්ධි තොරතුරු පිලිබඳ ඉදිරි පරීක්ෂණ මේ වන විට සිදු කරනු ලබන අතර මහජන ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබාදී ඉහල ආරක්ෂාවක් තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇති බවයි.
කලු ජූලිය ඉස්මතු කරමින් මෙම මස 05 සහ 06 යන දෙදින තුළ සිදු විය හැකි යැයි පැවසෙන ත්‍රස්තප්‍රහාරක් පිළිබඳ සදහන් කර ඇත්තේ බුද්ධි අංශ හරහා ලැබුණු තහවුරු නොකළ තොරතුරු මත පදනම්ව බව එම නිවේදනයේ දැක්වේ.
කෙසේ වෙතත් එම ලිපියේ සදහන් පරිදි කලු ජූලිය ඉස්මතු කරමින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු වීමට ඇති ඉඩකඩ පිළිබඳව මෙතෙක් භූමි තොරතුරු ලැබී නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව කලබලයකින් තොරව තම එදිනෙදා කටයුතුවල නිරත වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.