භූ දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වූ ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරායට

පැමිණීමට ශ්‍රී ලංකා රජය ඊයේ (අගෝස්තු 13) අවසර ලබා දී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, සියලු කරුණු පිළිබඳ සැලකිල්ල යොමු කිරීමෙන් පසු නෞකාවට මෙරටට පැමිණීම සඳහා වන අවසරය කොළඹ චීන තානාපති කාර්යාලයට ඊයේ (13) දැනුම් දුන් බවයි.

යුවාන් වැන්ග් 5 මුලින් අගෝස්තු 11 දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ අතර, ඉන්දියාවේ විරෝධය මත සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමුණි.

නෞකාවේ හම්බන්තොට සංචාරය ප්‍රමාද කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය කොළඹ චීන තානාපති කාර්යාලයට මීට පෙර දැනුම් දී තිබුණි.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ අනතුරුව මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉහළ මට්ටමේ උපදේශන පැවති බවයි.


"රාජ්‍යයයන්ගේ ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මයට අනුකූලව, අදාළ සියලු පාර්ශ්වයන්ගේ අභිලාශයන් සැලකිල්ලට ගනිමින්, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සංවාදය තුළින් මෙය විසඳා ගැනීම සඳහා එම සාකච්ඡා පැවැත්වු" බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.


එහි දැක්වෙන්නේ සියලු රටවල් සමඟ සහයෝගීතාවය සහ මිත්‍රත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය නැවත අවධාරණය කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන බවයි.

"අසල්වැසි රටවල ආරක්ෂාව සහ සහයෝගීතාවය අතිශයින්ම ප්‍රමුඛ" වන බවද විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කළේය.

මේ අතර හාබර් මාස්ටර් නිර්මාල් පී සිල්වා කියා සිටියේ මෙම නෞකාව අගෝස්තු 16 සිට 22 දක්වා හම්බන්තොටට පැමිණීමට විදේශ අමාත්‍යාංශයේ අවසරය ලැබී ඇති බවයි.

"රාජ්‍ය තාන්ත්‍රික අවසරය අද ලැබුණා. වරායේ සැපයුම් සහතික කිරීම සඳහා අපි යාත්‍රාව විසින් පත් කරන ලද දේශීය නියෝජිතයා සමඟ කටයුතු කරනවා," නිර්මාල් පී සිල්වා පැවසීය.

 

යුවාන් වැන්ග් 5 පර්යේෂණ සහ සමීක්ෂණ යාත්‍රාවක් ලෙස හැදින්වෙන, නමුත් ඉන්දියානු මාධ්‍ය එය හඳුන්වනු ලබන්නේ ඔත්තු බැලීමේ නෞකාවක් ලෙසටය. යුවාන් වැන්ග් 5 අභ්‍යවකාශය සහ චන්ද්‍රිකා ලුහුබැඳීම සඳහා යොදා ගත හැකි අතර, අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීම් සඳහා ද විශේෂිත නෞකාවක් ලෙස සැලකෙයි.

 

භූ දේශපාලනික අර්බුදය මැද ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩෝනියර් ගුවන් යානයක්


උණුසුම්වන භූ දේශපාලනික වාතාවරණය මධ්‍යයේ ඉන්දියාවේ නිෂ්පාදිත ඩෝනියර් 228 වර්ගයේ සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නොමිලයේ ලබාදීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඉන්දීය නිදහස් දිනය යෙදෙන අගෝස්තු 15 වැනිදා මෙම ගුවන් යානය ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාරදීමට නියමිතය.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස් මහකොමසාරිස් ගෝපාල් බාග්ලේගේ ප්‍රධානත්වයෙනි.

indian navy

ඩෝනියර් ගුවන් යානය

 

ඉන්දියාවේ දී මාස 04ක විශේෂ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්, නිරීක්ෂකයින්, ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන් ගෙන් සැදුම්ලත් 15 ක පමණ කණ්ඩායමක් විසින් ඉන්දීය රජයේ තාක්ෂණික කණ්ඩායමේ අධීක්ෂණය යටතේ ඩෝනියර් 228 ගුවන් යානාව, පියාසර කිරීම සහ නඩත්තු කටයුතු සිදුකරනු ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.

ගුවන් හමුදාව පැවසුවේ ශ්‍රී ලංකා ගුවන් සීමාව හා අනන්‍ය මුහුදු කලාපය තුළ ඩෝනියර් ගුවන් යානා ඵලදායි ලෙස යොදා ගනිමින් සමුද්‍ර හා වෙරළ නිරීක්ෂණ මෙහෙයුම්, සමුද්‍රීය දූෂණය නිරීක්ෂණය සහ පාලනය කිරීමේ කටයුතු පුළුල් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැක්ම වන ගුවන් බලය ඵලදායි ලෙස යෙදවීම තුළින් ජාතික ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරනු ඇති බවයි.

 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2018 ජනවාරි මස 9 වැනි දින නවදිල්ලියේ පැවැති දෙරටේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් අතරතුර දී ශ්‍රී ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් වර්ගය සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානා දෙකක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කර තිබේ.

 

ශ්‍රී ලංකාවේ එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු රජය විසින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමට එකඟ වී ඇත.

 ඒ, නව ගුවන් යානයක් නිෂ්පාදනය කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් අවශ්‍ය වන බැවිනි.

ප්‍රථම දෙවන වසර අවසානයේදී නව ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ගුවන් යානාවක් නොමිලේ ලබාදීමට ඉන්දීය රජය කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකා රජය විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ නියමයන් සහ කොන්දේසි මත තවත් ගුවන් යානයක් ලබාදීමට නියමිතව ඇතැයි ගුවන් හමුදාව සඳහන් කළේය.

ඩෝනියර් - 228 යනු කෙටි ගුවන් ධාවන පථයක් මත ගුවන්ගත කිරීම සහ ගොඩබ බෑම සඳහා වූ විශේෂිත වූ හැකියාවකින් යුත් ටර්බෝප්‍රෝප් (Turboprop) වර්ගයේ ද්විත්ව එන්ජින් (Twinengine) සහිත බහුකාර්ය සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානයක් (Multirole Light Transport Aircraft) වන අතර එය 1981 සිට ජර්මනිය තුළ නිෂ්පාදන කටයුතු සිදු කරන ලදී. ජර්මනියේ ඩෝනියර් GmbH සමාගම විසින් 1981-1998 කාල සීමාව තුල මෙම ගුවන් යානය 245 ක් පමණ නිපදවා ඇති අතර පසුව හින්දුස්ථාන් ගුවන්යානා සමාගම (Hindusthan Aeronautics Limited) 1993 සිට ඩෝනියර් GmbH බලපත්‍ර යටතේ මෙම ගුවන් යානා නිෂ්පාදනය කරනු ලබයි.

(BBC සිංහල සේවය)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්