leader s

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිපල නිකුත්වූ මොහොතේම පරාජය පිළිගෙන සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ මංගල සමරවීර මන්ත්‍රීවරයා, අද (22) පෙරවරුවේ සිය නිල නිවාස ද බාරදී පදිංචිය සඳහා පෞද්ගලික හිතවතකුගේ නිවසක් වෙත පිටව ගියේය. 

මංගල සමරවීර මන්ත්‍රීවරයා මින් ඉදිරියට පක්ෂ දේශපාලනයෙන් බැහැරව ශ්‍රී ලාංකීය සියලු ජනකොටස්වල සංහිඳියාව වෙනුවෙන් නව දේශපාලන ගමනක් ඇරඹීමට තීරණය කර ඇතයි වාර්තාවේ.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට සිටින සුදුසුම පුද්ගලයා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස බවට තීන්දු කර ඒ වෙනුවෙන් පක්ෂය තුල අභ්‍යන්තර අරගලයක් ගෙනගිය මංගල සමරවීර, මැතිවරණ ව්‍යාපාරය තුලදී ද සජිත් ප්‍රේමදාස දිනවීම උදෙසා ද දැඩි කැපවීමෙන් කටයුතු කළේය.

පරාජයට වගකිව යුත්තා මංගල !

කෙසේවුවද ජනාධිපතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් රැසකගේ දැඩි විවේචනයක් එල්ලවී ඇත්තේ මංගල සමරවීර වෙතය. පසුගියදා පැවති එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක හා දයා ගමගේ යන හිටපු ඇමතිවරුන් තිදෙනා පරාජයට වගකිවයුතු මුලිකයා ලෙස චෝදනා කර සිටියේ  මංගල සමරවීර මන්ත්‍රීවරයා වෙතය. 

මෙම රැස්වීමට මංගල සමරවීර මන්ත්‍රීවරයා සහභාගී වී නොතිබිණ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජාතිකයින් ඉලක්කකර ගනිමින් සිදුවූ ප්‍රහාරයන් හමුවේ මංගල සමරවීර විසින් කරනු ලැබූ ඇතැම් ප්‍රකාශවලින් සිංහල -බෞද්ධ සමාජය ප්‍රකෝපයට පත්ව තිබීම මෙම පරාජයට මුලිකම කාරණය බව එම හිටපු ඇමතිවරුන් ප්‍රකාශකර තිබුන ද එජාප නායක රනිල් වික්‍රමසිංහ එකී චෝදනා පිළිගත නොහැකි බව සඳහන් කර තිබිණ.

''ගම්පෙරළිය නැත්නම් ඔය ටිකත් නැහැ'' 

කෙසේවුවද එම රැස්වීමෙන් පසු theleader.lkවෙත අදහස් දැක්වූ එජාප ජ්‍යෙෂ්ඨ නායකයකු පැවසුයේ, මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ලෙස 'ගම්පෙරළිය' වැඩසටහන ආරම්භකර පසුගිය අයවැය වලින් ගම් මට්ටමේ සංවර්ධන කටයුතු සඳහා කෝටි ගණනින් මුදල් වෙන් නොකලේනම් එජාප ආසන සංවිධායකයින්ට මෙවර ජනාධිපතිවරණයේදී රෙදි ඇඳන් ගමකටවත් යා නොහැකිව තිබු බවයි.

''ඇත්තටම පරාජයට බලපෑ මුලික හේතුව දැන් පැහැදිලියි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ, අපට රටක් නැතිවෙනවා කියලා පන්සල් හරහා තිවුණු බියක් සමාජය වෙත මුදාහැරලා. සාමාන්‍ය දකුණේ සිංහල බෞද්ධ ජනතාව අනෙක් සියලුම කාරණා පැත්තක තියලා එ බිය නිසා ගෝඨාභය රාජපක්ෂ දිනෙව්වා. මංගල සමරවීර ඇමතිතුමා කියපු ඇතැම් ප්‍රකාශ දිගින් දිගටම විකෘති කරලා ඒ වෙනුවෙන් ජනමතයකුත් හැදුවා ..

''යහපාලනයේ පරාජය ඇරඹුණේ බැඳුම්කර සිද්ධියෙන්...''

හැබැයි එක ප්‍රධාන කාරණය වුනාට අපේ ආණ්ඩුවේ පරාජය ආරම්භ වුනේ මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන්. අනෙක දැන් එකිනෙකට චෝදනා කරන ඇමතිවරු, එයාලගේ දුලා, පුතාලා, ලේලිලා, බැනලා මහ ප්‍රමාණයෙන් හොරකම් කල බවට කොමිස් ගහපු බවට සමාජ තුල මතයක් ගොඩනැගිල තිබුනා. 

ඇත්තටම ජනතාව හිටියේ ආණ්ඩුව එක්ක කෝපයෙන් .. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව ලබපු අතිවිශාල ජයග්‍රහනයෙනුත් එක පැහැදිලිව පෙනුනා. 

''සජිත් ජාතික නායකයකු ලෙස තහවුරු වුනා ''

ඇත්තටම සජිත් මහත්තය කර ගැහුවේ අනුන්ගේ පවකට. කොහොමවුනත් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වුනේ නැත්නම් මීටත් වඩා දැවැන්ත පරාජයක් ලැබෙනවා. 

හැබැයි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමත් සමග සජිත් ප්‍රේමදාස දැන් ජාතික නායකයකු ලෙස තහවුරුවෙලා තියනවා. එක අපි ලබපු විශාල ජයග්‍රහණයක්. දැන් අපට බලාපොරොත්තුවක් තියනවා.'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්