LGBTQ+ සහ පරිසර සංවිධාන හරහා ක්‍රියාත්මක වන ඇමෙරිකානු අධිරාජ්‍යවාදී ලිබරල් වාම උගුල පරදා, මුළු පද්ධතියම (System) පෙරළන නව මාක්ස්වාදී පක්ෂයක අවශ්‍යතාව පෙන්වා දෙයි
වසර 15කට අධික කාලයක් තිස්සේ දේශපාලන වේදිකාවෙන් සහ ප්‍රසිද්ධ මාධ්‍ය අවකාශයෙන් ඈත්ව සිටි, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති සහ නව සම සමාජ පක්ෂයේ (NSSP) හිටපු දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඥානසිරි කොත්තිගොඩ ලාංකීය වාම ව්‍යාපාරයේ න්‍යායික බිඳවැටීම පිළිබඳව දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් සිදු කරයි.
ඔහු බීබීසී (BBC) සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදියෙකු ද වේ.
ස්විට්සර්ලන්තයේ දේශපාලන සරණාගතභාවය ලබා සිටි කාලය ඇතුළුව, තමන් ලැබූ වසර 24ක දේශපාලන සහ කම්කරු අරගල අත්දැකීම් අලලා ලියූ ස්වයං චරිතාපදාන කෘතිය ජනගත කිරීමේ විශේෂ උත්සවයකදී ඔහු මේ බව කියා සිටියේය.
ඔහු විසින් රචිත "නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම" කෘතිය ජුලි 07 දා කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වැඩීය.
කම්කරු අරගලයෙන් ඇරඹි ගමන සහ සභාග දේශපාලනයේ ශාපය
ග්‍රාමීය පසුබිමකින් කොළඹට පැමිණ වැල්ලවත්ත රෙදි මෝලේ සේවය කරමින් සිටියදී, විවෘත ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රෙදි මෝල වසා දැමීමට එරෙහිව කළ අරගල තුළින් කොත්තිගොඩ දේශපාලනයට අවතීර්ණ විය.
නොස්ටැල්ජියාව සහ යථාර්ථය:
එහිදී වාසුදේව නානායක්කාර සහ සිරිතුංග ජයසූරිය හමුවීමෙන් පසු නව සමසමාජ පක්ෂයට සම්බන්ධ වූ ඔහු, වමේ ව්‍යාපාරයේ පසුබෑමට බලපෑ ප්‍රධාන හේතු පෙන්වා දෙයි.
සභාග උගුල සහ අවස්ථාවාදය:
පක්ෂයේ මුඛ්‍ය පරමාර්ථවලින් බැහැරව වෘත්තීය සමිතිවාදය සහ අවස්ථාවාදය ඉස්මතු වීමත්, විශේෂයෙන්ම 1994 වසරේදී ඇතැම් වාම නායකයින් චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ රජය සමඟ සභාග දේශපාලනයට (Coalition politics) එක්වීමත් නිසා වමේ ව්‍යාපාරය දරුණු ලෙස අර්බුදයට ගිය බව හෙළි කරයි.
න්‍යායික අර්බුදය සහ 'අධිකාරීත්වයේ' වැදගත්කම
වාමංශික පක්ෂ ඉදිරියට ගෙනයාමට නම් ශක්තිමත් 'මාක්ස්වාදී අධ්‍යාපනයක්' තිබිය යුතු වුවද, එය නොමැති වීම නිසා පක්ෂය තුළ සිටි ඇතැම් පිරිස් ධනේශ්වර ක්‍රමයේ වටිනාකම් හා ලිබරල්වාදය කරා ගසාගෙන ගිය බව ඔහු පවසයි.
ලෙනින්වාදී අයෝමය විනය:
ධනපති පාලකයන් පවත්වාගෙන යන අධිකාරීවාදයට පරිබාහිරව, විප්ලවීය වාමංශික පක්ෂයකට බලය ලබා ගැනීම සඳහා ලෙනින් පෙන්වා දුන් ආකාරයේ 'අයෝමය විනයක්' සහ 'අධිකාරීත්වයක්' (Authority) අවශ්‍ය බව ඔහු තර්ක කරයි.
ක්‍රියාකාරීන් පෙරමුණට ගැනීම:
මෙහිදී ප්‍රශ්නය පවතින්නේ නායකයන් එම අධිකාරී බලය තමන්ගේ පෞද්ගලික පැවැත්ම වෙනුවෙන් නොව, පහළින් එන ක්‍රියාකාරීන් (Cadres) ඉදිරියට ගෙන විප්ලවය සාර්ථක කර ගැනීම සඳහා යොදවන්නේද යන්න මත පමණක් බව කොත්තිගොඩ පෙන්වා දෙයි.
අධිරාජ්‍යවාදී ලිබරල් උගුල සහ නව පක්ෂයක අවශ්‍යතාවය
සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු ඇමෙරිකානු අධිරාජ්‍යවාදය ලෝකය පුරා තම බලය පතුරුවා හැරීම සඳහා නව උපක්‍රම භාවිත කරමින් සිටින බව ඔහු මෙහිදී අවධාරණය කෙරිණි.
ක්‍රමය රැකීමේ ව්‍යාපෘති:
මානව හිමිකම්, පරිසරය හෝ LGBTQ+ වැනි විවිධ රාජ්‍ය නොවන සංවිධාන (NGOs) හරහා ලිබරල් වාමංශික මතවාද සමාජගත කරමින් පවතින ධනේශ්වර ක්‍රමය (System) ආරක්ෂා කිරීමට ඔවුන් සූක්ෂ්ම ලෙස කටයුතු කරමින් සිටී.
පද්ධති මාරුවක අවශ්‍යතාවය:
පවතින ක්‍රමයේ පොඩි පොඩි කෑලි වෙනස් කරන ලිබරල්වාදයට වඩා, සමස්ත ක්‍රමයම මුලින්ම උදුරා දමා වෙනස් කළ හැකි, නියම මාක්ස්වාදයෙන් සන්නද්ධ ශක්තිමත් වාමංශික ව්‍යාපාරයක් සහ නව දේශපාලන පක්ෂයක් ලංකාවට මෙන්ම මුළු ලෝකයටම වර්තමානයේ අත්‍යවශ්‍ය වී ඇති බව දේ කොත්තිගොඩ වැඩිදුරටත් සඳහන් කරයි.
සබැඳි පුවත් :
'මහින්දලා ජඩමාධ්‍යයෙන් ගහද්දී බී.බී.සීයත් මාව අත්හැරියා!' - වසර 14කට පසු ලංකාවට ආ ඥානසිරි කොත්තිගොඩගෙන් ප්‍රබල අනාවරණයක පොතක් ජුලි 07 එළිදකී




