පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේ කිරි සහ බිත්තර පවා නොමැති බවට මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ලවී ඇතැයි වාර්තාවේ.



පාර්ලිමේන්තුවට ආහාර සපයන්නන්ගේ බිල්පත් ගෙවීම් පමාවීම ඊට හේතුවී ඇතැයි පැවසේ.

ඒ අතර විදුලිය, ගෑස් සහ ආහාර ද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කෑම වියදම සියයට 30කින් පමණ ඉහළ නැග ඇතැයි 'ලංකාදීප' වාර්තා කර ඇත.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ආහාර සඳහා මාසයකට ලක්ෂ 90 ක පමණ මුදලක් වැයවූ අතර එය දැන් කෝටිය ඉක්මවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

 

පාර්ලිමේන්තුවේ ආහාර පාන සඳහා වැය කරන මුදලින් සියයට 60 කට අධික සංඛ්‍යාවක් වැය කෙරෙන්නේ එහි කාර්ය මණ්ඩලයේ ආහාරපාන වෙනුවෙන් බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බොහෝ දුරට ආහාරපාන ලබා ගන්නේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී පමණි. බොහෝ දුරට එය මාසයකට දින 8ක් පමණ වේ.

 

සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවද පැවසෙයි.

එහෙත් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය මාසය පුරා (රජයේ වැඩ දිනවල )පාර්ලිමේන්තුවෙන් ආහාර සහනදායි මිලකට ගන්නා බව සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ ආහාරපාන නාස්තිය ද ඉහළ අගයක පවතින අතර ආහාර ද්‍රව්‍ය පිට කිරීම ද පෙර නොවූ විරූ ලෙස වැඩිවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට 2000කට ආසන්න පිරිසක් ඇතුළත් වෙති.

පාර්ලිමේන්තුවේ ආහාර සඳහා යන වියදම මැති ඇමැතිවරුන්ගේ ආහාර වියදම ලෙස පමණක් හුවා දැක්වීම වැරදි බව මේ අතර මන්ත්‍රීවරු පිරිසක් පැවසූහ.

පාර්ලිමේන්තුවේ ආහාරපාන සඳහා යන වියදම වැඩිවී ඇත්තේ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම සහ ආහාර පිසීමට යොදා ගන්නා ගෑස් සහ විදුලිය මිල විශාල වශයෙන් ඉහළ යෑම නිසා බව දැනගන්නට ඇත.

 


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්