අයවැය මඟින් මැතිවරණයට මුදල් වෙන් කර තිබුණද, අධිකරණ තීන්දුවක් ලබා දුන්නද, මැතිවරණයට ලබා දීමට ආණ්ඩුවට මුදල් නොමැති නම් මුදල් ලබා දෙන්නේ කෙසේදැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

ප්‍රශ්න කරයි.

ඔහු එම විමසීම සිදුකරනු ලැබුවේ, 'නෙත් නිවුස් රතු කට්ට' විශේෂාංගයට එක් වෙමිනි.

ඩොලරයේ අගය යළි ඉහළ යනු ඇති බවට සිදු කර ඇති පුරෝකථන සම්බන්ධයෙන්ද ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.



''ආරක්ෂාව දුන්නත් සල්ලි නැතුව මුද්‍රණය කරන්න බැහැ'' - මුද්‍රණාලය කියයි


තවත් රුපියල් මිලියන 20ක මුදලක් ලබා දෙන්නේ නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට හැකි බව රජයේ මුද්‍රණාලය පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 533කි. රජයේ මුද්‍රණාලයට මේවනවිටත් රුපියල් මිලියන 40ක මුදලක් ලබා දී ඇත.

 එහෙත් මුද්‍රණාලය විසින් මේවනවිට මැතිවරණයට අදාළව රුපියල් මිලියන 150ක පමණ මුද්‍රණ කටයුතු සිදු කර අවසන් බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙකු 'නෙත් නිවුස්' කළ විමසීමකදී ප්‍රකාශ කළේය. ඒ අනුව දිස්ත්‍රික් 17කට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකාද මුද්‍රණය කර අවසන් කර ඇත. එම ප්‍රමාණය සම්පූර්ණ තැපැල් ඡන්ද පත්‍රිකා ප්‍රමාණයෙන් සියයට 75කි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සිදු කරන අවස්ථාවේ රජයේ මුද්‍රණාලයට ආරක්ෂාව ලබා දීමට පොලිසිය එකඟතාවය පළ කර ඇති බව රජයේ මුද්‍රණාලයේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.

ඒ අනුව, දින 4ක් , 5ක් ඇතුළත අදාළ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් කටයුතු සිදු කරන බව පොලිසිය විසින් රජයේ මුද්‍රණාලය වෙත දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මුද්‍රණාලයට ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අංශ එකඟතාව පළ කළද තවමත් රජයේ මුද්‍රණාලයට අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් මුද්‍රණ කටයුතු සිදු කිරීමට ප්‍රමාද වන බව එම ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.


ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපෑමක් ද ?


පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයා වෙත මාර්තු 03 වැනිදා තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම ද වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ජනාධිපතිවරයා වෙනුවෙන් නම් කර තිබූ නීතිපතිවරයා වෙත මෙම අතුරු නියෝග නිකුත් කරනු ලැබීය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය දෙනු ලැබීය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා සහ ප්‍රතිවිරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල මැයි මස 26 වැනිදා පෙත්සම් විභාගය සිදුකරන බවත් නියෝග කළේය.

 පෙත්සම සලකා බැලීම ආරම්භ වු අවස්ථාවේ පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මුදල් අමාත්‍යංශය, රජයේ මුද්‍රණාලය, පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය ආයතන නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට සහාය වීමට බැදී සිටින බව පෙන්වා දුන්නේය.

 
ඒකාබද්ධ අරමුදල යටතේ එම මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත සපයා දීමට රජය බැඳී සිටින අතර එය ප්‍රතික්ෂේප කිරීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී අවධාරණය කළේය.

ඒ අනුව මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර දීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය බැදී සිටින බව සඳහන් කළ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මැතිවරණ කොමිසම නිකුත් කරන නියෝග පිළිපැදීමට ඔවුන් බැදී සිටින බවත් අධිකරණය හමුවේ කියා සිටියේය.

එම නියෝග කඩ කරනු ලබන රජයේ නිලධාරීන්ට රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයක් , වසර තුනක් දක්වා සිර දඬුවම් හෝ එම දඩුවම් දෙකම වුවද ලබාදීමට අධිකරණයට හැකියාවක් තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

" රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය නිසා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දිය නොහැකි බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. 2023 වසරේ මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව මගින් රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කර තිබියදී තමා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම දැනුම් දීම සිදුකර තිබෙන්නේ. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම යනු ඩොලර් අර්බුදය හා බැඳුණු කරුණක් නොවේ. අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා නොදීම සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර නොදීම හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීම මේ වනවිට කල් දමා තිබෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට නිවාඩු ලබා දීමක්. මෙය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම කල් දැමීමේ අත්හදා බැලීමක් විය හැකියි"යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු වග උත්තරකරුවන්ගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් ජනතාවගේ ඡන්ද අයිතිය මෙන්ම ජනතා පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය වන බවත් අවධාරණය කළේය.



නීතිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

 නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රජාත්‍රන්ත්‍රවාදය හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චේතනාවක් රජයට නොමැති බවත් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය මෙන්ම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කරන බවත් කියා සිටියේය.

"මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හිතාමතාම මැතිවරණ කටයුතු සඳහා මුදල් නිකුත් නොකරන බවට පෙත්සමෙන් එල්ල කර තිබෙන චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. ඔහු මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවලට සහභාගී වුණා. මැතිවරණ කටයුතු සදහා මැතිවරණ කොමිසමට රුපියල් මිලියන 100 ක මුදලකුත් රජයේ මුද්‍රණාලයට රුපියල් මිලියන 40 ක් සහ ශ්‍රී ලංකා පොලීසියට රුපියල් මිලියන 25 ක මුදලකුත් නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබෙනවා. එසේ නම් මැතිවරණ ක්‍රියාවලියට ඔහු බාධා කරන්නේ යැයි චෝදනා කරන්නේ කෙසේද?" යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විමසා සිටියේය.

" රට තුළ උද්ගතව තිබෙන අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය වියදම් සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් මුදල් වෙන් කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ. මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය කටයුත්තක් නොවෙයි කියා මා කිසිදු අවස්ථාවක සඳහන් කරන්නේ නෑ. රටේ ආර්ථික තත්ත්වය නගා සිටුවීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර ආයතනවල සහාය පතා තිබෙනවා. මෙම තත්වය මුදල් ලේකම්වරයා විසින් නාම යෝජනා කැදවීමට පෙර මැතිවරණ කොමිසමට පැහැදිලි කර දී සිටියා. එසේ නම් ජන්ද විමසීම පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව මැතිවරණ කොමිසමට තීරණයක් ගැනීමට අවකාශ තිබුණා." යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණද මැතිවරණ කොමිසම වග උත්තරකරුවකු ලෙස නම් කර නොමැති නිසා මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවත් අධිකරණය හමුවේ අවධාරණය කළේය.

 රටේ ප්‍රමුඛ වියදම් ලෙස  පෙළගස්වා තිබෙන වියදම් ලැයිස්තුවෙන් මුදල් කපා දැමිය යුතු වියදම් තිබේ නම් පෙන්වා දෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාවෙන් පැනනගින බලතල සහ වරප්‍රසාද උල්ලංඝණය වන අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ බලය පාර්ලිමේන්තුව සතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවේදී මාර්තු 7 දා පැවසීය.

මන්ත්‍රී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රීවරයා එම කාරණය අවධාරණය කළේය.



සබැඳි පුවත් :


ඡන්දෙට වෙන් කළ මුදල් නොදෙන්න හේතුව !

නීතිඥ දොළවත්ත පාර්ලිමේන්තුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කරයි !

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්