රටේ ප්‍රමුඛ වියදම් ලෙස  පෙළගස්වා තිබෙන වියදම් ලැයිස්තුවෙන් මුදල් කපා දැමිය යුතු වියදම් තිබේ නම් පෙන්වා දෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ දී පැවසීය.



වැටුප් හා වේතන ගෙවීම, විශ්‍රාම වැටුප්, රෝහල්වල වෛද්‍ය සැපයුම්, මාසික සමෘද්ධි  හා සහන සැපයීම්,වැඩිහිටි මූල්‍ය ආධාර, වකුගඩු රෝගීන් සදහා මූල්‍ය ආධාර ආදිය කල් දැමිය හැකිදැයි විමසූ  මුදල් රාජ්‍ය  අමාත්‍යවරයා, විපක්ෂය කියන්නේ මේ වියදම් කපා ඡන්දය පවත්වන්න කියා දැයි විමසිය.

අයවැයෙන් ඡන්දයට බිලියන දහයක් අනුමත වී තිබෙන අතර එය දෙන්නේ නැත්තේ ඇයි දැයි අහන බවත්, අයවැය ලේඛනයක් යනු හැමවිටම උපකල්පන වන අතර මෙච්චරක් ආදායමක් ලැබෙන විට මෙච්චර වියදම් කරනවා වැනි උපකල්පන අයවැය ලේඛනයේ සඳහන් වන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

සංකෝචනය වූ ආර්ථිකයක එම උපකල්පන හරියට ක්‍රියාත්මක වන්නේ නැතැයි රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසීය.


මැතිවරණයට මුදල් ඉල්ලූ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට


මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම යොමු කළ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බව එහි ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

ඒ , මැතිවරණ කොමිසම පසුගිය 7 වැනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් එවමින් ය.

මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, පවතින තත්ත්වය යටතේ මැතිවරණයට මුදල් නිදහස් කිරිම සඳහා තම අනුමැතිය ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දි ඇති බවයි.

කෙසේ වෙතත් එම මුදල මැතිවරණ කොමිසමට නුදුරේදීම ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරන බවද ඔහු පැවසුවේ ය.

මුදල් ලබා නොදීම හේතුවෙන් පසුගිය 09 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුවූ අතර මේ වනවිට එය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ, 2023 අයවැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වළකින්නැයි දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කිරීමත් සමගය.


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්