උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගතව යළි නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක් රජයට අය වියයුතුව ඇති බව හෙළිවී තිබේ.



ඒ කෝප් කමිටුව හමුවේදීය.

එහිදී අනාවරණ වූයේ විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 දෙනෙකුගෙන් අදාළ මුදල් පියවීම් සිදුකර ඇත්තේ 84 දෙනෙක් පමණක් බවය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි.

ඒ අනුව ගෙවීම් නොකළ ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් හෝ මෙම මුදල අය කරගැනීමට ක්‍රියා කළ යුතු බවත් මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මසක් තුළ කෝප් කමිටුවට දැනුම්දෙන ලෙසත් කමිටුව නිර්දේශ කර තිබේ.

මෙසේ පොලු තබා ඇති වැඩිම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගණන සේවය කර තිබෙන්නේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේය. එම සංඛ්‍යාව 122ක් වන අතර බැඳුම්කර අනුව ගෙවිය යුතු මුදල රු. මිලියන 237කි.

කැලනිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් අය කරගත යුතු මුදල රු. මිලියන 323කි.

මොවුන් අතරින් ඇතැමුන් විදේශවල සිට රටට උපදෙස් ද දෙන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මෙම ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් මුදල් අය කරගත යුතු බව පෙන්වා දුන්නේය.

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වී මාස දෙකකට වැඩියි !

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට එක් නොවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ද මෙම කෝප් කමිටු රැස්වීමේදී අවධානය යොමුකර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වී අදට මාස දෙකකුත් දින 10ක් ඉක්මවා ඇත.

උත්තර පත්‍ර පරීක්ෂා කිරීම අරඹන්නේ ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවකින් පසුව බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

ඒ පිළිබඳ කළ විමසීමේදී විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසුවේ ලබන 07 වනදායින් පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදීමට හැකියැයි ජනාධිපති ලේකම් කාර්යාලය දැන්වූ බවය.


පාසල් දරුවන් ප්‍රාණ ඇපයට ගැනීම !!


මේ අතර සිය ගැටලු වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාසල් දරුවන් ප්‍රාණ ඇපයට ගැනීම සදාචාර විරෝධී බව 'සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය' අවධාරණය කරයි.

මේ අතර උසස් පෙළ විභාග විෂයන් 63 න් 52 ක පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසීය.

පුරප්පාඩු පවතින භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව ඇතුළු විෂය 11කට අදාළව පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාරගැනීමේ කාලය අද (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බවද ඔහු සඳහන් කළේය.

එම කාලය පෙරේදා (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබුණි.


(උපුටා ගැනීම් - adaderana.lk)

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image