"දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට

කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයත් සමග එම ගීතය පිළිබඳ කතාබහක් මතුව තිබේ.

1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා ශුරින් විසින් රචනා කොට විශ්වනාත් ලව්ජී විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නෘත්‍යයේ ඇතුළත් මේ ගීතය වසර 120ක් පමණ පැරණි ගීතයකි.

මෙම නෘත්‍ය ගීතය මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන තුරු උත්සව සහ වෙනත් අවස්ථාවලදී එම ගීතය ජාතික ගීතයක් හා සමානව භාවිතයට ගෙන ඇති බවට සාක්ෂි පවතී.

ජාතික වින්දනයට සහ චින්තනයට ශතවර්ෂයකට අධික කාලයක් එම ගීතය අඛණ්ඩව බලපා තිබෙන බව සැලකිල්ලට ගනිමින්, " දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත කර ඇත.

John de Silva"දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය,1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා ශුරින් විසින් රචනා කොට විශ්වනාත් ලව්ජී විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නෘත්‍යයේ ඇතුළත් වසර 120ක් පමණ පැරණි ගීතයකි.





මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීණ සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි බීබීසී සිංහල සේවයට පවසා සිටියේ මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම ඉතා වටිනා ක්‍රියාවක් බවයි.

"ඔය ගීතය කවදාවත් නොමැරෙන ගීතයක්. ඉතින් මේ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කරපු එක, දැනට නෘත්‍ය ගී ගායනා කරපු සහ ඒවා දැනට උගන්වන කලාකරුවෙක් ලෙස මට හරිම සතුටක් දැනෙනවා." ඔහු පවසා සිටියි.


නෘත්‍ය කලාවේ ඉතිහාසය සහ ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වීමට හේතු..

1880 වර්ෂයේදී උතුරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නුර්ති කලාව මෙරට ජනතාව අතර ඉක්මනින් ජනප්‍රිය වූ බවයි සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ බිබිසි සිංහල සේවයට පවසා සිටියේය.

"1880 වර්ෂයේදී උතුරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන නාට්‍ය කණ්ඩායමක් තමයි නෘත්‍ය රංග සම්ප්‍රදාය පළමුවෙන් මෙරටට රැගෙන එන්නේ. ඔවුන්ගේ පළමු උත්සාහය වුනේ රුවල් නැවකින් එංගලන්තයට ගොස් මේ නාට්‍ය සම්ප්‍රදාය එහෙදි රඟ දක්වන්න. නමුත් එංගලන්තය වැනි දීර්ඝ මුහුදු ගමනකදී මුහුණ දෙන්න සිද්ධ වෙන විවිධ ආපදාවල පෙරහුරුවක් විදිහට තමයි එම කණ්ඩායම ඉන්දියාවට ආසන්නම රට වෙන ලංකාවට එන්නේ."

"ඒගොල්ලෝ පාර්සි භාෂාව කතාකරන නාට්‍ය කණ්ඩායමක්. පළමු වරට රඟ දක්වපු නාට්‍ය තමයි 'ඉන්දර් සභා' ඒ කියන්නේ දේව සභාව කියන නාට්‍යය. ඒකේ ප්‍රධාන නළුවා බොහොම රූප සම්පන්න කෙනෙක්. එයාගේ නම තමයි බලිවාලා කියන්නේ."

"මේ නාට්‍ය කණ්ඩායම ඉතිහාසයේ නම් තුනකින් හඳුන්වනවා. බලිවාලා රූමත් නළුවා නිසා බලිවාලා නාට්‍ය කණ්ඩායම විදිහටත්, පළමුවට රඟ දක්වපු ඉන්දර් සභා කියන නාට්‍යයේ නම නිසා ඉන්දර් සභා නාට්‍ය කණ්ඩායම කියලා වගේම ඔවුන් නාට්‍ය පෙන්වූ භාෂාව වූ පාර්සි භාෂාව නිසා පාර්සි නාට්‍ය කණ්ඩායම කියලත් මේ අයව හඳුන්වා තිබෙනවා. මේ නම් තුනෙන්ම හඳුන්වන්නේ එකම නාට්‍ය කණ්ඩායම."

"මේ අය ඇවිල්ලා මුලින්ම පිටකොටුවේ වර්තමානයේ කොළඹ වරාය ඉදිරිපිට තිබ්බ 'ශාමස් ධාන්‍යගාරයේ' තමයි පළමු නාට්‍ය රඟ දක්වලා තියෙන්නේ. මේ නාට්‍යයේ තිබුණු වර්ණවත් භාවය සහ සංගීතය නිසා ඉතා ඉක්මනින් මෙරට ජනතාව අතර නෘත්‍ය රංග සම්ප්‍රදාය ජනප්‍රිය වුනා," යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ බීබීසී සිංහල සේවයට පවසා සිටියේය.


නෘත්‍ය රංග සම්ප්‍රදායේ මෙරට ප්‍රවීණයින් කවුරුන් ද ?


සිංහල නුර්ති රංග සම්ප්‍රදායේ පුරෝගාමීන් ලෙස අමතක කළ නොහැකි නම් කිහිපයක් ඇති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පවසා සිටියේය.

" නෘත්‍ය රංග සම්ප්‍රදායේ මෙරට ප්‍රාරම්භකයා තමයි දොන් බස්තියන් ජයවීර බණ්ඩාර. ඔහු නාඩගම් රචකයෙක් වගේම ආරම්භක නෘත්‍ය රචකයෙක් විදිහට සැලකෙන්නේ. ඊට පස්සේ මහා දැවැන්තයෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම නීතිඥවරුන්. ඔවුන් තමයි නීතිඥ ජෝන් ද සිල්වා, නීතිඥ චාල්ස් ඩයස් මේ කලාව තුළ විශාල දායකත්වයක් ලබාදීලා තියෙනවා. ඒ නීතිඥ චාල්ස් ඩයස් ගේ, මාමා තමයි හෙන්රික් සෙනවිරත්න. ටවර් රඟහලේ අයිතිකරු තමයි ඔහු." ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පැවසුවේය.


'වර්තමානයේ "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා" ගීතයේ තනුව වැරදියි'

වර්තමානයේ දී ' දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා' ගීතය සඳහා භාවිත වන තනුව වැරදි එකක් බව කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පැවසීය.

" ගුවන් විදුලි සංස්ථාවේ තැටි ගබඩාවේ තියෙනවා මුලින්ම ගායනා කරලා තියෙන්නේ එච්.ඩබ්ලිව්. රූපසිංහ හෙවත් රූපසිංහ මාස්ටර් විසින්. හැබැයි ඒකෙ පොඩ්ඩක් තනුව වෙනස්. දැනට වර්තමානයේ භාවිතා වන්නේ වැරදි තනුවක්. ඔරිජනල් තනුව අහන්න ඕනේ නම් රූපසිංහ මාස්ටර් ගායනා කරපු ගුවන් විදුලි සංස්ථාවේ තියෙන තැටිය අහන්න ඕන. ගීතය ඉතාම වැරදි විදිහට භාවිත වුණා. වරක් ලෝරන්ස් කියලා නමක් තියෙන කෙනෙක් බටහිර උරුවට මේ ගීතය ගායනා කළා. අන්තිමේදී ගොඩක් අය කිව්වා මේක බටහිර ගීතයක් කියලා. ඒ වගේ ගොඩක් විකෘති වලටත් ගීතය භාජනය වුණා."

"මේ ගීතය බටහිරට කියන්නත් පුළුවන්, හින්දුස්තාන් විදිහට කියන්නත් පුළුවන්, දේශීය විදිහටත් කියන්න පුළුවන් අතිශය ලස්සන තනුවක් තියෙන ගීතයක් මේක." යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ කියා සිටියේය.



මෙරට භාවිත වන පැරණිම තනුවක්

වසර 120කට වඩා පැරණි දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා ගිතය දැනට මෙරට භාවිත වන පැරණිම තනුව සහිත ගීතයක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

" අපේ දැනට තියෙන පැරණිම තනුවක්, වර්තමානයේ මංගල උත්සවයන් වලදී මංගල යුවල පෝරුවෙන් බැහැලා කේක් කපන්න ගියාම මුලින්ම පටන් ගන්න කියලා ඥාතීන් ඉල්ලන්නේ දන්නෝ බුදුන්ගේ ගීතයේ අනුවාදනය. හැබැයි ඒකට හේතුව ඥාතීන් දන්නෙත් නැහැ. හේතුව තමයි දිර්ඝායුෂ. ලංකාවේ තියෙන දිර්ඝායුෂ ගීතය නිසයි මේක වාදනය කරන්න කියන්නේ. දැන් ඕනෑම රංග ශාලාවක් විවෘත කරන්න යද්දී පෙන්වන්න කියන්නේ මනමේ නාට්‍යය. ඇයි දිර්ඝායුෂ. මනමාල යුවලට දිර්ඝායුෂ පතන්න මේ ගීතය භාවිත කරනවා, සමාජ උත්සව වලදී එහෙම." ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පැවසුවේය.


"දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා" ගීතය පළමු වරට ගායනා කළේ කවුද?

"දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා" ගීතය පලමු වරට ගායනා කලේ කවුරුන් ද යන්න ඉතිහාසයේ සඳහන් නොවන බව අප කළ විමසීමකදී ටවර් හෝල් රංග පදනමේ වැඩසටහන් අංශය සඳහන් කළේය.

ඔවුන් සතුව ඇති පුස්තකාල තොරතුරු අනුව එම ගීතය වික්ටර් වික්‍රමගේ, නිශ්ශංක දිද්දෙණිය, නිමල් ජයසිංහ යන ශිල්පින් ගායනා කර තිබේ. එමෙන්ම අතීතයේදී රුක්මනී දේවි ද මෙම ගීතය ගායනා කර ඇති බව ප්‍රකාශ වී ඇත.


(BBC සිංහල සේවය)

රුක්මනී දේවි ද "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා" ගීතය ගායනා කර ඇත.

 



දන්නො බුදුන්ගේ ගීතය අමරදේවයන්ගේ හඬින්

 

දන්නෝ බුදුන්ගේ ගීතය නන්දා මාලනී ද ගායනා කර තිබේ.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්