විකාශන නියාමන කොමිෂන් පනත් කෙටුම්පත නමින් කෙටුම්පතක් සකස් කර නැති බව

සහ දැනට සංසරණය වන ලේඛනයේ වගකීමක් භාරගත නොහැකි බවට ආණ්ඩුවේ සමාජ මාධ්‍ය බලකාය ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රකාශකයන් පවසන්නේ අසත්‍යයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ජුනි 4 දින පැවැත්වුණු මාධ්‍ය හමුවකදී පැවසුවේ එම පනත් කෙටුම්පත සකස් කරන ලද්දේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවකින් බවය.

ඔහු මෙසේද පැවසීය.


"2022 අගෝස්තු 16 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයෙන් එම අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිටගේ අත්සනින් විකාශන නියාමන කොමිසමක් සඳහා වන පනත් කෙටුම්පතකට යෝජනා සකස් කරන කමිටුවකට සාමාජිකයන් නම් කර තිබෙනවා. එම කමිටුවට ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා නොදී 2022 සැප්තැම්බර් 22 දින අමාත්‍ය මණ්ඩල තීරණයකින් එම පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ මූලිකත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කෙරුණා.

මෑතකදී, 2023 මැයි 26 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී මේ පනත් කෙටුම්පත සකස් කර අවසන් බව අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවා. මේ කෙටුම්පත එලෙස සකස් අකරණ ලද කෙටුම්පත. දැන් මේ ගැන වගකීමෙන් ආණ්ඩුවට මිදෙන්න බෑ. ආණ්ඩුව අඩිය පස්සට ගන්න හිතාගෙන නම් පනත් කෙටුම්පත තවම සකස් කර නෑ කියන්නේ ප්‍රශ්නයක් නෑ. අපිත් කියන්නේ මේක අත හරින්න.

 

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මීට පෙර ගෙන ආ පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතේ, මහබැංකු පනත් කෙටුම්පතේ වගන්ති වැඩි ප්‍රමාණයක් ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හකුලා ගන්න සිදුවුණා. පුරසාරම් කියමින් ගෙන ආ දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වී තිබෙනවා. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති වුනාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා නැහැ. හදන පනත් ව්‍යවස්ථාවට පටහැනියි. මේ පනත් කෙටුම්පතත් එහෙම තමයි. මේ කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණයේ නිදහස පිලිබඳ වගන්තිය උල්ලංඝනය කරන බව බැලුබැල්මට පෙනෙනවා.


මේ පනත් කෙටුම්පත සමාජයේ සෞඛ්‍ය සම්පන්න පැවැත්මට වගේම මාධ්‍ය ක්‍රියාකාරීත්වයටත් විශාල බලපෑමක් කරනවා. මේ කෙටුම්පතට අනුව රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා සම්බන්ධයෙන් අධිකාර බලයක් සහිත කොමිෂන් සභාවක් විකාශන නියාමන කොමිසම නමින් ස්ථාපිත කරනවා. ඒ කොමිසමේ සිටින්නේ සාමාජිකයන් 5 දෙනයි. ඒ පස් දෙනාට අති විශාල බලයක් ලබා දෙනවා. අමාත්‍යංශයේ ලේකම් සහ විදුලි සංදේශ අධ්‍යක්ෂ ජෙනරාල් කොමිසමට නිල බලයෙන් පත් වෙනවා. ඉතිරි සාමාජිකයන් තිදෙනා ජනාධිපති විසින් පත් කරනවා. ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය පමණක් එයට ප්‍රමාණවත්. කොමිසමේ සභාපතිවරයා පත් කරන්නෙත් ජනාධිපති. ජනාධිපතිට පුළුවන් කොමිසමේ සාමාජිකයන් තනි මතයට ඉවත් කරන්න. ඒ සඳහා ව්‍යවස්ථා සභාවට දැනුම් දීම ප්‍රමාණවත්. මේ කරුණු වලින් පෙනෙන්නේ මේ කොමිසම ජනාධිපතිවරයාගේ රූකඩයක් විය හැකි බව.

මේ කොමිසම හරහා ආණ්ඩුවේ දේශපාලන අභිමතාර්ථ වලට අනුව මාධ්‍ය පාලනය කරන්න පටන් ගන්නවා. අනෙක මේ කොමිසමේ රැස්වීම් වල ඝන පූරණය 3 දෙනයි. ඒ අතරිනුත් බහුතරයට, එනම් දෙදෙනෙකුට තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ ජනාධිපති පත් කරන දෙදෙනෙකුට පුළුවන් එකතු වෙලා නාලිකා වල බලපත්‍ර අහෝසි කරන තීරණ පවා ගන්න.



මේ කොමිසමට රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය වගේම දැනට තිබෙන නාලිකා වල බලපත්‍ර අහෝසි කිරීමේ බලයත් තිබෙනවා. මේ පනත සම්මත වී මාස 6ක් තුළ දැනට තිබෙන නාලිකාත් අලුතින් ලියාපදිංචි විය හැකියි. එම වගන්තිය භාවිතා කර ආණ්ඩුවට පාලනය නොවූ නාලිකා තහනම් කිරීමේ බලයක් කොමිසමට ලබාදී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, බලපත්‍ර අත්හිටුවීමට සහ තහනම් කිරීමට අමතරව නාලිකා වලට සංක්‍රමනීය දිශානතියක් පෙන්වීමේ මුවාවෙන් ඒවා පාලනයට යටත් කරන්නත් නීති හදා තිබෙනවා. මේ පනතේ ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට සහ මහජන සාමයට හානිකර දේ විකාශනය කරන්න බැරි බවට වගන්තියක් දාලා මාධ්‍ය ආණ්ඩුවට ඕන විදියට අල්ලේ නටවන්න හදනවා.


ජාතික ආර්ථිකය කියන්නේ මොකක්ද? රනිල් මේ ගෙනයන ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධ වුනොත් ඒක අර්ථ දක්වන්නේ ජාතික ආර්ථිකයට බාධා කිරීම කියලද? මහජන සාමයට හානිකර කියන්නේ මොකක්ද? මහබැංකු අධිපතිම කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම සමාජ ගත නොකරන්නේ එමගින් මහජන කැළඹීමක් එන්න ඉඩ තියෙන නිසා කියලා. ඒ ගිවිසුම මාධ්‍යයකට ලැබී ප්‍රචාරය කලොත් ඒ මාධ්‍යය තහනම් කරනවාද? මේක පිස්සුවක්. නමුත් මේ පිස්සුව තමයි දැන් මේ ක්‍රමය පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සාධකය වෙලා තියෙන්නේ. මේ පිස්සුව පරාද කරන බෙහෙත තියෙන්නේ ජනතාව ළඟ. ජනතාව සංවිධානය වී අරගල කිරීම හැර අන් විසඳුමක් නැහැ."

 

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image