ඝාතනයක් බවට සැක කෙරෙන පොලිස් අත්අඩංගුවේදී මියගිය කඳුකර දෙමළ ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධ පරීක්ෂණ යට ගැසීමට දේශපලනාධිකාරිය හවුල් වන බවට බවට වාමාංශික නායකයෙක් චෝදනා කරයි.



"පොලීසිය දේශපාලන අධිකාරියේ සහයෝගය ඇතුව මේ පරීක්ෂණ යට ගහමින් තිබෙනවා."

මාසයකට ඉහත දී මරණයට පත් වු තිදරු මවක් වන ආර්. රාජ්කුමාරිගේ ඝාතනය සම්බන්ධයෙන් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පෙන්වා දෙන එක්සත් සමාජවාදී පක්ෂයේ නායකයා චෝදනා කරන්නේ ඝාතනයේ ප්‍රධාන විත්තිකාරිය හැටියට විශ්වාස කෙරෙන අය තවමත් නිදැල්ලේ හැසිරෙන බවයි.

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය ඒ බව සදහන් කළේ බදුල්ල, දෙමෝදරින් කොළඹ මෙහෙකාරකමට පැමිණි හතළිස් එක් වියේදී ජීවිතය අහිමි වු රාජ්කුමාරිට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා කොළඹ ගෑස් පහ හන්දියේ පිහිටි පැරනි නගර ශාලාව ඉදිරිපිටදී ජුනි 12 වැනි සදුදා දියත් කළ සංකේත විරෝධතාවකට එක්වෙමිනි.

කඳුකර ජනයා රැකගැනීමේ ව්‍යාපාරයේ උපදේශක මාරිමුත්තු සතිවේල් පියතුමාගේද සහභාගීත්වයෙන් පැවැති එම විරෝධතාව සංවිධානය කර තිබුනේ උතුර, දකුණු සහෝදරත්වය හා තේ කම්කරු මධ්‍යස්ථානය විසිනි.

 

කොළඹ ප්‍රදේශයේ ධනවත් කාන්තාවන් වතුකරයේ අහිංසක දැරියන් මෙහෙකාර සේවයට රැගෙන විත් ඔවුන්ට විවිධ චෝදනා නගා දඩුවම් ලබා දී මරා දමන තත්වයක් තුළ මෙරටේ පවතින්නේ අරාබියේ නීතියදැයි ප්‍රශ්න කළ වාමාංශික නායකයා ආණ්ඩුවට බල කර සිටියේ ඝාතනයට ලක් වු වතු කම්කරු කාන්තාවට යුක්තිය ඉටු කර ඝාතකයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

 

"විශේෂයෙන්ම වතු කම්කරු කාන්තාවන් විශාල වශයෙන් දුක් ගැහැට වලට කොළඹ නගරයේ මුහුණ දෙනවා. ඉතින් මේ දේ ගැන පොලීසිය, දේශපාලනාධිකාරිය නිහඩයි." සිරිතුංග ජයසුරිය වැඩි දුරටත් චෝදනා කළේය.

කොළඹ, මෝදර උපන් ප්‍රකට ව්‍යාපාරික හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා ද සොයිසා හෙවත් සුධර්මා නෙත්තිකුමාර ගේ රාජගිරියේ පිහිටි නිවසක වසරක පමණ කාලයක සිට මිය ගිය තිදරු මාතාව සේවය කර තිබේ.

රාජ්කුමාරි විසින් තම රන් මුදුවක් සොරකම් කරන ලදැ’යි චෝදනා කරමින් ස්වාමි දුව වැලිකඩ පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිස් අත් අඩංගුවේ සිදුවූ ඇගේ මරණය වසං කිරීමට අල්ලස් දුන් බවට පොලිසියට පාර්ලිමේන්තුවේදී ද චෝදනා එල්ල විය.

මුදලට, දේශපාලන බලයට යටවී පොලිසිය මහජාතිවාදී මානසිකත්වයෙන් කටයුතු කිරීම මරණයට හේතුවක් ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ද ප්‍රකාශ කර තිබුණි.

පොලිස්පතිවරයාගේ නියෝගයෙන් රාජකුමාරිගේ මරණයට අදාලව රාජගිරිය පොලිසියේ නිලධාරීන් සිව් දෙනකුගේ වැඩ තහනම් කර ඇති අතර පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු ඇතුළු තුන් දෙනකුට හදිසි ස්ථාන මාරු ලබා දී ඇත.


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image