මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් විකිනීම සැකසහිත බවත් එය තවත් මහ බැංකු මංකොල්ලයක් බවට විපක්ෂය නගන චෝදනා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව ප්‍රතිකේෂ්ප කරයි.

නියමිත ක්‍රමවේද පිළිබඳ නොදැනුවත්කම හෝ වෙනත් පාර්ශ්වයක් විසින් ලබාදුන් දුස්තොරතුරක් කිසිදු සොයාබැලීමකින් තොරව ප්‍රසිද්ධියේ චෝදනා නැගීම කණගාටුවට කරුණක් බවද මහ බැංකුව පවසයි .

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නීති නිලධාරියෙකු මෙසේ ප්‍රතිචාර දක්වා සිටියේ පසුගියදා සමගි ජනබලවේගය පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකයකු වන නිරෝෂන් පාදුක්ක එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

 

 එහිදී සජබ ආසන සංවිධායකවරයා සඳහන් කර සිටියේ මැයි 31 වැනි දින රාත්‍රියේ පොලී අනූපාත 2.5%කින් පහත බසින බව දැන දැන මහබැංකුව හදිසියේම බිලියන 160ක සහ තවත් බිලියන 40ක් ගත්තේ කුමන වුවමනාවකටද යන්න පිළිබදව සැක මතු වන බවය.

 

එසේම එය සැකසහිත ගනුදෙනුවක් බවත් එබැවින් ඒ පිළිබදව වහාම විගණන පරීක්ෂණයක් සිදු කළ යුතුව ඇති බවත් ඔහු පැවසීය .

මේ අයුරින් නැවත වතාවක් මහබැංකුව කොල්ලකෑමට ඉඩ නොතබන ලෙසද එහිදී සජබ ආසන සංවිධායකවරයා ඉල්ලා සිටියේය.

 

චෝදනා සාවද්‍යයි : මහ බැංකුවෙන් හැරෙන තැපෑලෙන් ප්‍රතිචාර !

 

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නීති නිලධාරියෙකු සඳහන් කර සිටියේ රටේ ආර්ථිකය බරපතළ කඩාවැටීමකට ලක්ව තිබී ඉතා දුෂ්කර තත්ත්වයක් යටතේ යළි ගොඩනගන පසුබිමක මෙවැනි අභූත චෝදනා එල්ල කිරීම අතිශය කණගාටුදායක තත්ත්වයක් බවය.

කෙසේ වුවත් නැගුණු චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ අවධාරණය කර සිටියේ ය.

වර්තමානයේ මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් විකිනීමට "Private Placement" ක්‍රමවේදය කිසිසේත්ම අනුගමනය නොකරයි.

එහෙත් රජයේ මුදල් අවශ්‍යතාවය සැපිරීම සඳහා සම්පුර්ණ විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් අනුගමනය කරයි. ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් මිලදී ගන්නා බිල්පත් වලට අමතරව බිල්පත් මිලදී ගැනීමේදී වෙන්දේසියේදී බර තැබූ සාමාන්‍ය පොලී අනුපාත යටතේ මිලදී ගැනීමයි.

 

 මෙහිදී ප්‍රධාන වෙන්දේසියෙන් පසුව සිදුවන වෙන්දේසි අදියර දෙක යටතේ සියළුම සහභාගී වන ආයතන සඳහා අදාල ඉදිරිපත් කරන බිල්පත් ප්‍රමාණය මිලදී ගැනීමට ඉල්ලුම් කල හැකිය. එවිට විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයකට එම බිල්පත් අදාළ ආයතන වෙත පවරා දෙනු ලැබේ. මෙහි සදහන් කර ඇති වෙන්දෙසියෙදී ද අදාළ ක්‍රමවේදය අනුගමනය කර ඇත. මෙහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතික 2.5%කින් අඩු කිරීමට තීරණය කර ලැබුවේ මැයි මස 31 දින සවස පැවැත්වූ මුදල් මණ්ඩල රැස්වීමේ තීරණයකට අනුවය. 

එහෙත් භාණ්ඩාගර බිල්පත් පිලිබඳ වෙන්දේසිය සිදු වුයේ එදිනම ඊට පෙරදීය. මුදල් මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙක් භාණ්ඩාගාර බිල්පත් ටෙන්ඩර කමිටුවට ඇතුලත් නොවේ.

එමනිසා භාණ්ඩාගාර බිල්පත් ටෙන්ඩර් කමිටු සාමාජිකයින් එදින සවස ප්‍රතිපත්ති පොලී පිලිබඳ මුදල් මණ්ඩල තීරණය සම්බන්ධයෙන් පෙර දැනුවත්වීමක් සිදු නොවේ.

මේ අනුව ඉහත වීඩියෝවේ පොලී අනුපාත සම්බන්ධයෙන් යම්කිසි අකටයුත්තක් සිදු වූ බවට පල කර ඇති තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නොමැත.

පොලී අනුපාත වෙනස්වීම මගින් වෙළඳපොළ සහභාගිකරුවන් හට වාසි මෙන්ම අවාසි සිදුවීම සාමන්‍ය කරුණක් වේ. එහෙත් වර්තාමාන වෙන්දේසි ක්‍රියාවලිය අතිශයෙන්ම විනිවිදභාවයකින් යුතුව සිදුවන බැවින් පොලී අනුපාත වෙනස්වීම තුලින් කිසිදු විශේෂිත පාර්ශවයකට හෝ පාර්ශ්ව කිහිපයකට අයුතු වාසියක් ලබාගැනීමට කිසිසේත්ම ඉඩකඩක් නොමැති බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ එම නීති නිලධාරියා අවධාරණය කර සිටියි .

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්