ටයිටැන් සබ්මැරීනය විනාශවීම තමන්ට තදින් දැනුණු බව 1997 වසරේදී ටයිටැනික් සිනමා පටය නිර්මාණය කළ


 හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් බීබීසී පුවත් සේවයට පැවසීය. 


සබ්මැරීනයට සිදුවූ දෙය"ඔහුගේ ඇටකටුවලට දැනුණුබව" ජේම්ස් කැමරන් බීබීසීයට පවසයි.



කැමරන් අවස්ථා 33ක දී ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදී තිබේ.

ඉරිදා සබ්මැරීනය අතුරුදන් වූ අවස්ථාවේ තමන් නෞකාවක සිටි අතර, සඳුදා වන තුරු ඒ පිළිබඳව කිසිවක් දැන ගැනීමට නොලැබුණු බව ඔහු පැවසීය.

සබ්මැරීනයේ චලනය සහ සන්නිවේදන සබඳතා එක ම අවස්ථාවක බිඳ වැටුණු බව දැන ගත් ක්ෂණයකින් යම් ව්‍යසනයක් සිදුව ඇතැ යි සැක කළ බව ඔහු පැවසීය.

titan

"මට ඉවෙන් වගේ දැනුණා මොකක් ද වෙලා ඇත්තේ කියලා. එක ම වෙලාවක සබ්මැරීන් එකේ විද්‍යුත් පද්ධතිය, සන්නිවේදන පද්ධතිය සහ සම්ප්‍රේෂණ ප්‍රතිචාරකය බිඳ වැටුණා කියන්නේ, සබ්මැරීන් එක ඉවරයි."

අධ්‍යක්ෂවරයා තවදුරට ත් පැවසුවේ: "මම කෙලින් ම කළේ දුරකතනය අතට අරගෙන සබ්මැරීන් ගැන දන්න කිහිප දෙනෙකුට කතා කරපු එක. පැයකින් විතර මට මේ විස්තර ටික ලැබුණා. ඔවුන් [සබ්මැරීනය] පහළට යමින් ඉඳලා තිබුණා. ඔවුන් මීටර් 3800ක් දුර ගමනෙන් මීටර් 3500ක් විතර ගිහින් තිබුණා.

"ඔවුන්ගේ සන්නිවේදනය බිඳ වැටිලා තිබුණා, චලනය වීම නැවතිලා තිබුණා. මම ඒ වෙලාවෙ ම කිව්වා, ලොකු විනාශයක් නැත්නම් සන්නිවේදනයයි චලනයයි දෙක ම එකට බිඳ වැටෙන්න හේතුවක් නෑ කියලා. මගේ හිතට එක පාරට ම ආව දේ තමයි අභ්‍යන්තරයට පිපිරීමක් සිද්ධ වෙලා තියෙනවා කියන එක."ඇමෙරිකානු නාවික හමුදා නිලධාරියෙකු බීබීසී සේවයේ සහයක පුවත් ඒජන්සියක් වන CBS News වෙත පැවසුවේ, ටයිටන් සබ්මැරීනය සන්නිවේදන සබඳතා බිඳ වැටීමෙන් සුළු මොහොතකට පසු "පිපිරීමක් නිරූපණය වන ධ්වනි විෂමතාවක්" සිදුව ඇතැ යි නාවික හමුදාව සොයා ගත් බව ය.

සබ්මැරීනයේ සුන්බුන් සොයන ප්‍රදේශය නිශ්චිත කර ගැනීම සඳහා එම තොරතුරු ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකායට ලබා දුන් බව එම නිලධාරියා පැවසීය.

කැමරන් බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවේ, පසුගිය සතිය "මිනිස්සු සද්ද බද්ද, ඔක්සිජන් සහ තවත් දේවල් ගැන කතා කර කර හතර වටේ දුවන දිග, බියකරු විහිළුවක් ලෙසට," හැඟුණු බව ය.

"සබ්මැරීන් එක තියෙන්නෙ ඒක අන්තිමට තිබුණ බව කියන ගැඹුරට යි ස්ථානයට යි පහළින් බව මම දැනගෙන හිටියා. ඒක තමයි ඔවුන් ඒක හරියට ම හොයා ගත්ත තැන," ඔහු පැවසීය.

ඔහු වැඩිදුරට ත් පැවසුවේ, දිය යටින් යාත්‍රා කළ හැකි දූරස්ථ පාලක යාත්‍රාවක් බ්‍රහස්පතින්දා යෙදවීමෙන් පසු, ගවේෂකයින් "පැය කිහිපයක් තුළදී, නැතහොත් මිනිත්තු කිහිපයකදී එය සොයා ගත්" බව ය.

titan 2023


ටයිටන් සබ්මැරීනය එහි සිටි පුද්ගලයින් සමග විනාශ වීම සහ 1912 වසරේ ටයිටැනික් නෞකාව විනාශයට පත්වීම සමාන කරන "බරපතළ උත්ප්‍රාසයක්" මෙහි ඇතැ යි ද කැමරන් පවසයි.

"අවාසනාවට, අනතුරු ඇඟවීම් නොතැකීමේ එක ම මූලධර්මය මත සිදුවුණු තවත් අනතුරක් [අනතුරට පත් යාත්‍රාවක්] දැන් අපට තියෙනවා," ඔහු පැවසීය. "ඕෂන්ගේට් එකට මේ ගැන අනතුරු අඟවලා තිබුණා."

අභ්‍යන්තර සේවකයින් සමාගම හැරගොස් ඇතිබව ඔහු පැවසූ නමුත්, ඊට හේතුව පැහැදිලි කළේ නැත.

සබ්මැරීන්වලින් ගැඹුරු මුහුද තරණය කළ ප්‍රජාව (තමා මීට සෘජුව අයත් නැතැයි ඔහු පවසයි) ඕෂන්ගේට් සමාගම වෙත ලිපියක් යොමු කරමින්, "ඔබ විනාශයක් කරා යමින් සිටින" වග දන්වා තිබූ බව කැමරන් පැවසීය.

එම සංචාරක සමාගමේ මෙහෙයුම් සම්බන්ධයෙන් කණස්සල්ල පළ කළ පළමු පුද්ගලයා කැමරන් නොවේ.

සාගර තාක්ෂණ සංගමය (Marine Technology Society/MTS) විසින් ඕෂන්ගේට් වෙත 2018 මාර්තු මාසයේ දී යවන ලද ලිපියක (මේ ලිපිය නිව් යෝර්ක් ටයිම්ස් වෙතින් ලබාගැනිණි) සඳහන් වූයේ, "ඕෂන්ගේට් විසින් අනුගමනය කරන ලද වර්තමාන 'පර්යේෂණාත්මක' ප්‍රවේශය... ඍණාත්මක ප්‍රතිඵල (සුළු තත්ත්වයක සිට ව්‍යසනකාරී තත්ත්වයක් දක්වා) ඇති කළ හැකි," බව ය.

ඊට අමතරව, එක්සත් ජනපද අධිකරණ ලේඛනවලින් පෙනී යන්නේ, ඕෂන්ගේට් සමාගමේ හිටපු සේවකයෙකු 2018 තරම් ඈත කාලයක දී යාත්‍රාවේ ඇති විය හැකි ආරක්ෂක ගැටලු පිළිබඳව අනතුරු අඟවා තිබූ බව ය.

එම සමාගමේ සමුද්‍ර මෙහෙයුම් අධ්‍යක්ෂ ඩේවිඩ් ලොක්‍රිජ් පරීක්‍ෂණ වාර්තාවක මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව එම ලේඛන පෙන්වා දෙයි.


ලොක්‍රිජ් සහ සාගර තාක්ෂණ සංගමය විසින් මතු කරන ලද ආරක්ෂක ගැටලු පිළිබඳව අදහස් විමසූ අවස්ථාවේ ඕෂන්ගේට් සමාගමේ ප්‍රකාශකයෙක් ඊට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය.

(රෙබෙකා මොරෙල්)
විද්‍යා සංස්කාරක, බීබීසී
 
 

හමුවී ඇති සුන්බුන් මොනවා ද? ඒවායින් අදහස් කෙරෙන්නේ කුමක් ද?


(BBC සිංහල සේවය)




සබැඳි පුවත් :
 
ටයිටැනික් සබ්මැරීනය: ව්‍යසනකාරීව හැකිලී පුපුරායාම ගැන අප දන්නා දේ

ටයිටැනික් සබ්මැරීනය: අතුරුදන් වූවන් පස් දෙනාම මිය ගිහින් !

ටයිටැනික් සබ්මැරීනය: ඔක්සිජන් ඉතිරිව ඇත්තේ පැය කීපයකට පමණයි

ටයිටැනික් නැව අවට සාගරය අතිභයානක ඇයි?- (වීඩියෝ )


සබැඳි ලිපි :

විසි එක් වන සියවසේ යාත්‍රාව

ටයිටැනික් සබ්මැරීනය: පොහොසත් වීමේ දෛවෝපගත බව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)


හිතුවක්කාරයින්ගේ ටයිටැනික් සිහිනය....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ආදරය ජයගනු ඇත... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image