පළාත් සභා අහෝසි කල යුතු බව පවසන එක්සත් මහජන පක්ෂය (UPP) , කෙසේවුවද ඒකීය රාජ්‍යයක් තුල

බලය විමධ්‍යගත කිරීමෙන් එහා ගිය බලය බෙදීමක් සදහා පුර්ණ වශයෙන් එකගතාවය පළකර සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් පැවති සර්වපාක්ෂික සමුළුවට සමගාමීව දේශපාලන පක්ෂවල මතය විමසමින් ජනාධිපති ලේකම්වරයා විසින් එවන ලද ලිපියට පිළිතුරු වශයෙන් එක්සත් මහජන පක්ෂය විසින් සිය අදහස් සහ යෝජනා යොමු කරමින් එබව සඳහන් කර ඇත.

එක්සත් මහජන පක්ෂයේ සභාපති වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ය.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන්, ප්‍රචාරක ලේකම් චමින්ද ගුණසිංහ ගේ අත්සනින් යුතුව එම අදහස් හා යෝජනා ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබුනේ, මාධ්‍ය වෙත ද එහි පිටපත් යොමුකරමිනි.

මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන අතර අතර මැදි ව්‍යුහයක් ලෙස ‘දිස්ත්‍රික් සභා’ ක්‍රමයක් හරහා බලය බෙදා හැරිය යුතු බව එක්සත් මහජන පක්ෂයේ ප්‍රධාන යෝජනා කර සිටියි.

සාධාරණ සහ යුක්ති සහගත බලය බෙදීමක් සහිත ඒකීය රටක් බිහිකර ගැනීම සදහා දිස්ත්‍රික් සභා පිහිටු වීමත් පළාත් පාලන ආයතන වෙත වැඩි බලයක් ලබා දීමත් මුලික කරගෙන මහජන හිතකාමී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිකරගත යුතු බව ද එක්සත් මහජන පක්ෂය යෝජනා කර සිටියි.

ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලියවිල්ලේ මෙසේ  සඳහන් වේ.


යල් පැන ගිය අකාර්යක්ෂම සංකල්පයක්

ජනාධිපතුමාගේ ප්‍රධානත්වයෙන්  2023. 07. 26. වන දින කැඳවූ සර්වපාක්ෂික පක්ෂ නායකයන්ගේ සමුළුවේදී එකග වූ පරිදි 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම පිළිබද අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස ඔබ විසින් එවන ලද ලිපිය ප්‍රකාරව ජනාධිපතිවරයාගේ කාරුණික අවධානය පිණිස මෙම ලිපිය යොමු කරමි.

02. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම, පළාත් සභා ක්‍රමය සහ ජාතික ගැටලුව විසදීම, බලය විමධ්‍යගත කිරීම සහ බලය බෙදීම පිළිබද එක්සත් මහජන පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් රැස්ව පහත කරුණු පිළිබදව අවධානය යොමු කර තිබේ.



1) ශ්‍රී ලංකාව සමාජ-සංස්කෘතික බහුවිධතාවයන්ගෙන් සමන්විත රාජ්‍යයක් වන අතර සමාජ-සංස්කෘතික බහුවිධතාවය ජනවාර්ගික, ආගමික හා භාෂාමය වැනි විවිධ වූ පැතිකඩ ගණනාවකින් සමන්විත වේ. මේ නිසාම එක්සත් මහජන පක්ෂය ඒකීය රාජ්‍යයක් තුල බලය විමධ්‍යගත කිරීමෙන් එහා ගිය බලය බෙදීමක් සදහා පුර්ණ වශයෙන් එකගතාවය පළකර සිටියි.



2) පළාත්සභා ක්‍රමය සංස්ථාපනය කිරීමෙන් බලාපොරොත්තු වූයේ උතුරු-නැගෙනහිර ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ දෙමළ බස කතා කරන ජනතාවගේ ගැටළු සදහා විසඳුමක් ලබාදීමයි. එසේම ප්‍රාදේශීය සංවර්ධනය සඳහා පළාත් බල ව්‍යුහයක් නිර්මාණය කිරීම ද මෙමඟින් ඉටු කරගැනීමට බලාපොරොත්තු වූ තවත් අරමුණක් විය. එහෙත් මේ අරමුණු ඉටු කිරීමට පළාත් සභාව ක්‍රමය සමත්වූයේ නැත. ඒ නිසාම මේ වන විට යල් පැන ගිය අකාර්යක්ෂම සංකල්පයක් බවට පත්ව ඇති පළාත් සභා ක්‍රමය සම්පුර්ණයෙන් ම අහෝසි විය යුතු බව අප පක්ෂයේ අදහසයි.

3) පළාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා) ග්‍රාමීය සංවර්ධනය, මහජන දුක් ගැනවිලි සදහා කාර්යක්ෂමව මැදිහත්වීම වැනි විෂයන් වඩා පුළුල්ව වැඩි බලයක් පළාත් පාලන ආයතන වෙත ලබා දිය යුතු බවට එක්සත් මහජන පක්ෂය යෝජනා කර සිටියි. ඒ අනුව 1947 අංක 16 දරන ආඥාපනතින් සංශෝධිත 1865 අංක 17 දරණ මහ නගර සභා ආඥා පනත, 1937 අංක 61 දරන නගර සභා ආඥා පනත, 1987 අංක 15 දරන ප්‍රාදේශිය සභා පනත යන පනත් අහෝසි කල යුතුව තිබේ.

4) පළාත් සභා ක්‍රමය තුල මන්ත්‍රීවරුන් පත්වන්නේ මැතිවරණ දිස්ත්‍රික් (මැතිවරණ කොට්ඨාශ) පදනමිනි. පාර්ලිමේන්තුව සදහා ද මන්ත්‍රීවරුන් පත්වන්නේ මැතිවරණ දිස්ත්‍රික් (මැතිවරණ කොට්ඨාශ) පදනමිනි. ඒ අනුව පළාත් සභා සහ පාර්ලිමේන්තු යන ආයතන දෙකට ම මන්ත්‍රීවරුන් පත් වන්නේ මැතිවරණ දිස්ත්‍රික් පදනමිනි. මෙය පැහැදිලි ලෙසම අනවශ්‍ය වැය බරක් පමණක් ම නොව පරිපාලනයේ දී ද ගැටළු ඇති කරන්නක් බව එක්සත් මහජන පක්ෂයේ නිරීක්ෂණයයි.

ඒ අනුව මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන අතර අතර මැදි ව්‍යුහයක් ලෙස ‘දිස්ත්‍රික් සභා’ ක්‍රමයක් හරහා බලය බෙදා හැරිය යුතු බව එක්සත් මහජන පක්ෂයේ ප්‍රධාන යෝජනාවයි. එහිදී දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන තීන්දු ඇතුළු දිස්ත්‍රික් මට්ටමේ කර්තව්‍යයන් සදහා දිස්ත්‍රික් සභා ක්‍රියාකළ යුතු  වේ. දිස්ත්‍රික්කයෙන් තේරී පත්වන සියලුම මන්ත්‍රීවරුන් අනිවාර්ය සභිකයන් ලෙස දිස්ත්‍රික් සභා තුල කටයුතු කල යුතු වන අතර වාහන, වැටුප්, කාර්යාල පහසුකම් ඇතුළු මිට පෙර මන්ත්‍රීවරුන් දෙකොටසකට එක ම කාර්යයක් වෙනුවෙන් වැය  කරන ලද අනවශ්‍ය වය බර ද වලක්වා ගැනීමට හැකි බව අප පක්ෂයේ අදහසයි.

cgsse

5) පසුගිය කාලය පුරාම ජයග්‍රහණය කරනු ලැබූ ජනාධිපතිවරණ අපේක්ෂකයන් විසින් පොරොන්දු වූ නමුත් ඉටු නොකළ ප්‍රධාන පොරොන්දුවක් වුයේ නව ව්‍යවස්ථාවක් බිහිකිරීමයි. එබැවින් සාධාරණ සහ යුක්ති සහගත බලය බෙදීමක් සහිත ඒකීය රටක් බිහිකර ගැනීම සදහා දිස්ත්‍රික් සභා පිහිටු වීමත් පළාත් පාලන ආයතන වෙත වැඩි බලයක් ලබා දීමත් මුලික කරගෙන මහජන හිතකාමී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිකරගත යුතු බව එක්සත් මහජන පක්ෂය යෝජනා කර සිටියි.



6) එමෙන්ම සිංහල සහ දෙමළ භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන ඡේදයේ 18-19 සහ III වන ඡේදයේ මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) යටතේ “රාජ්‍ය සේවයේ නියුක්තව ධුර කාර්යය ඉටුකිරීම සඳහා යම් තැනැත්තෙකු යම් භාෂාවක් පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඇතිව සිටීම සාධාරණව අවශ්‍ය වන අවස්ථාවක, ඒ සේවා නියුක්තිකයන්ගේ ධුරය සඳහා සුදුසුකම් ලෙස ඒ භාෂා පිළිබඳව එයින් ප්‍රමාණවත් දැනීමක් සාධාරණ කාලයක් තුළ ලබා ගත යුතුයි නියම කිරීම නීත්‍යනුකූල වන්නේ ය.” යනුවෙන් සඳහන් වේ.



ඒ අනුව මේවන විට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සෑම රාජ්‍ය සේවකයෙකුම තම දෙවන භාෂා වශයෙන් සිංහල සහ දෙමළ භාෂා ප්‍රවීණතාවය වසර 05 ක් තුළ සම්පූර්ණ කළ යුතු වේ. මෙම කරුණ පිලිබදව සලකා බලමින් ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථාන, රාජ්‍ය ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන ද්වි භාෂා ප්‍රතිපත්තිය තහවුරු කරන ආයතන බවට පත් කිරීමට කටයුතු කල යුතු බව ද එක්සත් මහජන පක්ෂයේ යෝජනාවයි.


7) වසර 30කටත් එහා ඇදී ජනවාර්ගික අර්බුදය සමීපව නිරීක්ෂණය කර තිරසාර විසදුම් ලබා දීමටත්  අතමිට සරු දියුණු ආර්ථිකයක් සහිතව කටයුතු කළ හැකි වටපිටාවක් බිහිකිරීමටත් දේශපාලන අවස්ථාවාදය පසක ලා සියලු දේශපාලන පක්ෂ කටයුතු කල යුතු බව අප වැඩි දුරටත් අවධාරණය කර සිටිමු.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image