හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

මෙම කරුණ පිළිබඳව සාකච්ඡා කිරීමට පොදුජන පෙරමුණු හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් තිස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා හමු වී තිබිණ. 

එහිදී පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම හේතුවෙන් එයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.

මීට පොදුජන පෙරමුණු මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගි වී තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් පළාත් පාලන ඡන්දයට නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයන්ට විවිධ තහංචි පනවා ඇති චක්‍රලේඛ අවලංගු කරන ලෙස රජයෙන් සහ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමට ද පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

මෙම සතියේදී මේ පිළිබඳව පොදුජන පෙරමුණු නායක මහින්ද රාජපක්ෂ සමඟද සාකච්ඡා කර ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සූදානමින් සිටින බව ද දැනගන්නට ඇත.

පළාත් පාලන ඡන්ද විමසීමට නාමයෝජනා භාර දුන් සියලු අපේක්ෂකයන්ට ඔවුන්ගේ සුපුරුදු සමාජ කටයුතුවල යෙදීමට අවස්ථාව ඇහිරී ඇති බව ද එම නිසා එම ප්‍රදේශවල සම්බන්ධීකරණ කටයුතු ද සිදුකිරීමට අපහසු වී ඇතැයි පෙන්වා දී තිබේ.

එම නිසා කඩිනමින් පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බව ද පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ යාන්ත්‍රණය තවදුරටත් ගමට ගෙන යාමේදී ගම් මට්ටමේ පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන්ට නිසි පරිදි වැඩකටයුතු කරගෙන යාම, මෙම මැතිවරණය නොපැවැත්වීම නිසා පනවා ඇති තහංචි හේතුවෙන් දුෂ්කර වී ඇති හෙයින් එම පුද්ගලයන්ගෙන් විවිධ පැමිණිලි පොදුජන පෙරමුණු ප්‍රබලයන්ට ඉදිරිපත්ව ඇත. 

මේ කරුණ පිළිබඳව පොදුජන පෙරමුණේ දැඩි අවධානය යොමු වී ඇතැයි ද දැනගන්නට තිබේ.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image