ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සය විධ අර්බූදයකට මුහුණ පා ඇති අවස්ථාවක සෞඛ්‍ය ඇමතිට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට පිවිතුරු හෙළ උරුමය තීරණය කර ඇති බව

එහි නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. 

ඔහු එබව සදහන් කර සිටියේ අද දින (04) පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුව හා එක්වෙමිනි. 

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

 '' අද ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සය විධ අර්බූදයකට මුහුණ පාලා තිබෙනවා. 

* පළමුව අත්‍යාවශ්‍ය ඖෂධ වල බරපතල හිඟයක් තිබෙනවා. ඒ නිසාම විවිධ රෝග වලට දෛනිකව ලබා ගත යුතු ඖෂධ නොමැති වීමෙන් ජනතාව විශාල වශයෙන් මිය යනවා.  

* දෙවනුව තිබෙන ඖෂධ ද විකුණනු ලබන්නේ සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි මිලකට.  ඒ නිසාම ඖෂධ ඔසුහල්වල තිබුණත් සාමාන්‍ය ජනතාව ඒවා මිල දී ගැනීමට නොහැකි වීමෙන් විශාල රෝගින් සංඛ්‍යාවක් මිය යනවා.  මේ අය හෘදයාබාධ වලින් වකුගඩු අක්‍රිය වීමෙන් මිය ගිය බවට පැවසුවත් සෞඛ්‍ය අර්බූදය නිසා මිය ගිය බවට වාර්තා පොතට එකතු වෙන්නේ නෑ.

* තුන්වෙනුව රජයේ රෝහල්වල තිබෙන ඖෂධ නිසි ප්‍රමිතියට නෑ.  ඒ ප්‍රශ්නය දෙයාකාරයි.  එක පැත්තකින් ඒ ඖෂධයේ අනිසි අතුරු ප්‍රතිඵල නිසා ජනතාව මිය යනවා.  නැතිනම් අතුරු ආබාධ වලට ගොදුරු වෙනවා.  තවත් පැත්තකින් ඖෂධයෙන් අපේක්ෂිත අරමුණ ඉටු නොවීම නිසා රෝගීන් මිය යනවා.  

* සිව්වෙනුව, උපකරණ නිසි ලෙස ක්‍රියාත්මක  නොවීම.  බාල උපකරණ මිල දී ගැනීම වගේම නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා ද උපකරණ ක්‍රියා විරහිත වී තිබෙනවා.  එහි ප්‍රතිඵලයක් විධියට රෝග විනිශ්චය සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වෙනවා විතරක් නොවේ ශල්‍යකර්ම සිදු කිරීම ද ඇණ හිට තිබෙනවා.

* පස්වෙනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණයේ දැවැන්ත ගැටළු මතු වී තිබෙනවා.  මානව සම්පත් කළමනාකරණයේ දුර්වලතා නිසා හැමදාම වෘත්තිය සමිති එක්කෝ වැඩවර්ජනයක. නැතිනම් උද්ඝෝෂණයක.  එහෙමත් නැතිනම් අකුරට වැඩ කිරීමක.  කිසිම ජගතෙකුට සෞඛ්‍ය ක්ෂේත්‍රය සාමකාමිව තියා ගන්න බැරි වෙලා තිබෙනවා.  ඒ වගේම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තියවේදින් රට හැර යෑම බරපතල තත්වයක්.  රට හැර යන වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු සහ තාක්ෂණික නිලධාරින් නැවත පුහුණු කර බිහි කර ගන්න සෑහෙන කාලයක් යනවා.  නමුත් ආණ්ඩුව කරන්නේ රට ගිය අයගේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම විතරයි.  ඒ අය රටේ රඳවා ගන්න කිසිම වැඩපිලිවෙලක් නෑ.

* සයවෙනුව, රටකට දරා ගන්න බැරි තරමට ඉහ වහා ගිය දූෂණයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහල සිට පහලටම තිබෙනවා.  ඖෂධ මිල දී ගැනීමේ දී වගේම උපකරණ මිල දී ගැනීමේ දී ද දැවැන්ත කොමිස් කුට්ටි විසි වෙනවා. මේ සය විධ අර්බූදය නිසා පීඩාවට පත් වුණු ජනතාවගේ අපේක්ෂා භංගත්වය, කලකිරීම සහ කේන්තිය ආණ්ඩුවට ප්‍රකාශ කරන්න අපි සෞඛ්‍ය ඇමතිට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරනවා.

 

රෝහල් ගත වන රෝගියෙකුට අද තිබෙන්නේ විකල්ප දෙකයි. එක්කෝ නැවත ගෙදර යනවා ද නැතිනම් මල් ශාලාවට යනවාද? රෝගියා මල් ශාලාවට වෙනුවට නැවත ගෙදර යන්න ඕනෑ කියලා හිතන මන්ත්‍රිවරුන් විශ්වාස භංග යෝජනාවට පක්ෂ වේවි.  ඒ වගේම රෝගින් ගෙදර වෙනුවට යා යුත්තේ මල් ශාලාවටයි කියලා හිතන අය මේ විශ්වාස භංග යෝජනාවට විරුද්ධ වේවි.

 

පොන්නම්බලම්ට අභියෝගයක් !

සිංහල ජනතාවගෙන් කිසිම හිරිහැරයකින් තොරව පරම්පරා හතරක් සැපට කොළඹට වී සිටින ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නැවතත් උතුරේ වන්දනාවේ යන බෞද්ධයින්ට හිරිහැර කරන්න පටන් අරන්. මුලින්ම වසර 2,400ක් පැරණි දේවානම්පියතිස්ස රජතුමා ඉදි කළ යාපනයේ තිස්ස විහාරයේ වස් පිංකමට පොන්නම්බලම් බාධා කළා. ඊ ලඟට මුලතිව් කුරුන්දි විහාරයේ පිරිත් පිංකමට පොන්නම්බලම් බාධා කළා.  දැන් ත්‍රිකුණාමලයේ බොරළුකන්ද රජ මහා විහාරය ළඟ උද්ඝෝෂණය කරනවා. 

මේ මන්ත්‍රිවරයාට පන්සලක්, බෝධියක්, චෛත්‍යයක් පේනන බෑ. හතරපස්දෙනෙක් එක්ක ගිහින් උද්ඝෝෂණයක් කරණවා. බොරළුකන්ද රජ මහ විහාරය කියන්නේ මීට වසර 2,000කට කලින් වසභ රජතුමා ඉදි කළ පන්සලක්. කවුරුවත් ගිහින් බෞද්ධයින් නැති තැන් වල අළුත් පන්සල් හදලා නෑ.  හින්දු කෝවිල් උඩ පන්සල් හදලා නෑ.  මේවා වසර දහස් ගණනක් පැරණි ආගමික සිද්ධස්ථාන. ඇත්තෙන්ම ආගම් භේදයකින් තොරව සමස්ත ලෝකයටම අයිති ලෝක උරුමයන්. 

ඒ නිසා උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන සැබැවින්ම බෞද්ධ සිද්ධස්ථාන නොවේ කියා පොන්නම්බලම් මන්ත්‍රිවරයා සිතනවා නම් උද්ඝෝෂණ කරන්න පෙර ඒවා  බෞද්ධ සිද්ධස්ථාන නොවේ කියා මා සමග ප්‍රසිද්ධ විවාදයකට හෝ රූපවාහිනි විවාදයකට පැමිණෙන මෙන් මම ඔහුට අභියෝග කරනවා.  ඔබ එරෙහි වන සිද්ධස්ථානය ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක් නොවේ කියාත් බෞද්ධ ජනතාවක් වාසය කරන ස්ථානයක නොවේ කියාත් ඉදිකර ඇත්තේ හින්දු කෝවිලක් මත කියාත් ඔබ ඔප්පු කලොත් ඔබේ උද්ඝෝෂණයට මමත් එකතු වෙනවා කියන පොරොන්දුව දෙනවා. 

මෙම මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය සංස්කෘතික කටයුතු ලේකම් ශිරන්ත ජයලත් ද අදහස් දැක්වූ අතර නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සරත් ඩයස් ද මෙම මාධ්‍ය හමුවට එක් විය. 



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්