නිදහස් මාධ්‍ය යටපත් කිරීම සහ මාධ්‍ය ආයතනවලට එල්ලකරන තර්ජන හේතුවෙන්

, ශ්‍රී ලංකාව නැවත වතාවක් ජාත්‍යන්තර හෙලා දැකීමට ලක් වී තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මයිලත්තමඩු ප්‍රදේශයේ කිරි ගවයන් ඇතිකරන ගොවීන් මුහුණපාන ගැටළු පිලිබඳ සොයාබැලීමට අන්තර්-ආගමික නායකයන් සහ සිවිල් සමාජ සංවිධාන සාමාජිකයන් සමග පසුගියදා එහි ගිය දෙමළ මාධ්‍යවේදීන් තිදෙනෙකුට අඩන්තේට්ටම් කිරීම පිළිබඳව නිව්යෝර්ක් නගරය මුලස්ථාන කොට ගත් මාධ්‍යවේදීන් සුරැකීම සඳහා වන කමිටුව (CPJ) පළ කර ඇත්තේ දැඩි කම්පාවකි.

"නිදහස්, දෙමළ මාධ්‍යවේදීන් වන සෙල්වකුමාර් නිලාන්තන්, වලසිංහම් ක්‍රිෂ්ණකුමාර්, සහ ඇන්තනි ක්‍රිස්ටෝපර් ක්‍රිස්ටිරාජ් ට මෑතකදී මුහුණපෑමට සිදුවූ හිංසන පිළිබඳව ශ්‍රී ලංකාවේ බලධාරීන් විමර්ශනය කළ යුතු අතර, වරදකරුවන් ඒ සම්බන්ධයෙන් වගකීමට ලක්කළ යුතුය," යැයි CPJ සංවිධානය අගෝස්තු 30 වැනිදා නිකුත්කළ නිවේදනයක සදහන් වේ.

අන්තර්-ආගමික කණ්ඩායමක් සමග මෙම මාධ්‍යවේදීන් තිදෙනා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් නායකත්වය දුන් සිංහල ප්‍රචණ්ඩකාරී කණ්ඩායමක් විසින් වටකරගෙන තිබූ අතර, ඔවුන් පැය තුනකට අධික කාලයක් රඳවාගෙන තිබිණ. ඔවුන්ගේ පටිගතකිරීම් බලහත්කාරයෙන් මකාදැමූ අතර, ඔවුන් විසින් පටිගතකරගත් විස්තර පළ නොකරන බවට ප්‍රකාශයකටද අත්සන් ගෙන ඇත.

මයිලත්තමඩු ප්‍රදේශයේ දෙමළ ගොවීන්ට අයත් ඉඩම් රාජ්‍යය අනුග්‍රහය ඇතිව අල්ලාගන්නා බවට එල්ල වී තිබූ චෝදනා පිලිබඳ එකී මාධ්‍යවේදීන් තිදෙනා වාර්තා කර තිබූ පසුබිමක ඔවුන් ගමන් කරමින් තිබූ වාහන බෞද්ධ භික්ෂුව නායකත්වය දුන් සිංහල ප්‍රචණ්ඩකාරී කණ්ඩායම විසින් අගෝස්තු 22 වැනිදා පස්වරු 12.30 පමණ වටකරගත් අවස්ථාවේදී මාධ්‍යවේදීන් තිදෙනා එම අවස්ථාවට මුහුණ දී තිබුනි.


"පිහි සහ කඩුවලින් සන්නද්ධ පුද්ගලයන්ද ඇතුළු මෙම පිරිස, මාධ්‍යවේදීන් තිදෙනා සහ ගොවීන් හා ඔවුන් සමග සිටි අන්තර්විශ්වාස කණ්ඩායමක සාමාජිකයන් ඇතුළු තවත් 17 දෙනෙක්ව විවෘත ප්‍රදේශයකට ගෙනගොස්, ප්‍රදේශයේ රාජ්‍ය සංවර්ධන අධිකාරියක නිලධාරීන් ඉදිරිපිටම රඳවා තබාගෙන ඇත."



සී.පී.ජේ. සංවිධානයේ නිවේදනය තවදුරටත් සඳහන් කරන්නේ, අන්තර් සාමයික කණ්ඩායමේ නායකයන් වහාම පොලිසියට ඇමතුමක් ලබාදුන් නමුත් නිලධාරීන් පැමිණියේ පැය පහකින් පසුව බවත්, එයද සිදුවූයේ මෙම ගැටලුව දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ මතුකිරීමෙන් පසුව බවයි. දින අටකට පසුවත් මෙම ගැටලුව පිළිබඳව විමර්ශන සිදුනොකිරීම පිලිබඳ ඔවුන් පොලිසියට දොස් පවරා ඇත.

"අගෝස්තු 30 වැනිදා වන විටත් පොලිසිය මෙම සිද්ධිය පිලිබඳ විමර්ශනයක් දියත්කර තිබුණේ නෑ, යනුවෙන් මාධ්‍යවේදීන් තිදෙනා සී.පී.ජේ. සංවිධානයට පවසා තිබිණ. මයිලත්තමඩු ප්‍රදේශය අධීක්ෂණය කරන කරදියනාරු පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවට සී.පී.ජේ. සංවිධානය යොමු කළ පණිවිඩවලට කිසිඳු පිළිතුරක් ලැබුනේ නැත."



දෙමළ මාධ්‍යවේදීන් තිදෙනාට මුහුණපෑමට සිදුවූ හිංසන නිසි ආකාරයෙන් සහ අපක්ෂපාතී ලෙස විමර්ශනය කරන ලෙසත්, දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන ප්‍රහාර සම්බන්ධයෙන් පවතින දණ්ඩමුක්තිය අවසන් කිරීමට කටයුතු කරන ලෙසත් සී.පී.ජේ. සංවිධානයේ වැඩසටහන් අධ්‍යක්ෂ කාලෝස් මාර්ටිනෙස් ඩී ලා සර්නා ශ්‍රී ලංකා බලධාරීන්ට පවසා ඇත.



"බාධාකිරීම් හෝ පලිගැනීමට ලක්වීමේ බියෙන් තොරව සිය ප්‍රජාවට බලපාන ගැටළු පිලිබඳ වාර්තා කිරීමට දෙමළ මාධ්‍යවේදීන්ට අයිතියක් ඇත."

මෙම සිදුවීම සිදුවූ අවස්ථාවේදී මඩකලපු දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ ලේකම් වන නිලාන්තන් මාධ්‍යවේදීන් සඳහා නිකුත් කරන ජැකට්ටුවක් හැඳ සිටි අතර, බ්‍රිතාන්‍යය පදනම්වූ විකාශන ආයතනයක් වන අයි.බී.සී. ටැමිල් (IBC Tamil) වෙනුවෙන් වාර්තා කරමින් සිටියේය.

රඳවාගෙන සිටි කාලසීමාවේදී ගොවීන්ගේ ප්‍රකාශ සහ ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් ඉඩම්වලට ගිනිතැබීම ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ මකාදැමීමට ඔහුට බල කරන ලද අතර, සිද්ධිය පිලිබඳ වාර්තා නොකරන බවට සිංහල සහ දෙමළ බසින් සඳහන් වන ලියුම් දෙකකට අත්සන් කිරීමටද බල කර ඇත.

නිදහස් මාධ්‍යවේදීන් වන ක්‍රිෂ්ණකුමාර් සහ ක්‍රිස්ටිරාජ් යන දෙදෙනා මාධ්‍යවේදීන් සඳහා නිකුත් කරන ජැකට්ටු හැඳ නොසිටි අතර, සිය කැමරා සඟවා බෞද්ධ භික්ෂුව විසින් නායකත්වය ලබාදුන් ප්‍රචණ්ඩකාරී කණ්ඩායමට තමන් වාර්තාකරුවන් බව දැනගැනීමට ඉඩනොදුන් බව සී.පී.ජේ. සංවිධානයට ඔවුන් පවසා ඇත.



ක්‍රිෂ්ණකුමාර් මඩකලපු දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ ප්‍රධානියාද වේ. ඔවුන්ද වාර්තාකරුවන් බව දැනගත් විට එම කණ්ඩායම ප්‍රචණ්ඩ වූ අතර, මාධ්‍යවේදීන් සතු සියලුම පටිගතකිරීම් මකාදැමීමට නියෝග කරන ලෙස භික්ෂුව පොලිස් නිලධාරියාට පවසා ඇත.



එම කණ්ඩායම හින්දු පූජකයකුටද පහරදුන් බව සී.පී.ජේ. සංවිධානයට පවසමින් මාධ්‍යවේදීන් වැඩිදුරටත් සඳහන් කළේ, කෙසේ නමුත් ඔවුන්ට හානියක් සිදුවූයේ නොමැති බවයි.

අඩුවීමකින් තොරව මාධ්‍ය මර්දනය දිගටම පවතින බවත්, වාර්තාකරණ කටයුතුවල නිදහසේ නියැලීමට තමන් දැඩි බියක් දක්වන බවත් සෙල්වකුමාර් නිලාන්තන් CPJ හා පවසා තිබේ.

"මම ඉන්නේ ගොඩක් කම්පනයට පත්වෙලා. මම ගත් වීඩියෝපට හෝ ඡායාරූප මැකුවේ නැත්නම් මාව මරාදමනවා කියලා කෙලින්ම කිව්වා. සිංහල මැරයන් හින්දු පූජකතුමාව කොණ්ඩයෙන් අල්ලාගත් විට මම කම්පනයට පත්වුණා. ඒක හරිම නින්දා සහගතයි, ඒ වගේම ඒ ක්‍රියාව ඔහුගේ සංස්කෘතියට සහ සම්ප්‍රදායන්වලට සෘජුව එල්ලවුණු ප්‍රහාරයක්. මේ සිදුවීම මට දැඩි මානසික බලපෑමක් ඇති කරලා තියෙනවා. මට කිව්වා ප්‍රතිඵල දරුණු වෙයි කියලා. ඒකෙන් පැහැදිලිවම තේරෙනවා මෙතන මොකක් හරි ලොකු අවුලක් තියෙනවා කියලා."

ප්‍රදේශවාසීන් පවසන්නේ එම කණ්ඩායමට පහරදුන් බෞද්ධ භික්ෂුව සහ ප්‍රචණ්ඩකාරී කණ්ඩායම යාබද අම්පාර දිස්ත්‍රික්කයේ අය වන අතර, එවැනි තර්ජන නිරන්තරයෙන් සිදුවන බවයි.



කිරි ගවයන් ඇතිකරන ගොවීන් පවසන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ආර්ථිකය රඳාපවතින්නේ කිරි කර්මාන්තය මත බවයි. මයිලතත්තමඩු - මාදවනෙයි කිරි ගවයන් ඇතිකරන ගොවීන්ගේ සංගමයේ සභාපති සින්නතම්බි තියාගරාජාට අනුව, එවැනි ගොවීන් 2,000ක් පමණ ප්‍රදේශයේ ජීවත්වන අතර, කිරි ගවයන්ට තණ කැවීම සඳහා රජය විසින් ලබාදී ඇති අක්කර 100 මත ඔවුන්ගේ වෘත්තිය රඳා පවතී.


"දිස්ත්‍රික්කයේ ආර්ථිකය රඳාපවතින්නේ ගවයන් ආශ්‍රිත කෘෂිකර්මාන්තය මතයි. සිංහල ජනතාව අක්කර 10-15ක පමණ භුමිප්‍රමාණයක් තබාගනිමින් ගවයන් කුසගින්නේ තබා අපට තර්ජනය කරනවා. ගවයන් ආහාරගන්නා තණබිම් සහ කැලෑ ප්‍රදේශ ගිනිතබද්දී මහවැලි සංවර්ධන අධිකාරිය නිහඬව සිටිනවා. වනජීවී නිලධාරීන් අපිට යකඩ කෑල්ලක්වත් තියාගන්න දෙන්නේ නැති බව කියනවා, ඒ වගේම එහෙම කළොත් අත්අඩංගුවට ගන්නා බවත් කියනවා. නමුත් සිංහල ජනයා ආයුධ සන්නද්ධව ඇවිත් අපිට පහර දුන්නත් කිසිවෙක් අත්අඩංගුවට ගන්නේ නැහැ. මඩකලපුව සහ වාලච්චේනෙයි අධිකරණ ඇතුළු අධිකරණ ගණනාවක් මේ ප්‍රදේශයේ ගවයන් ඇතිකිරීමට අවසරදී තිබෙනවා. රජය විසින් වෙන්කොට ඇති බිම්වල ආහාර ගන්න අපේ හරකුන් ගෙනියන්න බැරිනම්, අපි කොහේද යන්නේ සහ අපි මොනවද කරන්නේ?"

මේ අතර, මාධ්‍යවේදීන් වන නිලාන්තන් සහ පුන්‍යමුර්ති සසිකරන් විසින් තමන් මුහුණදුන් තර්ජන සහ අයුතු සැලකීම් පිලිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් 2023 වසර සඳහා නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පත් නොමැති බව පවසමින් ඔවුන්ට මඩකලපු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම වාර්තා කිරීමට ඉඩ ලබාදී තිබුනේද නැත. මානව හිමිකම් කොමිසමට ඔවුන් ඉදිරිපත් කළ පැමිණිල්ල මගින් මාධ්‍යවේදීන් පෙන්වා දී ඇත්තේ 2022 වසර සඳහා හෝ ඊටත් කලින් නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පත් තිබූ අනෙකුත් අයට මෙම රැස්වීම ආවරණය කිරීමට ඉඩදී තිබූ බවයි.

දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වන සිවනේසතුරයි චන්ද්‍රකාන්තන්ගෙන් මේ පිළිබඳ මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන් විමසූ විට චන්ද්‍රකාන්තන්ගේ පිළිතුර වූයේ, අදාළ රැස්වීමට ඇතුළුවීමට පුන්නියමූර්තිට ඉඩ ලබා නොදුන් හේතුව වන්නේ ඔහු පළාතේ ආණ්ඩුකාරවරයා 'මිස්ටර් ගවනර් (ආණ්ඩුකාර මහතා)’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම නිසා සහ ජනාධිපතිවරයාගෙන් 13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පිලිබඳ ප්‍රශ්න ඇසූ නිසා බවත්ය.


බහු-ආගමික කණ්ඩායම බලහත්කාරයෙන් රඳවා තබාගැනීම, ඔවුන්ට මරණ තර්ජනද ඇතුළු තර්ජන කිරීම් සහ මාධ්‍ය නිදහසට ඇති අවදානම පිළිබඳව පාර්ලිමේන්තුව ඇතුළු සියලුම සභාවලදී අවධානයට ලක්කරන බව දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ දෙමළ ජාතික සංධානය අවධාරණය කොට ඇත.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්