මෙරට රෝහල් පද්ධතිය තුළ අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඒ සඳහා කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. 

ඒ අනුව ලබන නොවැම්බර් මාසය දක්වා අවශ්‍ය අක්ෂි කාච වෛද්‍ය සැපයීම් අංශය මගින් මෙරට රෝහල් සඳහා බෙදා හැර ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක පැවසීය.

එම තත්ත්වය තුළ අක්ෂි කාච වල හිඟයක් මෙරට රෝහල් පද්ධතිය තුළ නොමැති බවත් අවශ්‍ය සැත්කම් සාමාන්‍ය පරිදි මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඔහු අවධාරණය කර සිටියි.

පසුගිය මැයි මාසයේ වෛද්‍ය සැපයීම් අංශය මගින් මාස 6 ක අවශ්‍යතාවය සඳහා අවශ්‍ය අක්ෂි කාච රෝහල් වෙත බෙදාහැරි බවද ඔහු සඳහන් කලේය.

ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

දිවයින පුරා රෝහල් වල මාසයකට 10,000 ක පමණ කැට්රැක්ස් ශල්‍යකර්ම (cataracts surgery) සිදු කරන බවත්, වාර්ෂික අවශ්‍යතාවය ලක්ෂයක් වන බවත් හෙතෙම පැවසීය.

 

අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් සිටින සියලු මූලික රෝහල්වල සිට ප්‍රධාන රෝහල් දක්වා මැයි මාසයේදි මාස 06ක පමණ අවශ්‍යතාවය වෛද්‍ය සැපයුම් අංශය වෙත ලබාගෙන, වෛද්‍ය සැපයුම් අංශය මගින් එම රෝහල්වලට බෙදා හැර ඇත. දැනටමත් නොවැම්බර් මාසය දක්වා මෙම රෝහල් වල අක්ෂි කාච ප්‍රමාණවත්ව තිබෙන බවත්, ඉදිරි මාස දෙකකට අවශ්‍ය ප්‍රමාණය වෛද්‍ය සැපයුම් අංශය සතුව තිබෙන බවත් පැවසීය. ආසියානු සංවර්ධන බැංකුව හරහා මාස හයක අවශ්‍යතාවය දැනමත්ට ලැබී ඇති බවත් ඒවා රෝහල් වෙත දැනටමත් බෙදා හැර ඇති බවත් ඔහු පැවසීය.

 

අක්ෂි කාච විශාල පරාසයක තිබෙන බවත් ශ්‍රී ලංකාව තුළ දැනට ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ 18.5 සිට 26 දක්වා පරාසයක කාච බවත් එම ප්‍රමාණයන්ගෙන් අක්ෂි කාච දැනට ඕනෑම රෝහලක ඇති බවත් කුමන හෝ රෝහලක අඩු පාඩුවක් සිදුවී තිබේ නම් වෛද්‍ය සැපයුම් අංශය මගින් ලබාගත හැකි බවත් පැවැසීය. ඒ අනුව දැනට අක්ෂි කාච හිඟයක් හේතුවෙන් කිසිදු රෝහලක අක්ෂි කාච සැත්කම් නැවතී නොමැති බව ඔහු අවධාරණය කළේය.

'' අක්ෂි කාච මිලදී ගෙන සැපයීමේ වගකීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පැවරී තිබෙනවා ''  

මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක, වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය අක්ෂි කාච මිලදී ගෙන සැපයීමේ වගකීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පැවරී තිබෙන බවද පවතින තොග වලට අමතරව ඉදිරි අවශ්‍යතා සදහා ඇනවුම් දෙකක් මේ වන විටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සැපයුම්කරුවන්ට නිකුත් කර තිබෙන බවද කීය. 

විවිධ අක්ෂි කාච වර්ග 11 ක් සදහා මිල ගණන් කැදවා ඒ කැදවු මිල ගණන් තාක්ෂණික ඇගයීම් වලට ලක්කර ඊයේ  (04 ) දිනයේ දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බවද ඔහු පැවසීය. 

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව විසින් අවශ්‍ය තීරණ ගත් පසු එම අයිතම සදහා ඇනවුම් ලබා දීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.

තවත් අයිතම දෙකක් අමාත්‍ය මණ්ඩලය පත් කල ප්‍රසම්පාදන කමිටුව හමුවට යොමු කල බවද සියලු ප්‍රසම්පාදන මුලික කටයුතු හා තාක්ෂණික ඇගයීම් කටයුතු අවසන් කර සැප්තැම්බර් 6 දින රැස්වන ඉදිරි ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කරන බවද හෙතෙම  කීය. 

ඒ  සම්බන්ධව තීන්දු තීරණ ලැබුණු පසු ඇනවුම් කිරීමේ හැකියාව පවතින බවත් දැනට පවතින තොග තත්වයන් යටතේත්, ඉදිරියට ලැබීමට පෙලගැසී තිබෙන තොග අනුවත් අක්ෂි කාච වල හිගයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැතිබව ඔහු වැඩිදුරටත් පැවසීය. 

සාමාන්‍ය මිල දී ගැනීමට වඩා රුපියල් මිලියන 200ක් පමණ මසකට වැයකරන මගඩියක් !

මේ අතර පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සභාපති රවී කුමුදේශ් පවසන්නේ, අක්ෂි කාච හිඟයක් නැති බව හෝ අඩුපාඩුවකින් තොරව සපයන බව පමණක් ප්‍රකාශකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට ගැලවිය නොහැකි බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදි නම්, මසකට අවශ්‍ය අක්ෂි කාච 15000ක ප්‍රමාණය, සමාන්‍ය මිලදී ගැනීම යටතේ ලබා දීමට හැකි බව තහවුරු කිරීමට වෛද්‍ය සැපයීම් අංශයට හැකියාව තිබිය යුතු බවද ඔහු කියා සිටියි. 

 

සාමාන්‍ය මිල දී ගැනීමට වඩා රුපියල් මිලියන 200ක් පමණ මසකට වැය කරමින්, අක්ෂි කාච සැපයීම සාමාන්‍ය තත්වයක් නොවන නිසා, එමගින් රජයට පාඩුවන මුදල පිළිබඳව වග කිව යුත්තෙක් සිටිය යුතු අතර, ටෙන්ඩර් නැවත නැවත අවලංගු කිරීම හරහා හදිසි මිලදී ගැනීමට පෙළඹවීම හේතුවෙන් ඇතිවන මුදල් නාස්තිය, ශ්‍රී ලංකේය සෞඛ්‍ය සේවාව ආරාජික වීමට ප්‍රධාන හේතුවක් වන බැවින්, මෙවන් තත්වයක් ඇතිවීම සුළුකොට තැකීම නොකල යුතු බවද රවී කුමුදේශ් කියා සිටියි. 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image