"ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිලිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින්

සම්පාදනය කර ඇති වාර්තාව නැවත සලකා බැලිය යුතු” බව දෙමළ ජනතා නියෝජිතයෙකු පවසයි.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට බලකර කියා සිටින්නේ "රජයට හිතවාදී වන්නාවුද, යුද්ධයෙන් බැටකෑ දෙමළ ජනතාවගේ අදහස් සහ තත්වය නියෝජනය නොකරන්නාවුද" එම වාර්තාව ඉදිරිපත් නොකරන ලෙසයි.

වෙනත් දෙමළ සංවිධාන සහ සිවිල් සමාජ කණ්ඩායම් ද ඔහුගේ එම ඉල්ලීමට සහය දැක්වීමට එකතු වී ඇති අතර, ඒක-පාර්ශවීය සහ රජයට පක්ෂග්‍රාහී එකක් ලෙසින් එම වාර්තාව ඔවුන් විසින් ද විවේචනයට ලක්කර ඇත.

එම ඉල්ලීම සහ කලකිරීම ඔවුන් ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය (UNHRC) හමුවේ 11 වැනි සඳුදා විවාදයට ගැනීමට පෙරයි.



යුද්ධයෙන් විනාශයට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි ප්‍රදේශයේ පදිංචි සුන්දරම්පිල්ලේ සිවමනී නම් වයෝවෘධ මාතාව දැඩි ශෝකයෙන් යුතුව මානව හිමිකම් පිලිබඳ කටයුතු කරන එක්සත් ජාතීන්ගේ ඉහළම සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ බලපෑමට ලක්වූ අයගේ දුෂ්කරතා සාකච්ඡා කරන ලෙසයි.



"අපගේ එකම බලාපොරොත්තුව UNHRC වී ඇති තත්වයක අපව අතහැර නොදමන්න" යනුවෙන් පවසන ඇය ඔවුන්ට යුක්තිය ලබාදෙන ලෙස ඉල්ලා සිටින්නීය.

යුද්ධය අතරතුරදී හෝ, ආරක්ෂක අංශවලට බාරදීම හෝ යටත්වීමත් සමග යුද්ධය ලේ වැගිරීමකින් කෙලවර වූ අවස්ථාවේදී අතුරුදහන් වූ සිය සැමියන් සහ දරුවන් සොයමින් සිටින දෙමළ මාතාවන් සිය ගණනක් ඇය සමග සිටී.

"සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ඇතිකිරීමේ සැලසුම් ඇතුළුව සංහිඳියාව වර්ධනය කිරීමට ජනාධිපතිවරයා කැපවී සිටී," යනුවෙන් දෙමළ ජනතාවගේ දැඩි විවේචනයට ලක්වී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් සම්පාදනය කළ වාර්තාවේ සදහන්ව තිබේ.



"සත්‍ය සෙවීමට අවංක වෑයමක් නොමැති තත්වයක් තුළ එවැනි යාන්ත්‍රණයක් සාර්ථක වන්නේ කෙසේද," යන්න බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමය (ARED) විමසයි. දහස් ගණනක් අතුරුදන්වී ඇතත් අද දක්වා අතුරුදන්වූ එකදු පුද්ගලයකුවත් සොයාගෙන නොමැති රජය විසින් පිහිටවන ලද අතුරුදන්වූවන්ගේ කාර්යාලය (OMP) ඔවුන් දැඩිව ප්‍රතික්ෂේප කොට ඇත.



ඔවුන් එක්හඬින් පවසන්නේ "මෙම වාර්තාව ඔවුන්ට රජයේ යෝජනා පිළිගැනීමට බලකරන" බවයි.

"OMP ය අප ප්‍රතික්ෂේප කළා. දැන් ඔවුන් TRC ය ඉදිරිපත් කරනවා. ඒ දෙකම එකයි. අප OMP ය ප්‍රතික්ෂේප කර ඇති අවස්ථාවක ඔවුන් TRC ය පිළිගන්නැයි බලකරනවා. අභ්‍යන්තර යාන්ත්‍රණය මත පදනම්වූ විසඳුමක් UNHRC කොමසාරිස්වරයා ඔහුගේ වාර්තාව තුළින් යෝජනා කර තිබෙනවා. TRC ය හරහා අපට කිසි හොඳක් සිදුවන්නේ නැහැ. TRC ය වැනි දෑ අපට පිට පැටවීම මගින් UN වාර්තාව උත්සාහ කරන්නේ රජය සහ ශ්‍රී ලංකාව බේරා ගැනීමටයි," මුලතිව් දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මරියසුරේෂ් ඊශ්වරී මාතාව පවසන්නිය.

ඇය වැඩි දුරටත් සදහන් කරන්නේ සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ පිහිටුවන කිසිඳු අභ්‍යන්තර යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවයි.

"බලහත්කාරයෙන් කළ අතුරුදහන්වීම්වල වේදනාව දරා සිටින පවුල් UNHRC යට පීඩනය එල්ල කරන්නේ යුක්තිය වෙනුවෙන් වූවත්, එය සැලකිල්ලට ගෙන නැහැ. ශ්‍රී ලංකාව තුළ පිහිටුවන කිසිඳු අභ්‍යන්තර යාන්ත්‍රණයක් ගැන අපේ කිසිඳු විශ්වාසයක් නැහැ වගේම, එවැනි කිසිඳු යාන්ත්‍රණයකට අප සහභාගී වන්නේ ද නැහැ. ජාත්‍යන්තර යාන්ත්‍රණයක් හරහා යුක්තිය ඉල්ලා අප දිගින් දිගටම සටන් කළා. අපි මේ සම්බන්ධයෙන් UNHRC කොමසාරිස්වරයාට ඉල්ලීමක් කරනවා,"

කොළඹදී මුණගැසුණු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ටද මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කරමින් ඇය ඔවුන්ගේ දුෂ්කරතා පෙන්වා දී ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම් UNHRC සාකච්ඡාවේදී මතු කිරීම වෙනුවෙනි.

"වින්දිතයන් වන අප වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව හඬක් නැගිය යුතු අතර අප වෙනුවෙන් යුක්තිය ලබාගත යුතුයි."



දෙමළ ජනයා වෙනුවෙන් යුක්තිය ලබාගැනීමට ප්‍රයත්න දරන දේශපාලන ක්‍රියාධර පීටර් ඉලන්චේලියන් චෝදනා කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් දින 2300 ට වැඩි කාලයක් අඛණ්ඩ විරෝධයේ යෙදී සිටින මව්වරුන්ගේ හඩට කන් දී නොමැති බවයි.



"UNHRC කොමසාරිස් විසින් නිකුත් කළ වාර්තාව දෙමළ ජනතාව හෝ ඔවුන්ගේ ගැටළුවලට ලබාගත යුතුව තිබෙන විසඳුම් පිලිබඳ කිසිඳු සඳහනක් කරන්නේ නැහැ. මෙය හුදෙක් කාලය ලබාගැනීමේ උපායක්. එය දෙමළ ජනතාවට සිදු කරන්නේ වංචාවක්. දවස් 2300 ක් පුරා දෙමළ මව්වරුන්ගේ නායකත්වයෙන් යුත් උතුරු සහ නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් මහමගට බැස උද්ඝෝෂණය කළා. ඔවුන්ගේ හැගීම්වලට සැනසීමක් ලබාදීමටවත් මෙම UN වාර්තාවේ කිසිම දෙයක් නැහැ."

උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන විශාලතම පාර්ලිමේන්තු කණ්ඩායම වන දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් සදහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ වාර්තාව දකුණේ මර්දනයට ලක්වන මානව හිමිකම් ක්‍රියාධරයන් වෙත යොමු කර ඇති තරමේ අවධානයක් දිගින් දිගටම හිංසනයට ලක් වන දෙමළ ජනයා කෙරෙහි යොමු කර නොමැති බවයි.

"UNHRC කොමසාරිස්වරයාගේ වාර්තාව දැඩි කලකිරීමක් ඇති කරවන ආකාරයේ එකක්. වාර්තාව හරහා දෙමළ ජනතාවගේ අරමුණු සහ බලාපොරොත්තු ඉටුකිරීමට අසමත් වී තිබෙනවා. අරගලයෙන් පසු දකුණේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එල්ල වූ මර්දනය එහි සාකච්ඡා කර තිබුණත්, දෙමළ ජනතාව දිගින් දිගටම හිංසනයන්ට මුහුණපාමින් සිටින සහ බියෙන් ජීවත් වන උතුරේ සහ නැගෙනහිර දශක ගණනාවක් පුරා සිදුවූ එවැනිම මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිලිබඳව වාර්තාව තුළ පැහැදිලි නිශ්ශබ්දතාවක් පවතිනවා,"

"මෙම වාර්තාව ශ්‍රී ලංකා රජයට සහයෝගය දක්වන බවක් පෙනෙන්නට තිබෙනවා. මේ වාර්තාවේ පළමු කෙටුම්පත. රටේ පවතින තත්වය පක්ෂග්‍රාහීත්වයකින් තොරව බලන ලෙසත්, යුක්තිය ලබාගැනීමේ ක්‍රියාවලියේදී UNHRC ය මත විශ්වාසය තබාගෙන සිටි දෙමළ ජනතාවගේ බලාපොරොත්තු සහ ඉල්ලීම් පෙනෙන ආකාරයෙන් වාර්තාව නැවත සකසා ඔවුන්ට යුක්තිය ලබාදෙන ලෙසත්, මම UNHRC කොමසාරිස්වරයාට බලකර සිටිනවා." සිවඥානම් ශ්‍රීතරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කරයි.



දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ද පවසන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් සම්පාදනය කර ඇති වාර්තාව කලකිරෙන සුළු එකක් වන අතර, මීට කලින් ඉදිරිපත් කළ වාර්තාවල අඩුපාඩු තිබූ නමුත් ඒවා දෙමළ ජනතාවට පිළිගත හැකි අන්දමේ ඒවා වූ බවයි.



"එම වාර්තාවල තිබූ අඩුපාඩු අප පෙන්වා දුන්නා. කෙසේ නමුත්, මෙම වාර්තාව අපගේ බලාපොරොත්තු බිඳදමා තිබෙනවා. 2012 වසරේ පළමු වාර්තාව පළවීමෙන් පසු, වර්ග සංහාර, යුද අපරාධ, සහ දෙමළ සමාජයට එරෙහි අපරාධ වැනි දරුණු ගණයේ ගැටළු නිරන්තරයෙන් වාර්තාවල පළවුනා. නමුත් එම ගැටළු මේ වසරේ වාර්තාවෙන් ඉවත් කර තිබෙනවා. ඒ වගේම පෙර වාර්තාවල තිබූ බරපතල බව දස ගුණයකින් පමණ අඩු කර තිබෙනවා. වගවීම යන කාරණය අවධාරණය කර තිබෙන නමුත්, ඊට ලබාදී තිබූ වැදගත්කම දැඩි ලෙස අවතක්සේරු කර තිබෙනවා."


සබැඳි පුවත් :

මෙවර ජිනීවා සමුළුවේ ශ්‍රී ලංකාව ගැන පලාපලය සුබද, අසුබද?

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image