ශ්‍රී ලංකාව සිය හැත්තෑ දෙවැනි නිදහස් සමරු උත්සවය තවත් දින දෙකකින් පවත්වයි.

 

මෙවර නිදහස් සමරුව විශේෂ අවධානයට යොමු ව ඇත්තේ,  එ‍හි දී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගැයෙන්නේ ද යන ප්‍රශ්නය සමග ය.

ඇමතිවරයෙකු කීවේ, දමිළ භාෂාවෙන් ජාතික ගීය නොගැයීමට ආණ්ඩුව තීරණය කර ඇති බවය. ඒ සමග, ජාතික ගීය දමිළ භාෂාවෙන් ගැයිය යුතුද නැද්ද යන්න ගැන බලවත් කතාබහක් සමාජයේ ඇති විය.

ජාතික ගීය දමිළ භාෂාවෙන් නොගැයිය යුතු යැයි කී පාර්ශවය, ඉදිරිපත් කළ තර්ක කෙසේ වෙතත්, ඔවුන්ගේ හඬෙහි සමස්තයක් ලෙස තිබුණේ,  මේ රටේ සුළුතර ජාතිකයන් බහුතර ජාතියේ වුවමනාවන්ට අනුව ම සිටිය යුතුයැ 'යි කියන අන්තගාමී ප්‍රකාශනයයි. Text 2 6 

රටක ජාතික ගීය ගැයිය යුතු වන්නේ කුමන භාෂාවෙන් දැයි නියම කෙරුණු න්‍යායක් නැත. ඒ ඒ රටවල් තම තමන්ට උචිත ආකාරයෙන්, තමන්ගේ සමාජ දේශපාලනික හා වාර්ගික අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන්, සමහර විට එක් භාෂාවකින්, භාෂා දෙකකින් හෝ කිහිපයකින් හෝ ගැයීම පුරුදු කර ගෙන තිබේ. ගීය ගැයෙන භාෂාව වැදගත් වන්නේ රටේ අවශ්‍යතාව කුමක්ද යන්න මත ය.

නිදහසෙන් පසු ගත වුණු අවුරුදු හැත්තෑ දෙකෙන් අවුරුදු තිහකටත් වැඩි කාලයක් වාර්ගික ගැටුමකින් ශාරීරිකවත්, දේපොළ වශයෙනුත්,  මානසිකවත් විනාශයක් කර ගත් අප අද සිටින්නේ, හැකි ඕනෑම ක්‍රමවේදයකින් අප අතර නැති ව ගිය සහෝදරත්වය ඇති කර ගැනීමේ අවශ්‍යතාව ඇති මොහොතක ය.

සියලු වාර්ගිකයන්ට, මෙය බෙදා ගන්නට නොව, එක් ව සිටින්නට වටින රටක් හැටියට ඒත්තු ගැන්වීමේ අවශ්‍යතාව ඇති මොහොතකය.

ජාතික ගීය තමන්ගේ මව් භාෂාවෙන් ගැයීමෙන්, දමිළ සහෝදරයන්ට, මේ රට තමන්ගේ ද රටක් බවට හැඟීමක් ඇති වන බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ වනවා නම්, ඔවුන් ජාතික ගීය සිය මව්බසෙන් ගැයීම වරදක් වන්නේ කෙසේ ද? ඊට ඉඩ නොදිය යුත්තේ ඇයි ද?

අගමැතිවරයා පසු අවස්ථාවක කීවේ, ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට ආණ්ඩුව තීරණයක් ගෙන නැති බව ය.

 

ත්‍රිකුණාමලේ ආනන්ද නායක හිමියන කියන කතාව :

කොහොම වුණත්, නිදහස් සමරුවට දින දෙකක් තිබෙද්දී, සමහර විට එහි න්‍යාය පත්‍රය මේ වන විටත් නියම ව තිබෙද්දී, ජාතික ගීය දමිළ භාෂාවෙන් ගැයීම ගැන රටේ වියතකු, ජාතිකවාදී පාර්ශවයේ  පුරෝගාමියෙකු මෙන් ම , සිංහල භාෂාප්‍රේමියකු ද, ප්‍රාමාණිකයකු ද වන ත්‍රිකුණාමලේ ආනන්ද නායක හිමියන් ලියූ ලිපියක් මේ බ්‍රහස්පතින්දා ලංකාදීපයේ පළ වී තිබිණ.

නායක හිමියන් එහි කියන්නේ නිදහස් සමරුවේ දී දමිළ භාෂාවෙන් එය ගැයීම ගැන තමා අදහස් නොකියන බව ය. එහෙත් ඒ හිමියන් ලිපියේ දක්වන අදහස් කිහිපයක් උපුටා දැක්වීම යහපතැ' යි සිතෙන්නේ , එවැනි විවෘත මනසකින් කටයුතු කරන යතිවරුන් ලංකාවේ මහා හිඟයක් පවතින බව ද මතක් කරමිනි. ඒ හිමියෝ මෙසේ කියති.

Ananda himi'බිදුණු හදවත් ඇති සුළු ජන කොටසක් සුවපත් කළ හැකි එක් මඟක් නම් ර‌ටේ ජාතික ගීයට ඔවුනට ද සම අවස්ථාවක් ලබා දීමය. එය බහුතරයක් වූ ජන කණ්ඩායමට ගෞරවය හා සම්මානය පිණිස හේතු වන කරුණක් මිස අවමානයට හේතු වන කරුණක් නොවේ.

නො තේරෙන බසකින්, හැඟීමකින් තොරව, නැතහොත් විරුද්ධ හැඟීම් ඇති ව ජාතික ගීය ගායනා කරනවාට වඩා තේරෙන බසින් තමන් ගේ රට ගැන ප්‍රෞඪත්වයක් දැනවන අයුරින් මෙන් ම රටේ සෞභාග්‍ය්‍ය වෙනුවෙන් උදම් ව උරෙදෙන අයුරින් එය ගායනා කරන්නට අවස්ථාවක් සැලැසීම සැබැවින් ම ප්‍රඥා ගෝචර ය. මානව හිතවාදී ය.

බුදුරාජාණන් වහන්සේ පෙන්වා වදාළ පරිදි  'අන්තූපනායික ධර්ම පර්යාය ' ( තමා උපමා කොට සිතීම - අවධාරණය සංස්කාරකගෙනි) මේ කරුණෙහිලා ද සලකා බැලිය යුතු ය. අපට නොතේරෙන බසකින් දොම්නස් සිතින් අපේ ම රටේ ජාතික ගීය ගයන්නට සිදු වුව හොත් අපේ සංවේදනය කෙබඳු විය හැකි ද ?

හැරත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි දෙමළ බස රාජ්‍ය භාෂාවක් ලෙස ද, ජාතික භාෂාව ලෙස , උතුරු හා නැගෙනහිර පළාත් වල පරිපාලන භාෂාව ලෙසද පිළිගෙන ඇති හෙයින්ද  ජාතික ගීයේ පදානුපදික දෙමළ පරිවර්තනය ව්‍යවස්ථාවෙහි ඇතුළත් කර ඇති හෙයින්ද, එහි ගලා යන ශෛලිය , තනුව හා සංගීතය සිංහල ගීතය හා සමාන වූවක් බැවින්ද, ජාතික ගීයේ භාෂාව ව්‍යවස්ථාවෙන් විශේෂ කොට නිශ්චය කර නැති හෙයින් ද, දැනටත් උතුරු හා නැගෙනහිර පළාත්හි ජාතික උත්සවවල හා දෙමළ පාසල්වල එම බසින් ජාතික ගීය ගැයෙන හෙයින්ද ජාතික ගීය සිංහල බසින් පමණක් ගැයිය යුතු  යැයි  දැඩි මතයක සිටීම ජාතික සහජීවනයට කිසි සේත් ම හිතකර නොවන බව අපගේ වැටහීමයි.'

නිදහස් සමරුවේ දී ගැයීම ගැන අවසාන නිගමනයක් නොදෙන නමුත්, මේ සිංහල ප්‍රේමීයා විස්තර කරන කරුණු එකින් එක සැලකුවහොත් , අප සිටිය යුත්තේ කොතැන දැයි සබුද්ධික ඕනෑ ම කෙනකුට වැටහෙනු තියත ය.

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්