ආරක්ෂක ඇමතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව හෙට (21) දින කතානායකවරයාට බාරදෙන බවත් ඒ මහතා අනාවරණය කළේ ය.
ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.
මේ වනවිටත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව න්‍යායපත්‍රයට එන්නේ පිළිවෙලින් දෙවනුව බවත්, පළමුව ගැනෙන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව බවත් අනුර දිසානායක මහතා එහිදී සඳහන් කර සිටියේය.
එහෙත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එකඟ වන්නේනම් පමණක් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පළමුව න්‍යායපත්‍රයට ගතහැකි බව ජවිපෙ නායකයා පැවසිය.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් පවතින බවත් එය අත්සන් කර ඇත්තේ 2018 මැයි 09ය යැයිද විපක්ෂ නායකවරයා පවා එයට අත්සන් යොදා නැතැයිද අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
කිසිදු අපරාධකාරුවෙක් ආරක්ෂා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් නොවන බවත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගැනෙන්නේනම් එම නිෂ්චිත මොහොතේ රටත් ජනතාවගේත් පැත්තේ සිට තීරණයක් ගන්නා බවත් ඒ පිළිබඳව කිසිවෙකුත් දෙගිඩියාවක් තබා නොගන්නා ලෙසත් මෙහිදී අනුර දිසානායක මහතා අවධාරණය කළේ ය.



