ඒ සම්බන්ධයෙන් 'ද ලීඩර්' කල විමසීමකදී බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා පැවසුයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට අදාල ලියකියවිලි වලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති බවයි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නිතිඥ ශිරාල් ලක්තිලක මහතා ද පැවසුයේ එම කාරණය සත්‍යය බවයි.
කෙසේවුවද ඒ සම්බන්ධයෙන් 'බීබීසී සිංහල සේවය' කළ විමසීමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසුයේ, මෙතෙක් එවැනි නියෝගයක් තම දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවය.
අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කළේය.
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මේ දක්වා ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වා නොමැත.
එක්නැළිගොඩගේ බිරිඳ කියන කතාව :
මේ අතර වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව ඥානසාර හිමියන් නිදහස් කරන්නේ නම් වින්දිතයෙකු වන තමන්ට ඒ බව කල් තියා දැනුම් දිය යුතු බව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ පවසයි.
යම් කිසි හෙයකින් ඥානසාර හිමි නිදහස් කරන්නේ නම් සිය ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවත් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය 'බීබීසී සිංහල සේවය' වෙත කියා සිටියාය.
ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දී නිදහස් කරන ලෙස සිය අමාත්‍යංශයට නිල වශයෙන් දන්වා නොමැති බව අධිකරණ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ද පැවසීය.
මේ අතර මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙකු වන ජනාධිපති නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, ඥානසාර හිමියන් බන්ධනාගාරගත කරනු ලැබුවේ අධිකරණ කටයුතුවලට මැදිහත්වීම සහ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් බැවින් එහිමියන්ට සමාව ප්‍රදානය කරන්නේ නම් එය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන අතුල් පහරක් බවය.
එමෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව ජනාධිපති සමාව සම්බන්ධයෙන් අධිකරණ විමර්ශනයක් පැවැත්විය හැකි බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙයි.
ඉහත කී චෝදනාවලට ඥානසාර හිමි වරදකරු කරමින් අදාළ තීන්දුව ලබා දෙනු ලැබුවේ ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසිනි.
නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කරනු ලැබ තිබුණේ හෝමාගම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරයෙකු මෙන්ම වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුවය.
අධිකරණයට සහ රජයේ නීතිඥවරුන්ට අපහාසයක් !
එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණ භූමිය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම සහ රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කර ඇති බවය.
වගඋත්තරකාර ඥානසාර හිමි සඳහන් කර තිබුනේ තමන් වහන්සේ එම චෝදනාවලට නිවැරදිකරු බවය.
ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඇතැම් බෞද්ධ භික්ෂූන් මෙන්ම දේශපාලනඥයන් අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. ඥානසාර හිමි බන්ධනාගාරගත කිරීම දේශපාලන අරමුණක් මත සිදුවූවක් බවට ද චෝදනා එල්ල විය.
මේ අතර සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කෙරුණ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා දෙකකට අදාළව මාස 6 බැගින් එකවර ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය 2018 වසරේ ජුනි 14 වෙනිදා තීන්දු කළේය.
එක්නැළිගොඩ ඇතුළු අතුරුදහන් වූ සහ ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වෙන පරීක්ෂණ කඩිනම් කර වරදකරුවන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරන බව 2015 ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨයක් විය.
අදාළ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය එදින කියා සිටියේ "ජනාධිපතිවරයාට බොහෝ දේවල් අමතක වෙලා තිබෙනවා. ඇයි ඔහු මේ තැනට ආවේ කියලා අමතක වෙලා. එතුමාත් නොදන්නා දින සියයේ වැඩසටහන ඇතුලේ ප්‍රගීත්ගේ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතට පත්වීම ගැන මම සතුටු වෙනවා." යනුවෙනි.
ඥානසාර හිමි බැහැ දැකීමට රවී හා සාලි යති : මැදගොඩ හිමිත් එති
බන්ධනාගාර ගතව වැඩ සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් බැහැ දැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙසක් පොහෝදා (18) බන්ධනාගාර රෝහල වෙත ගොස් උන්වහන්සේ සමග රහස් සාකච්ජාවක් ද පවත්වා තිබිණ. ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු හා ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.
මේ අතර අමාත්‍ය රවී කරුණනායක හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් අද (22දා) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය රෝහල වෙත ගොස් උන්වහන්සේ බැහැදුටු අතර ඒ අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයකු ලෙස කටයුතු කරන පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනාධිපති පුජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන්ද එක්ව සිටියහ.
එම පිරිස හා පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අතර දීර්ග වේලාවක් සාකච්ජාවක් පැවති බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
සිර දඬුවම සාධාරණද නැත්ද? - රවිට ප්‍රශ්නයක් !
එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රවි කරුණනායක මහතා සඳහන් කළේ උන්වහන්සේට ලබාදී ඇති සිර දඬුවම සාධාරණද නැත්ද යන්න පිළිබඳව සිතා බැලිය යුතු බවයි.
"අපි දන්නවා ඥාණසාර හිමියන් සම්බන්ධව ඇතිවී තිබෙන ගැටළුව. එම ගැටළුව නිරාකරණය කළයුතුයි. ඒ හිමියන්ට ලබාදී ඇති දඩුවම් සාධාරණද නැද්ද කියලා සිතා බැලිය යුතුයි. අසාධාරණ තත්ත්වයක් ඇති වුණොත්, මේ තිබෙන ගැටළුව තවත් බැරෑරුම් වෙනවා.
අපි නිතරම සැබෑ තත්ත්වය තේරුම්ගෙන ක්‍රියාකළ යුතුයි. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නය ආසන්නයේම තිබෙන වෙනත් කාරණයක් ඉලක්ක කරගෙන, ඒ සාධකයට ප්‍රශ්නයක් ඇතිකරගෙන දගලනවා. වැඩ කරන කෙනාට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා මේ රටේ. ඔවුන්ට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේකම තමයි මටත් ඇතිවෙලා තිබෙන ගැටළුව”
(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)
සබැඳි පුවත් :



