ඔහුට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බවත් ඒ අනුව අද (03) දිනය ඇතුලත බදියුදීන් ඇමතිවරයා ඉල්ලා අස්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුයේ ජනාධිපතිවරයා විසින් එවැනි ඉල්ලීමක් මෙතෙක් සිදුකර නැති බවයි.
මෙම කාරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බදියුදීන් ඇමතිවරයා මෙසේද පැවසිය.
'' මම කිසිම දවසක අන්තවාදීන්ට උදව් කරලා නැහැ. උදව් කරන්නෙත් නැහැ. ත්‍රස්තවාදය අනුමත කර නැහැ. අපි ත්‍රස්තවාදයට එකහෙලා ම විරුද්දයි. ISIS ත්‍රස්තවාදය සහමුලින්ම අතුගා දැමිය යුතුයි කියලා අපි ප්‍රසිද්ධියේම කියනවා. කියලා තියනවා. ඒ සඳහා ආරක්ෂක හමුදාවන්ට සහය දෙනවා. අපි, විශේෂයෙන් මම වගේ මුස්ලිම්වරුන් පසුගිය උතුරේ ත්‍රස්තවාදයෙන් වසර ගණනාවක් බැටකාපු අය.
මම කිසියම් වරදක් කරලා තියනවා නම්, රටේ පවතින නීතියට අනුව ඕනෑම දඬුවමකට යටත් වෙන්න සුදානම්. එහෙම
නැතුව දේශපාලන උවමනා මත මාව ඉවත්කරන්න බලපෑම් කරනවා නම්, ඒ බලපෑම් වලට යටත් වෙන්න අපි සුදානම් නැහැ.
දැන් මට විරුද්දව ඒකාබද්ධ විපක්ෂය, පොහොට්ටුව විශ්වාස භංගයක් ගෙනත් තියනවා. එක විවාද කරන්න දැනටමත් දින ලබාදීලා තියනවා. තේරීම් කාරක සභාවක් පත් කරලා තියනවා. මම දැනටමත් ඒ තේරීම් කාරක සභාවට දැනුම්දීලා තියනවා මාවත් එකට කැඳවන්න කියලා. එතකොට ඔය සියලු චෝදනා වලට මගේ පැත්තෙන් නිදහසට කරුණු කියන්න මම සුදානම්. ඉතින් මම එහෙමත් කටයුතු කරලා තියෙද්දී මෙහෙම අනිසි බලපෑම් බලපෑම් කිරීම සාධාරණ ද ? අපි අයෙත් කැලැ නීතියට යටත් වෙන්න ඕනද ?
මෙහෙම ගහන්නේ ඇයි ?
ඇත්තටම මාව ඉලක්ක කර ගනිමින් මෙහෙම පහර දෙන්නේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ රාජපක්ෂවරු හදපු ආණ්ඩුවට එක්වෙන්නැයි කළ ඉල්ලීම මම ප්‍රතික්ෂේප කරපු නිසා. ඒ ආණ්ඩුවට එක්වන ලෙස මට දිගින් දිගටම බලපෑම් ආවා. අපි සියලුදෙනා යෝජනා ප්‍රතික්ෂේප කලා. අද මට පහරදෙන්නේ එනිසා.
මම මෙරටේ සිංහල සමාජයෙන් එක ඉල්ලීමක් කරනවා. මා ගැන ද්වේශයෙන් බලන්න එපා. මම වරදක් කරලා නැහැ. එබව පාර්ලිමේන්තුවේදී ඔප්පුකරන්න මම සුදානම්. මම අහල තියන විදියට බුදු හාමුදුරුවෝ කියල තියනවා කව්රුවත් කිව්වා පලියට විශ්වාස කරන්න එපා කියල. ඔබම විමසා බලා තීන්දු තීරණ ගන්න කියලා. ඒ නිසා පොහොට්ටු පක්ෂයේ උදවිය හරි ඔවුන්ට උදව් කරන වෙනත් අය කියන කතා විශ්වාස කරලා මා ගැන තීන්දු තීරණ ගන්න එපා.
අපි වගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්න මුස්ලිම් නායකයින් මේ රට අතහැරලා ගියොත් මොකද වෙන්නේ. එක අන්තවාදීන්ගේ ත්‍රස්තවාදීන්ගේ ජයග්‍රහණයක් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී දෙමල නායකයින් පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමේ පලවිපාක අපි ඇස්පනාපිට දැක්කනේ. අයෙත් ඒවගේ තත්වයකට රට යායුතු නැහැ.
මේක ඔබෙත් මව්බිම. මගෙත් මව්බිම. මම වරදක් කර තියනවා නම් නිතිය අනුව ඕනෑම දඬුවමක් විදින්න මම සුදානම්. මා ගැන කිසියම් හෝ චෝදනාවක් තිබේනම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දැනුම් දෙන්න. ආරක්ෂක අංශවලට දැනුම් දෙන්න. එත් කිසිම වරදක් නොකර, බලපෑම් වලට යටත්වෙලා තීන්දු තීරණ ගන්න මම සුදානම් නැහැ. කැලැ නීතියට යටත්වෙන්න අපි සුදානම් නැහැ. ඒ නිසා අද මම ඇමතිකමෙන් අස්වෙන්නේ නැහැ ...'' ඔහු දැඩිලෙස පැවසිය.



