ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (20) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික්ක කාර්යාලයේ පැවැති එජාප ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ විශේෂ රැස්වීමක් ඊයේ (20) උදෑසන ගාල්ල, උළුවිටිකේ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්වුණා.
මෙහිදී දිස්ත්‍රික්කය තුළ නව දිස්ත්‍රික් කමිටු සෑදීම පිළිබඳවත් ඒ හරහා පක්ෂ යාන්ත්‍රණය ඉදිරියට ගෙන යාම පිළිබඳවත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් සහ ක්‍රියාකාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන...
තීරණ ගත යුත්තේ ඊට වගකිව යුතු ප්‍රධානම අය එකට එකතුවෙලා
''මේ මූලික රැස්වීමෙන් අනතුරුව අපි ඉදිරියේ දී මෙවැනි රැස්වීම් ආසන මට්ටමින් පවත්වන්නත් කටයුතු සූදානම් කරගෙන යනවා. ඒ වගේම මම මෙතනට ආපු අවස්ථාවේ ව්‍යසනයෙන් පස්සේ රටේ තත්ත්වය මොන වගේද කියලා මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. මම මේ ගැන කලිනුත් ප්‍රකාශ කිහිපයක්ම ඉදිරිපත් කරලා තිබෙනවා. මොකද ලංකා ඉතිහාසයේ ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරවලින් පටන් ගත්තම 1977න් පස්සේ විශාල ජලාශ ප්‍රමාණයක් ලංකාව තුළ ඉදිකර තිබෙනවා. ඒ කාල තුළදිත් මේ ගංවතුර තත්ත්ව ලංකාව තුළ ඇති වෙලා තිබෙනවා. නමුත් එම අවස්ථාවලදී නිසි ආකාරයට ජල පාලනය කිරීම සිදුකර තිබෙනවා.
උදාහරණයක් විදිහට ගත්තොත් මහවැලියේ තිබෙනවා, ජල පාලනය කරන ඒකකයක්. වාරිමාර්ගයෙත් තිබෙනවා ජල පාලනය කරන ඒකකයක්. ඒ වගේම විදුලි බල අංශයෙත් වෙනම ජල පාලන ඒකකයක් තිබෙනවා. මේ ආයතනවල සිටින කිසිම සේවකයෙකුට මේ පිළිබඳ වගකීමක් පැවරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ජල කළමණාකරනය ඒ ඒ අයට තනියම ගන්න පුළුවන් තීරණයක් නොවීම. මහවැලියට ඒ තීරණය තනියම ගන්නත බැහැ. වාරිමාර්ගයට ඒ තීරණය තනියම ගන්නත් බැහැ, විදුලිබල අංශයට ඒ තීරණය තනියම ගන්නත් බැහැ. එසේනම් ඒ තීරණ ගත යුත්තේ මෙවැනි තත්ත්වයක් ඇති වන බව දැනගත්තම ඊට වගකිව යුතු ප්‍රධානම අය එකට එකතුවෙලා.
මේ කණ්ඩායම් සියල්ලම එකට කැඳෙව්වොත් මහවැලිය කියයි අපිට කුඹුරු කරන්න තියනවා කියලා. විදුලිබල අංශය කියයි අපිට විදුලිය දෙන්න තිබෙනවා කියලා. වාරිමාර්ගය තවත් හේතු කියයි. මෙවැනි අවස්ථාවක ඒ ගැන තීරණයක් ගන්න තමයි රජයේ ඒ අදාළ විෂය බාර ප්‍රධානීන් ඉන්නේ.
ආපදා පාලනය කිරීමට ඒකක කිහිපයක් ම ක්‍රියාත්මක විය යුතු යි
අපි උදාහරණයකට ගාල්ල දිස්ත්‍රික්කය අරන් බලමු. මේ දිස්ත්‍රික්කය තුළ මෙවැනි ආපදා තත්ත්වයක පුරෝකතනයක් ලැබුණු ගමන් දිසාපති කාර්යාලයේ දී දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය නිලධාරීන් මුණ ගැසෙනවා. නමුත් අපි මේ මුණගැසෙන අවස්ථාවේ දී දිස්ත්‍රික්කයට වර්ෂාව බලපාලා නැහැ. එහෙම නැත්තම් ගංවතුර තත්ත්වයක් ඇති වෙලා නැහැ. වැස්සට පස්සේ අපි මුණගැසෙන එක නෙමෙයි කරන්න ඕන. මෙවැනි තත්ත්වයක් පිළිබඳ කාළගුණ වාර්තා ලැබුණු විට කල්වේලා ඇතිව මූණ ගැසී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගත යුතුව තිබෙනවා. ඉතින් අපි ඒ මුණගැසුනු අවස්ථාවල දී මම උපදෙස් ලබාදෙනවා අම්බලන්ගොඩ, බලපිටිය, එහෙම නැත්තම් ගාල්ලේ ඉන්නේ ධීවර ප්‍රජාවට කියනවා ඔබ සතුව ඇති ධිවර බෝට්ටු උඩුගමින් එහාට ගෙනිහින් තියන්න කියලා. කලින්ම අපි මේ දේ කළේ නැතිනම් ආපදාවක් ඇති වුනාම මේ බෝට්ටු අරන් යන්න බැහැ. මේ දිස්ත්‍රික්කයේ නම් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් හදිසි අවස්ථාවක භාවිතා කිරීම සඳහා බෝට්ටු ලබාදී තිබෙනවා.
ඉතින් මේ ආකාරයට ආපදා පාලනය කිරීමට ඒකක කිහිපයක්ම ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. ජල පාලනයටත් එසේමයි. අපි ගන්න තීරණවලට ඇතැම් අය අපිව විවේචනය කරනවා. සමහර අය බණිනවා. නමුත් අපිට මේ සියල්ලට ම වඩා වටින්නේ මහජනතාව ගේ ජීවිතයි. අපිට බැනුම් අහන්න බැරිනම් මහජනයා ආරක්ෂා කරන්න බැහැ. ඉතින් පසුගියදා ඇති වුණු ආපදාවෙදීත් අපිට පේන්නේ මේ ජල පාලනය හරියට සිදුවුණේ නැහැ.
මහා පරාක්‍රම බාහු රජතුමා ඇතුළු වැව් ඉදි කළ රජවරු වැරැදි ද...?
දැන් මේ ආණ්ඩුවේ අයට අලුත් ජලාශ නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔවූන්ට තිබුණු මේ හදලා තිබෙන ජලාශවල ජලය පාලනය කිරීම පමණයි. නමුත් මේ අයට එය කිරීමට අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් කවුරු හරි කියනවනම් මේ ව්‍යසනය ඇති වුණේ ජලාශ හදපු නිසා කියලා, අන්තිමට වැරදි කාරයෝ වෙන්නේ මහා පරාක්‍රම බාහු රජතුමා ඇතුළු අපේ රටේ වැව් ඉදි කළ රජවරු තමයි. ජේ. ආර්. ජනාධිපතිතුමත් ජලාශ 20 ක් 25 ක් පමණ රට තුළ ඇති කළා. නමුත් මේ අයට ඒ ජලාශවල ජලය පාලනය කරගැනීමටවත් නොහැකි වුණා. කොහොම නමුත් දැන් ඒ දේ වෙලා ඉවරයි. අපි නැවත නැවත ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් ඉදිරි ක්‍රියාමාර්ග හෝ නිසියාකරයෙන් ගත නොගතහොත් මහජනයාට නුදුරේ දී ම විශාල ඛේදවාචකයකට මුහුණදෙන්නට සිදුවේවී.
ප්‍රශ්නය: -
පළාත් පාලන ආයතනවල අයවැය ඉදිරිපත් කිරීම් මේ දිනවල සිදුවෙනවා. බහුතරයක් ආයතන බලය හිමි මාලිමාව පරාද වෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර: -
මේ වෙලාවේ පාර්ලිමේන්තු ඡන්දයක් තිබ්බොත් පාලන බලයේ ඉන්න කණ්ඩායමට ආසන 25ක්වත් හොයා ගන්න වෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. අපි හිතන්නේ මෙහි ප්‍රධාන ගැටලුව තමයි බොරු කීම. අපි අහලා තියනවා අපේ ජනප්‍රවාද කතාවල බොරු කිව්ව අවස්ථාවල මහපොළොව පැළුණා කියලා. මේ උනෙත් එහෙම දෙයක්ද කියලා දැන් නම් සාධාරණ සැකයක් තිබෙනවා.
ප්‍රශ්නය: -
ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් යළි කතාවක් ඇති වෙලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේ හිටියනම් හොඳයි කියලා. ඒ වගේම කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා නැති පාර්ලිමේන්තුව විදුහල්පති නැති පාසලක් වගේ කියලත්. එතුමා නැවත පාර්ලිමේන්තු එනව ද?
පිළිතුර: -
වැටිච්ච රට ගොඩගන්න ක්‍රියාදාමය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් වගේම දේශීයවත් ඒ දැනුම තිබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිතිතුමාට. එතුමා හදපු පාරේ මේ ළමයි යනවා. මේ ළමයින්ට ඉතින් වෙන දෙයක් ගැන අවබෝධයක් නැහැ. නමුත් එතුමා හදපු පාරේ නෙදැන ගියොත් විශාල කරදර ගොඩකට මුහුණ දෙන්න සිදුවේවී. ඉතින් මෙවැනි තත්ත්වයක් උඩ අපි හිතුවේ ලබන දෙසැම්බර් මාසය පමණ වනවිට රට අර්බුදයකට ගමන් කරයි කියලා. නමුත් දැන් නම් ඊට කලින් එවැනි අර්බුදයකට මුහුණදෙන්නට සිදුවෙයි කියලා අපිට පෙනෙන්නට තිබෙනවා.
ප්‍රශ්නය: -
ඒ වගේම සභාපතිතුමා අපි දැක්කා පහුගිය දවසක ප්‍රවෘත්තියක් පළ වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා යූඑන්පියට සහ සජබය එකතු වීමට බාධාව තමා නම් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්නම් කියලා.
පිළිතුර: -
එක එතුමාගේ අදහසක්. එතුමාට එවැනි අදහසක් ප්‍රකාශ කිරීමට අයිතිය තිබෙනවා. නමුත් එය තීරණය කරන්න පක්ෂය විසින් සහ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්.
ප්‍රශ්නය: -
ඒ වගේම අපි දැක්කා ඊයේ ආපදා තත්ත්වය කළමණාකරණය කරගැනීම සඳහා මුදලක් ජාත්‍යන්තරය විසින් ලංකාවට ලබා දී තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර: -
වෙලා තිබෙන හානිය ගණනය කළොත් මේ ලැබිලා තිබෙන්නේ දශම ගණනක ප්‍රමාණයක් පමණයි.
ප්‍රශ්නය: -
ඒ වගේම සභාපතිතුමා ඊයේ අපිට වර්තාවුණු ප්‍රධාන සිදුවීමක් තමයි වෛද්‍ය බෙල්ලන මහතා ගේ වැඩ තහනම් කිරීම, ඒක ගැන ඔබතුමා ගේ අදහස කුමක්ද?
පිළිතුර: -
ඔව් මම ඒ කාරණාව මාධ්‍ය හරහා දැක්කා. එතුමාට ලබාදුන්න වැඩ තහනම් කිරීමේ ලිපියේ සඳහන් වෙනවා ''වගකිව යුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ඉදිරිපත් කිරීම''
මමනම් විශ්වාස කරන්නේ නෑ මේක වැඩ තහනම් කරන්න ඕන සිද්ධියක් කියලා. මමත් රාජ්‍ය පරිපාලන ඇමතිවරයා විදිහට කටයුතු කරලා තිබෙනවා. මේක වැඩ තහනම් කරන්නවත්, විදේශගත වීම වළක්වන්නවත් සුදුසු ක්‍රියාවක් නෙමෙයි. ලොකු හිඟ මුදලක් එක්ක නැවත එතුමා සේවයට වාර්තා කරයි.
මේක දිහා බැලුවම මට තේරෙන්නේ, එතුමා රනිල් වික්‍රමසිංහ නායකතුමා රෝහලේ ඉන්නකොටත් ප්‍රකාශ කිහිපයක් ඉදිරිපත් කළා. මේ ගැන අපි හොයලා බැලුවොත් ලෝකයේ රාජ්‍ය නායකයෝ රෝහල් ගත වුණාම, උදාහරණයක් විදිහට ද. කොරියාවේ වෙන්න පුළුවන්, එංගලන්තයේ වෙන්න පුළුවන්, එහෙම නැත්තම් ඉන්දියාවේ වෙන්න පුළුවන් ඒ රෝහලේ ඉන්න අධ්‍යක්ෂකවරු එහෙම නැත්තම් වෛද්‍ය ප්‍රධානීන් මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරනවා. ඒක වැදගත්. මම හිතනවා ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවාවල මෙවැනි තත්ත්ව පිළිබඳ වාර්තා නැවත වරක් බැලුවනම් මේ ප්‍රශ්නය අවසන් කරන්න තිබ්බා.
ප්‍රශ්නය: -
ඒ වගේම බාල බෙහෙත් පිළිබඳ ප්‍රශ්නයක් නැවත මතු වෙලා තිබෙනවා. මේ කාරණය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
පිළිතුර: -
ඒ ගැන දැන් අධිකරණ ක්‍රියාවලියක් පැවැත්වෙනවා. බාල බෙහෙත් එහෙම නැතිනම් කල් ඉකුත් වූ බෙහෙත් තිබෙනවා නම් ඒවා අල්ලන්න ඕන.
ප්‍රශ්නය: -
මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ තනතුරක් දරන නිලධාරියෙක් ප්‍රකාශ කරනවා මේ සිදුවීමට විෂය බාර ඇමති වගකියන්න ඕන නැහැ කියලා. ඒ ගැන අදහසක් තිබෙනවද?
පිළිතුර: -
බෙහෙත් විතරක් නෙමෙයි, කන බොන ඕනෑම ආහාරයකට තිබෙනවා කල් ඉකුත් වීමේ දිනයක්. කල් ඉකුත්වන දිනයෙන් පසසේ ඒවා වෙනත් විදිහකට අලෙවි වෙනවා නම් ඒවා නීති විරෝධීයි. එවැනි බෙහෙත් ගැන සොයලා අත්අඩංගුවට අරන් මහජනයා ආරක්ෂා වන ආකාරයට ක්‍රියා කළ යුතුයි.
ප්‍රශ්නය: -
ඒ වගේ අගමැතිතුමිය ප්‍රකාශ කරලා තිබෙනවා පළාත් සභා ඡන්දයය ඉක්මනින් පවත්වනවා කියලා?
පිළිතුර: -
මොන මැතිවරණයක් පැවැත්වුවත් මේ වෙලාවේ උත්තරය හම්බවෙනවා. වඩාත්මම සුදුසු හොඳම වැඩේ තමයි මේක පරීක්ෂා කරන්න පාර්ලිමේන්තු ඡන්දයක් පවත්වන එක. එතකොට හරි ගාණ ගණන් කරගන්න පුළුවන්.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්, පක්ෂ ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් පිරිසක් සහභාගීව සිටියහ.




