එමෙන්ම පරීක්ෂණ සඳහා යොමු කරන එන්නත් සාම්පල නිසි ප්‍රමිතියෙන් ගබඩා කර තිබූ බවට සහතික වීම මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් බව ද අදාළ ලිපියේ සඳහන් වේ.
මේ අනුව භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
වමනය සහ ඊට අදාළව මතුවන සංකූලතා සමනය කිරීම සඳහා රෝගීන්ට ලබාදෙන ඔන්ඩැන්සෙට්‍රෝන් නම් එන්නතේ ඉන්දීය සමාගමක් විසින් නිෂ්පාදනය කරන කාණ්ඩ 4ක් වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ සහ පෞද්ගලික රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබුණේ පසුගිය 13 වැනිදාය.
ඒ, එම එන්නත සම්බන්ධයෙන් මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීවී වෛද්‍ය අංශය සිදුකළ මූලික රසායනාගාර පරීක්ෂාවකදී විෂබීජ අන්තර්ගත බවට සැකයක් මතුව තිබීම හේතුවෙනි.
කොළඹ අයි.ඩී.එච්. රෝහලේ රෝගීන් දෙදෙනෙකු පසුගියදා මියගොස් තිබූ අතර ඔවුන්ගේ ප්‍රතිකාර චක්‍රය තුළදී එම එන්නත ලබාදී තිබූ බව රෝහල් බලධාරීන් විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුවත් කර තිබේ.
මරණවලට මෙම එන්නතෙන් බලපෑමක් එල්ලවී තිබුණාද නැද්ද පිලිබඳ විමර්ශනයක්
එම මරණවලට මෙම එන්නතෙන් බලපෑමක් එල්ලවී තිබුණාද නැද්ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසිය.
මියගිය රෝගීන් දෙදෙනා අතරින් අයෙක් හෝමාගම හබරකඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇයගේ අවසන් කටයුතු පසුගිය 12 වැනිදා සිදු කර තිබිණ.
තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක්
මේ අතර අදාළ එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාර්මසූටිකල් පෞද්ගලික සමාගම මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බලධාරීන් වෙත ලිපියක් එවා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේය.
එම ඖෂධය සම්බන්ධයෙන් සිය රසායනාගාරයේ මේ වනවිටත් පරීක්‍ෂණ සිදුකරමින් ඇති බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේය.
එමෙන්ම අදාළ ඖෂධය ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයකින් පරික්‍ෂා කරන ලෙසට එම ඖෂධය නිෂ්පාදනය කළ ඉන්දීය සමාගමද ඉල්ලීමක් කර ඇති බවද ඔහු පැවසිය.
මෙම ඖෂධය අලලා ඇතැම් පාර්ශව ජනතාව නොමග යැවීම සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අදහස් පළ කළේය.
අදාළ ඉන්දීය සමාගමෙන් මෙරටට ආනයනය කරනු ලබන අනෙකුත් එන්නත් වර්ගද මෙරට තුළ භාවිතය තාවකාලිකව අත්හිටවූ බවයි ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




