විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල අනුර, හරිනි ඇතුළු ජාජබ නායකයින් වරින්වර බොරු පොරොන්දු දුන්නත්, තව අවුරුද්දකින් විතර ජනමත විචාරණයක් තියල අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගන්න තරම් ජනමතයක් අවුරුද්දකින් නෙවෙයි මේ මොහොතේවත් තමන්ට නැති බව ආණ්ඩුව දන්නවා.
කොටින්ම අනුර ගේ හොඳම මිත්‍රයා බව පැවසෙන, මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය කියන්නෙත් අනුරගේ බලාපොරොත්තුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නෙවෙයි, තවත් වතාවක් ජනපතිවරණයට තරග කිරීම කියල. ලංකාවේ ආයෙත් ජනපතිවරණයක් නෑ කියල ජනපතිවරණය දිනපු ගමන්ම සුනිල් හඳුන්නෙත්ති කියපු කතාවෙන් පස්සේ වුණත් එහෙම දෙයක් ක්‍රියාවට නැගෙන බවක් පෙනුණේ නෑ.
මැතිවරණ ව්‍යාපාරයේදී පවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන පොරොන්දුව ජාජබ මැතිවරණ වේදිකාවෙන් ප්‍රබලව මතු නොවුණ බව මහාචාර්ය අජිත් කරුණාරත්න එක්ක කරපු සාකච්ඡාවේදී පවා මම මතුකරපු කරුණක්.
විරුද්ධ පක්ෂයේදී විධායක ජනාධිපති ගේ බලතල සීමා කරන ස්වාධීන කොමිෂන් සභා වෙනුවෙන් දැඩිව පෙනී හිටපු අනුර, කොටින්ම 17 වෙනි සංශෝධනය ඉදිරිපත් කිරීමට දායක වුණ අනුර, පදවියට පත්වුණාට පස්සේ ඒ ස්වාධීන කොමිෂන් සභා ගැන අනුගමනය කරන්නෙත් ඒ වගේ දෙබිඩි ප්‍රතිපත්තියක්.
තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව සම්බන්ධයෙන් සහ විධායක ජනපති බලතල සීමාකරන ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන්, පදවියට පත්වුණාට පස්සේ අනුර දක්වන ආකල්පය මේ දෙබිඩි පිළිවෙත ගැන හොඳම උදාහරණ.
රාජපක්ෂලාගේ දැඩි විරෝධය හමුවේ පවා (කරු ජයසූරිය මන්ත්‍රීතුමා මුලින්ම පනත ඉදිරිපත් කළාම රාජපක්ෂ පාලනය ඒක න්‍යාය පත්‍රයටවත් දැම්මේ නෑ) තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීම ලංකාවේ පුරවැසියන් ලබාගත්ත අති විශේෂ ජයග්‍රහණයක්. මාධ්‍යවේදීන් හැටියට අපි බොහෝ දෙනෙක් වගේම, රටේ දහස් සංඛ්‍යාත පුරවැසියනුත් මේ වෙනකොට මේ පනතින් බොහෝ යහපත් ප්‍රතිඵල ලබාගෙන තියන බව නොරහසක්.
නමුත් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති ඉල්ලා අස්වුනාම, ජනාධිපති අනුර මාස ගාණක් ඒ පුරප්පාඩුව පිරෙවුවේ නැහැ. ජනාධිපති කාර්යාලය ගැන ඉල්ලපු තොරතුරු දීම ප්‍රතික්ෂේප කළා. ඒ මදිවට පනතට පටහැනි විදියට අයදුම්පත් කැඳවල මාස ගාණකට පස්සේ නුසුදුසු පුද්ගලයෙක් සභාපති පදවියට පත් කළා. ඒ අතරේම දකුණු ආසියාවේ හොඳම පනතක් විදියට බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වෙච්ච තොරතුරු දැනගැනීමේ පනත සංශෝධනය කළ යුතුයි කියල ආණ්ඩුව පැත්තෙන් යෝජනා/ප්‍රකාශ මතුවුණා.
ඒ අතරේ තමයි, ස්වාධීනව තමන්ගේ කටයුතු කරගන්න ප්‍රමාණවත් තරම් කාර්ය මණ්ඩලයක් සහ මූල්‍ය ප්‍රතිපාදන නැති බවට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ.
මේ ගැන ප්‍රබල අවධානය යොමුකරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මෙවැනි දුෂ්කරතා මධ්‍යයේ වුවත් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව මෙතෙක් කලක් කරගෙන ආ ආකාරයටම ස්වාධීනව සහ නිසි පරිදි සිය වගකීම ඉටුකිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන්න කියල මුදල් ඇමතිවරයාත් වන ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ වගේම, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14A ව්‍යවස්ථාව යටතේ සහතික කරල තියන පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාවන ආකාරයේ කිසිදු සංශෝධනයකට තමන් දැඩිව විරුද්ධ බවත් නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. එවැනි ඕනෑම ආකාරයක සංශෝධනයක් සිදු කළ යුත්තේ තමන් සහ රටේ ජනතාව සමග කරන පූර්ණ සංවාදයකින් අනතුරුව බව නීතිඥ සංගමය අවධාරණය කරනවා.
ඒකාධිපතිවාදයට විරුද්ධව සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දශක ගණනාවක් පාරට බැහැල හඬ නගපු පක්ෂයක් බලයේ ඉන්න අවස්තාවක - ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න එපා කියල, ප්‍රජාතන්ත්‍රවාදයට වැට බඳින්න එපා කියල - රටේ සමස්ත නීතිඥ ප්‍රජාව නියෝජනය කරන සංගමයට මේ වගේ නිවේදනයක් නිකුත්කරන්න සිදුවීමත් ඇත්තෙන්ම හරිම කණගාටුදායක තත්වයක්.
අනුර ඇතුළු ආණ්ඩුව ඉක්මනින්ම මේ පසුගාමී චින්තනයෙන් බැහැර නොවුණොත්, ඒකෙ ප්‍රතිඵලය ආණ්ඩුවට වගේම රටටත් බොහෝ හානිදායක වෙන්න ඉඩ තියෙනව.
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(උපුටා ගත්තේ Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 දෙසැම්බර් 20




