ඇතිවූ ගංවතුර සහ නාය යෑම් තත්ත්වයන්ගෙන් මෙරට ගොඩනැගිලිවලට සහ එහි අන්තර්ගතයන්ට, කෘෂිකර්මාන්තයට, තීරණාත්මක යටිතල පහසුකම් වලට සිදුව ඇති සෘජු භෞතික හානිය ඇමරිකානු ඩොලර් කෝටි හාරසිය දහයක් (මෙරිකානු ඩොලර් බිලියන 4.1ක් ) බවට ඇස්තමේන්තු කර ඇති බව ලෝක බැංකුව පවසයි.
ලෝක බැංකු සමූහය විසින් අද (22) දින ප්‍රකාශයට පත් කරන ලද Global Rapid Post-Disaster Damage Estimation (GRADE) වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 4%ක ප්‍රමාණයකට සමාන වනු ඇති බවයි.
මෙම වාර්තාවට අනුව වැඩිම හානිය මධ්‍යම පළාතෙන් වාර්තා වන අතර එය ඩොලර් මිලියන 689ක් ලෙසින් ඇස්තමේන්තු කර ඇත.
එසේම මාර්ග, පාලම්, දුම්රිය මාර්ග හා ජල සම්පාදන පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලට වූ හානිය ඩොලර් බිලියන 1.735ක් ලෙසින් ගණනය කර ඇති අතර එය සමස්ත හානියෙන් 42%ක ප්‍රමාණයකි.
ලෝක බැංකුව පවසන පරිදි නේවාසික ගොඩනැගිලිවලට මෙම දිට්වා ව්‍යසනයෙන් සිදුව ඇති හානිය ඩොලර් මිලියන 985කි.
මේ අතර වී, එළවළු, වෙනත් වාණිජ භෝග, පශුසම්පත් හා වෙනත් යටිතල පහසුකම් ඇතුළුව කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සිදුවී ඇති හානිය ඩොලර් මිලියන 814ක් ලෙසින් වාර්තා වේ.
මේ අතර රෝහල්, පාසැල්, ව්‍යාපාරික ස්ථාන, මහාපරිමාණ කර්මාන්තශාලා ආදිය ඇතුළු නේවාසික නොවන ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 562 ක් ලෙසින් ගණන් බලා ඇත.




