The Leader News
BREAKING
Top Ad
පුවත්

කලාශූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ දිවි ගමනට සමුදෙයි !

T

The Leader Desk

December 23, 2025 • 3:44 AM

කලාශූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ දිවි ගමනට සමුදෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය.
  • මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි.
  • ඒ සියල්ලම අභිබවමින් මිනිසත්කම පෙරටු කරගත් ඔහු මානව හිතවාදී මිනිසෙකු විය.
  • පැටිකිරිගේ එදිරිසිංහ හා උස්හෙට්ටිගේ එළිසබෙත් පෙරේරා යුවලට දාව ඔවුන්ගේ කුළුඳුල් දරුවා ලෙස 1941 පෙබරවාරි 11 වන දින උපන් ඔහු නම් ලබන්නේ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ යනුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):


අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය.

මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි.

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි.

ඔහු වේදිකාව, සිනමාව, පුංචි තිරය ජයගත් ප්‍රශස්ත රූපනවේදිකු සේම, වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු, තිරපිටපත් රචකයෙකු හා ග්‍රන්ථ කතුවරයෙකු ද විය. ඒ සියල්ලම අභිබවමින් මිනිසත්කම පෙරටු කරගත් ඔහු මානව හිතවාදී මිනිසෙකු විය.

ඔහු පිළිබඳව කෙටියෙන්..

පැටිකිරිගේ එදිරිසිංහ හා උස්හෙට්ටිගේ එළිසබෙත් පෙරේරා යුවලට දාව ඔවුන්ගේ කුළුඳුල් දරුවා ලෙස 1941 පෙබරවාරි 11 වන දින උපන් ඔහු නම් ලබන්නේ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ යනුවෙනි. ඔහුට බාල සොයුරු සොයුරියන් හත් දෙනෙකු විය.

කැළණිය, වරාගොඩ රජයේ පිරිමි පාසැලට ප්‍රථමව ඇතුලත් කල  ඔහු , පසුව කැලණිය , වරාගොඩ ශ්‍රී ධර්මාලෝක මහ විද්‍යාලය , ඇල්පිටිය ශාන්ත මරියා විදුහල , කොළඹ , මරදාන ස්ටැෆර්ඩ් විද්‍යාලය සහ මාලිගාකන්ද විද්‍යේදය පිරිවෙන තුලින් අධ්‍යාපනය හැදෑරීය.

සහජයෙන් උපන් කලාව තම සිරුර තුල සඟවාගත් ඔහු , ප්‍රථම රැකියාව ලෙස ලෙස 1965 වර්ෂයේදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ලිපිකරු සේවයට එක්විය. පසුව එහි ශාලිකා ශාලාවේ කළමනාකරු බවට පත්විය.

පසු කලෙක එයින් ඉවත් වූ ඔහු 1973 වසරේදී මහවැලි අධිකාරියේ මධ්‍ය උපදේශකත්වය දරමින්, එහිම සංස්කෘතික කටයුතු පිළිබඳව කළමනාකරු ලෙස 1987 දක්වා සේවය කිරීමෙන් අනතුරුව, වාරිමාර්ග හා ජල කළමණාකරණ අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු පිළිබඳව උපදේශක තනතුරට පත්විය.

ශ්‍රියා කාරියප්පෙරුම මහත්මිය සමගින් විවාහ වූ ඔවුනට පුතුන් දෙදෙනෙකු හා එක් දියණියෙකු විය.

සිනමාව

1966 වසරේදී සම්පත චිත්‍රපටයේ රඟපාමින් රංගනයට එක්වූ ඔහු සැඩොල් කඳුළු, හරි මග, සිදාදියෙන් හයක් , පූජිතයෝ , මාතර ආච්චි ,  රජ ගෙදර පරවියෝ , ගැහැණු ළමයි, පොඩි මල්ලි , අධිෂ්ඨාන , කරාටේ ජෝ, වදුල ,හිමකතර, රෝසි, කොටි වලිගය , ක්‍රිස්තු චරිතය , මුවන් පැලැස්සේ කදිරා , ජයග්‍රගණය, සුජාතා (නව) , බිතුසිතුවම් , තරණය, දොරකඩ මාරාව , සුරඟන යහන , උණ්ඩය , වැකන්දේ වලව්ව , කන්‍යාවි , ඉර හඳයට, සිහින සරුංගල්  සහ හොස්ටේජස්( ඔස්ට්‍රේලියාව) , ද සන් ඔෆ් ද සැනඩොකානෝ(ඉතාලිය), මදර් තෙරේසා ඔෆ් කල්කටා(ඉතාලිය) යන ජාත්‍යන්තර චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය දැක්වීය.

අධ්‍යක්ෂණය කල චිත්‍රපට

මාතර ආච්චි (1973) රජ ගෙදර පරවියෝ (1975) ශ්‍රී මදාරා(1977) සතර දිගන්තය (1981) අධිෂ්ඨාන (1982) වදුල(1984)

මාතර ආච්චි සහ අධිෂ්ඨාන චිත්‍රපට නිෂ්පාදනය කල ඔහු සතර දිගන්තය චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයා විය.

මාතර ආච්චි , රජගෙදර පරවියෝ , ශ්‍රී මදාරා ඔහුගේ තිර රචනයන් වේ.

දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවක් ඇසුරෙන් හුලවාලි චිත්‍රපටය සඳහාද ඔහු විසින් තිර පිටපත ලියනලදි.

සිනමාව වෙනුවෙන් ලැබූ සම්මාන

අධිෂ්ඨාන චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා ජර්මනියේ මෑන්හයිම් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ඩිප්ලෝමා සහතිකය(1982) , හිමකතර චිත්‍රපටයේ රංගනය සඳහා සරසවි සම්මාන උළෙලේ හොඳම සහය නළුවාට හිමි සම්මානය(1984) කොටි වලිගය චිත්‍රපටයේ රංගනය සඳහා සරසවි සම්මානය (1986)

රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය

එක මවකගෙ දරුවෝ, පළිඟු මැණිකේ, මිහිකතගේ දරුවෝ, තාරා දේවි, සිව් මංසල, ගව්වෙන් ගව්ව,සුර අසුර, අවිඳු අඳුර, සුදු මහත්වරු, සොඳුරු සිතැත්ති , සෙනෙහෙලතා මැණිකේ , රතුරෝස , අරවින්ද සහ ඉන්දු, සුදු පරවියෝ, ජීවිත මීවිත , ටිකිරි නිළමේ, කෝකිල ගින්න, ගිරිකුල අන්දරය , නාමල් ගොල්ල , බෝපත් සාක්කිය, සුවඳ පත්ම, සව්සිරි උයන, දියවඩන මළුව , මොනරවිල , නිසල විල් තෙර, අඹුදරුවෝ, සරදියෙල්, මයුමි, ඇබෑර්තු ඇත, ස්වයංජාත , ධවල මන්දිරය.

අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කල ටෙලි නාට්‍ය

කෝකිල ගින්න, බෝපත් සාක්කිය , සව්සිරි උයන, සත් මහල , සුවඳ පත්ම , මොනරවිල , දියවඩන මළුව

නිෂ්පාදනය කල ටෙලි නාට්‍ය

ටිකිරි නිළමේ, නාමල් ගොල්ල , ගිරිකුල අන්දරය, නිසල විල්තෙර
අධ්‍යක්ෂණය කල ඒකාංගික ටෙලි නාට්‍ය
අඳුරෙන් එළියට, මල්වර නැකත, ඉමියුරු ලොවයි වැව් මඬලයි

ටෙලි නාට්‍ය සඳහා ලැබූ සම්මාන

විජය රූපවාහිනී උලෙළේ විශිෂ්ඨ රංගන කුසලතාවය - තාරාදේවි (1987) දියවඩන මළුව නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සඳහා රයිගම් සම්මාන උලෙළේ ජූරියෙ විශිෂ්ඨ සම්මානය (2008) සුමති සම්මාන උලෙළේ යු.ඩබ්ලිව්.සුමතිපාල යාවජීව සම්මානය ( 2009)

අධ්‍යක්ෂණය කරමින් රඟපෑ වේදිකා නාට්‍ය


බකතපස් , අත්තික්කා මල් පිපිලා, හොටබරි යුද්දේ,තහංචි, සොක්කානෝ රජානෝ , අපායේ අවුරුදු

රඟපෑ වේදිකා නාට්‍ය

 වෙස්සන්තර , ශ්‍රි වික්‍රම , මනරංජන වැඩ වර්ජන ,ඉබිකට්ට, මහ ගෙදර, චෙරි උයන , ලියතඹරා , මහහේනේ ඊරි යකා , අනේ මස්සිනේ, රුධිරය සහ ගංගාව , මහ කොළඹ ,එරබොදු මල් පොට්ටු පිපිලා, ගැහැණියක් , සයුරෙන් ආ ළඳ , ඔන්න බබෝ ඇතින්නියා , හබුන් කටයි බත් දෙකටයි, එළඳ , රතු රෝස

වේදිකා නාට්‍ය වෙනුවෙන් ලද සම්මාන.

සොක්කානෝ රජානෝ වේදිකා නාට්‍ය සඳහා සාම සම්මානය (1984)

සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ලියූ කෘතින්

කාර්ය සාධක නායකත්වය , යහපත , කට වට කර වැට , අප සතු මිනිමුතු , නායකත්වය , අපේ තාත්තා , අපේ අම්මා , ජලය සහ මිනිසා , සීයාගෙන් මුණුබුරාට පාඩමක් කළගුණ , ඔබ තවමත් ප්‍රමාධ නැත

ලැබූ ගෞරව සම්මාන

කලාශූරි සම්මානය (1990)
සෞන්දර්ය රත්නකලා ශිරෝමණී ගෞරව උපාධිය (2006)
කැළණිය දළුගම නුවන යොවුන් සමාජයේ ගෞරව සම්මානය (1984)
කැලණිය පුත්‍ර නාග සම්මානය (1994)


(උපුටා ගැනීම් - Anton J. Fernando ෆේස්බුක් පිටුවෙන් )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...